Friday, May 3, 2024

මහින්ද රාජපක්ෂ: බංකු සභාපති – සුනිල් ජයසේකර

පසුගිය දිනක එක්තරා පුවත්පතක අපූරු කාටූනයක් පළවී තිබිණ. එකී කාටූනයට අනුව දැවැන්ත ආසනයක් මත එකී ආසනයටම සරිලන දැවැන්ත චරිතයක් අසුන්ගෙන සිටී. එමෙන්ම එකී අසුනෙහි ශ්‍රීලනිප සභාපති ලෙසට ද සටහන් වී තිබිණ. ඒ සමග එකී අසුන යට කුඩා බංකුවක් මත වාඩි වී සිටින පුංචි චරිතයක් “මමයි සභාපති, මමයි සභාපති“ කියමින් සිටින ආකාරයක් චිත්‍රණය කර තිබිණ. බංකුව මත වාඩි වී සිටිමින් එසේ තොල් මතුරන චරිතයේ ස්වභාවය ද මහින්ද රාජපක්ෂ මහතාගේ රූප ස්වභාවයට බෙහෙවින්ම සමානය.

නිසැක වශයෙන්ම එකී කාටූන් ශිල්පියා එවැනි කාටූනයක් නිර්මාණය කිරීම සඳහා යොමුවන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකරන ලද ප්‍රකාශය විය හැකිය. ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ තමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන බවයි. එමෙන්ම ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ නැති බවත් කිසිවෙකු විසින් හෝ ඔහුව එයින් අස්කර ද නැති බවත් ය. 2015 ජනවාරි 08 වන දින පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වීමෙන් පසු වසර දෙකක් ද ඉකුත්ව යනතෙක් සිදුනොකළ එවැනි ප්‍රකාශයක් හදිසියේම කරන්නට වීම එක්තරා ආකාරයකට ප්‍රශ්න සහගත කරුණක් වියහැකි වුවත් මහින්ද රාජපක්ෂ මහතා වැනි අයෙක් සිදුකරන එවැනි ප්‍රකාශයකට ජනමාධ්‍ය වල ප්‍රමුඛ අවධානයක් යොමුවීම නොවැළැක්විය හැකිය. මෑත කාලයට අදාළව සැලකීමේදී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස මුලින්ම ප්‍රකාශ කර තිබුණේ එක්තරා සතිඅන්ත පුවත්පතකට ය. ඒ පසුගිය මාසයේදී ය. එම පුවත්පතට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවක දී එකී කරුණ ද සඳහන් කිරීමෙන් පසු මේ මස 21 වන දා එය නැවතත් පුනරුච්ඡාරණය කර තිබේ. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය වන බත්තරමුල්ලේ නෙ`එම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය. ඒ අනුව අප සලකා බැලියයුත්තේ මහින්ද රාජපක්ෂ මහතා කරන එම අදහසට පදනමක් තිබේද යන්නයි. ඒ සමගම පසුගිය ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වී වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබියදී ත් මින් පෙර ඔහු ඒ පිළිබඳව වගකීමකින් යුතුව පෙනී නොසිටියේ ඇයිද යන්න ද එහිදී සළකා බැලිය යුතුව තිබේ.

මේ රටේ සියල්ලන්ම පාහේ ඉතා හොඳින් දන්නා ආකාරයට 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා තරග වැදුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙසට ය. ඒ එසේ වුව ද ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ලද්දේ එහි ප්‍රමුඛතම හවුල්කාර පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි. ඒ වනවිට ශ්‍රීලනිපයේ සභාපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. එහෙත් ඇතැම්විට බොහෝ දෙනෙකු නොදන්නවා වියහැකි කාරණයක් ද තිබේ. එනම් 2005 වසරේදී පැවති ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තෝරාගන්නා විටත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නොවූ වගය. එපමණක් ද නොව 2005 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි මුල් කාලවකවානුවේදී ද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ සභාපතිවරයා නොවීය. එම කාලයේදී පක්ෂ සභාපති තනතුර හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමිව තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙතය.

