Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවේ සංහිදයා ගමන වේගවත් නම් මා වඩාත් සතුටුයි – මානව හිමිකම් කොමසාරිස් ජනපතිට කියයි

(PMD News)ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප‍්‍රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව, කටයුතු කරන බවත්, මනව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් වන කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත් , ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්  හමුවේ ප‍්‍රකාශ කළේය.

මෙම පියවර ගැනීමේ දී හදිසියේ කටයුතු කිරීමෙන් අන්තවාදි පිරිස් වෙත අනවශ්‍ය වාසියක් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවේ ඇතුළත් කරුණු සම්පූර්ණ කිරීමට වසර දෙකක කාලයක් තම රටට ලැබී ඇති බවත්, ශී‍්‍ර ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සියැසින් දැක ගැනීමට ඉදිරි වසරේ දී ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් මහකොමසාරිස් වරයාට ආරාධනයක් ද කළේය.

ඊයේ (22) පස්වරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී මෙම හමුව සිදුවිය.

මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය ගෙන ඇති පියවර මෙහිදී මහකොමසාරිස්වරයාට පැහැදිලි කළ ජනාධිපතිතුමා, මෙම සියලු දේ කළ යුත්තේ රටේ අභ්‍යන්තර දේශපාලන සංස්කෘතික සාධක පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව බව ද පෙන්වා දුන්නේය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයට මෙම සංචාරයට පෙර තමන් අත්සන් තැබූ බවත්, එහි කටයුතු සකී‍්‍රයව ඉදිරියට යනු ඇති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කටයුතු කොට ඇති බව ද සඳහන් කළේය. ආරක්ෂක හමුදා භාරයේ පැවති නැගෙනහිර පළාතේ සියලු ඉඩම් මේ වන විට නිදහස් කොට ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, උතුරේ ඉඩම් වලින් ද සැලකිය යුතු ප‍්‍රමාණයක් මේ වන විට නිදහස් කොට ඇති බවත්, ඉතිරිය පරිපාලන ගැටලු විසඳමින් ක‍්‍රමිකව ජනතාවට පැවරීමට කටයුතු කරමින් සිටින බවත් පෙන්වාදුන්නේය.

ශී‍්‍ර ලංකාව මෙම කරුණු සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව මෙහිදී සඳහන් කළ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප‍්‍රගතිය අත්කරගැනීම වෙනුවෙන් යන ගමන තවත් වේගවත් වන්නේ නම් සතුටු වන බව සඳහන් කළේය. එසේම අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට ගත් පියවර අගය කළ හුසේන් කුමරු ඊට අදාළ පත්කිරීම් සිදුකිරීමේදී සියලු ජන වර්ග වලට පිළිගතහැකි ආකාරයෙන් පත්කිරීම් සිදු කරන ලෙස ද ඉල්ලා සිටියේය. එසේම මෙම කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ශී‍්‍ර ලංකාවට උපරිම සහාය දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලය කටයුතු කරන බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

Archive

Latest news

Related news