රටේ නායකත්වය හිමිව තිබුණත් පක්ෂයේ නායකත්වය අහිමි වී සිටි මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයට එන්නේ ද අපූරු ආකාරයකට ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඔහු කැඳවා ඔහුට පක්ෂ නායකත්වය භාරදුන්නේ ද නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෝ ශ්‍රීලනිප ජාතික සම්මේලනයක දී මහින්ද රාජපක්ෂ මහතාට සභාපතිධුරය හිමිවිය යුතු බවට වූ යෝජනාවක් ද කිසිවෙකු විසින් හෝ ඉදිරිපත් කර නොතිබිණ. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යොදාගත්තේ අපූරු උපක්‍රමයකි. එහිදී ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාව හරහා පක්ෂ ව්‍යවස්ථාවට අලුත් යෝජනාවක් ඉදිරිපත් කළේය. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් සාමාජිකයෙක් රටේ විධායක ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුට හෝ ඇයට පක්ෂයේ සභාපති ධුරය ද අනිවාර්යෙන්ම හිමිවිය යුතු බවය. මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත එදා ඒ යෝජනාව ගෙනඑනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවෙහි ඇතුළත් ඊට සමාන වූ විධිවිධානයන් ද සළකා බලමින් එය අනුකරණය කරමිනි. ඒ අනුව එකී යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබීම තුළ මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය නිතැතින්ම හිමිවිය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සභාපති තනතුරට අදාළ බලතල මෙන්ම ඒ සඳහා පත්වන ආකාරය පිළිබඳව ද මහින්ද රාජපක්ෂ මහතාට මනා අවබෝධයක් තිබිය යුතුමය. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැත. ඒ සමගම අප සලකා බැලිය යුත්තේ තවමත් තමා ශ්‍රීලනිපයේ සභාපතිවරයා වන බවට මහින්ද රාජපක්ෂ මහතා පළකර ඇති අදහසට කිසියම් හෝ පදනමක් ඇත්ද යන්නය. පෙර සඳහන් කළ ආකාරයටම 2015 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස වුවත් එම අපේක්ෂකත්වය ඔහුට හිමිවූයේ ශ්‍රීලනිපයේ නායකයා වීම හේතුවෙනි. ඒ සමගම එහිදී කිසිවෙකු අමතක නොකළයුතු කරුණක් ද තිබේ. එනම් එදා ඔහුගේ ප්‍රතිවාදියෙකු ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ හංසයා ලකුණෙන් තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ බවය. ඒ අනුව 2015 ජනවාරි 08 වන දින මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ ද ශ්‍රීලනිප සාමාජිකයෙකි. ඒ තුළ මහින්ද රාජපක්ෂ මහතාට එදා අහිමිවූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය පමණක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයද ඒ සමගම අහිමි විය.

එදා ඒ බව කියන්නට කිසිවෙකුට වුවමනාවක් නොතිබිණ. රටේ සිදුවූ දැවැන්ත දේශපාලන පෙරළිය තුළ රටේ නායකත්වය ගැන මිසක පක්ෂයක සභාපති ධුරයක් පිළිබඳව වද වෙන්නට එදා කිසිවෙකුට හෝ අවශ්‍යතාවයක් නොවීය. ඒ සමග තමාට අහිමිවූයේ රටේ නායකත්වය පමණක් නොව නියත වශයෙන්ම පක්ෂයේ නායකත්වය ද තමාට අහිමි වී ඇති බව දැන සිටි මහින්ද රාජපක්ෂ මහතාට ද ඊට අදාළව කියන්නට කිසිවක් ඉතිරි වී නොතිබිණ. 2015 ජනවාරි 12 වනදා තමා සමග සිටි ප්‍රබලතම දේශපාලනඥයින් පිරිසක් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඔහුට සුබ පතමින් නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට සූදානම් බව දැනුම් දීම තුළ අනාගතයේ සිදුවිය හැකි දේශපාලන පෙළගැසීම් පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා යම් අවබෝධයක් ද ලබාගන්නට ඇත. ඒ සමගම ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බහුතර පිරිසක් රැස්වී විශේෂ තීන්දුවක් ගනිමින් ඒ බව රට හමුවේ ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය අනුව ඔවුන් රටට දැනුම් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පක්ෂයක් ලෙස ඉදිරියේදී කටයුතු කරන්නට තමන් සූදානම් බවය. ඒ සමගම පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙසට ද මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කරන ලදී.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ඔහු සමග සාකච්ඡාවක් සිදුකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා, අභිලාෂය පළකරන්නේ මෙවන්ප සුබිමකය. ඒ පිළිබඳව වන පසුබිම් තොරතුරු හා එම ක්‍රියාවලිය සිදුවූ ආකාරය මලික් ජයතිලක මන්ත්‍රීවරයා විසින් රචිත මා දුටු ජනවාරි 08 කෘතියෙහි මැනවින් අන්තර්ගතය. ඒ අනුව 2015 ජනවාරි 13 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන්නේ එවකට කතානායක ධුරය දැරූ චමල් රාජපක්ෂ මහතා වාසය කළ කතානායක නිලනිවාසයේදී ය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුබපතමින් ප්‍රථමයෙන්ම ඉල්ලා ඇත්තේ පක්ෂයේ නායකත්වය ද බාරගන්නා ලෙසටය. එහිදී දෙදෙනා අතර සිදුවූ සම්පූර්ණ කතාබහ පිළිබඳව සියලු තොරතුරු පිටතට කාන්දු වී නොතිබිය හැකි මුත් පක්ෂ නායකත්වය භාරගන්නා ලෙසට මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා දක්වන ලද කැමැත්ත රට පුරා මෙන්ම ලොව පුරා ද ප්‍රචලිත වූයේ ජනමාධ්‍ය හරහාය.

පසුව වාර්තා වූ පරිදි ශ්‍රීලනිපයේ ජේ්‍ෂ්ඨයින් ද ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමට ද මහින්ද රාජපක්ෂ මහතා ඒ බව දැනුම් දීම තුළ ඒ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගෙන තිබූ තීන්දුවක් අභියෝගයකින් තොරව තහවුරු විය. එමෙන්ම ඉන් දින තුනකට පසුව එනම් 2015 ජනවාරි 16 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රැස්වූ අතර එහිදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට ද තෝරාපත් කරගතයුතුව ඇති බවය. එදා එම සභාවෙහි චමල් රාජපක්ෂ මහතා හා නිරූපමා රාජපක්ෂ මහත්මිය මෙන්ම නාමල් රාජපක්ෂ මහතා ද සිටි අතර ඔවුන් ද ඇතුළු පැමිණ සිටි සියල්ලන්ගේ ද එකඟත්වයෙන් එම යෝජනාව සම්මත කරගත් බව ද මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම නොදන්නවා වියනොහැකිය. එමෙන්ම පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට මාස කිහිපයකට පසුව කැඳවන ලද ශ්‍රීලනිප මහ සමුළුවේදී ද ඒ බව තවදුරටත් තහවුරු කරන ලද අතර එදා එම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීම තුළ ඒ සඳහා වන අනුමැතියට ඔහුගේ දායකත්වය ද සනාථ කර තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපයේ නායකත්වය පිළිබඳව හෝ එහි තනතුරු පිළිබඳව හෝ පසුගිය කාලයට අදාළව කිසිදු අභියෝගයක් මතු නොවීය. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ආයතන ගණනාවක් විසින්ම ඊට අදාළ නෛතික භාවය පිලිගෙන තිබේ. තමන්ට එල්ලවන චෝදනාවන්ට එරෙහිව නඩු මඟට යන්නට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් යැයි ප්‍රකාශ වී ඇතත් පක්ෂයේ තනතුරු වලට අදාළ නෛතික භාවය ද පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා අද වනතෙක්ම මේ රටේ කිසිදු අධිකරණයක් හමුවේ ප්‍රශ්න කරන්නට හෝ සූදානම් වන බවක් හෙළිකර නොමැත. ඒ සඳහා වන සූදානමක් පිළිබඳව ආරංචි මාත්‍රයක් හෝ දැනගන්නට නැත. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා අන්කරුණු වලට අදාළව මෙන්ම සුපුරුදු පරිදි අද සිදුකරමින් සිටින්නේ ද වගකීමකින් යුතුව පෙනී සිටීමක් නොව ජනමාධ්‍ය හමුවේ සිදුකරන ප්‍රකාශයන් හරහා යම් අවධානයක් ලබාගැනීමට උත්සාහ කිරීමය. එය ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා වෙතින් දක්නට ලැබෙන ප්‍රකට ලක්ෂණයකි. අන්සියල්ලන්ටම පෙර ඒ බව හොඳින් ග්‍රහණය වන්නේ ජනමාධ්‍යකරුවන්ට ය. පෙර කී කාටුනය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනකි. ඒ අනුව එකී කාටූන් ශිල්පියා දුටු ආකාරයටම ශ්‍රීලනිපයේ හෙවණැල්ල යට බංකු කොටයක් මත හිඳ සිහින දකිනු හැරෙන්නට මහින්ද රාජපක්ෂ මහතාට එහිදී ද ප්‍රායෝගික වශයෙන් කළහැකි අන් කිසිවක් නැත.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news