Thursday, May 9, 2024

කටේ පිට්ටු නීති‍ඥ සංගමයට ප්‍රතිචාරයක්: කුමට මෙරට අධිකරණය ? නීතිය සහ විනිසුරන් ?

ජායාරූපය: අගවිනිසුරන් ලෙස අධිකරණය විනාශ කළ ගඳයින් දෙදෙනෙක්. 

කිර්ති තෙන්නකෝන්.

‘නීතිඥයින් දුෂිත පුද්ගලයින් බව‘ ට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍ර‍කාශයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා ප්‍ර‍කාශ කොට ඇත.

ඕනෑම වෘත්තියක සුපිරිසිදු චරිත ඇති ලෙසම, අන්ත දුෂිත පුද්ගලයින් ද සිටී. අධිකරණ කේෂ්ත්‍ර‍ය එයින් කිසි ලෙසකින් හෝ පරිබාහිර නැත. පුරවැසියන්ට ලංකාවේ වෙනත් ඕනෑම වෘත්තීයක නිරත වන පුද්ගලයින් විවේචණය කළ හැකි ලෙසම නීතිඥවරුන් ද, විනිසුරුවන් ද විවේචණය කළ හැකිය. ඒ සදහා නිදහස ද, ඉවසා සිටීමේ හැකියාව ද තිබිය යුතුය.

රංජන් රාමනායක මහතා අධිකරණයට සිදු කරන චෝදනාව අලුත් දෙයක් නොවන අතර, ගෙවීගිය වසර 15 කට වැඩි කාලයක් මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයින්, ජනමාධ්‍ය පමණක් නොව නීතිඥවරුන් ද, අධිකරණ සේවා කොමිෂන් සභාව ද, සංවාදයට බදුන් කරමින් සිටින තාර්කික යථාර්ථයකි.

රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් හෙළි කළ ලෙනින් රත්නායක විනිසුරු පිළිබද සිදුවීම මේ රටේ අධිකරණ කේෂ්ත්‍ර‍ය ගද ගසා ඇති තත්වය හෙළි කළේය.

අබේරත්න විනිසුරු ගේ සිදුවීම එයට දෙවැනි වන්නේ නැත. අගවිනිසුරු සරත් එන් සිල්වා පිළිබදව වික්ටර් අයිවන් මහතා සිදුකළ හෙළි කිරීම් ‘ශිෂ්ඨ, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, යහපාලනයක්‘ සැබවින් තිබෙන රටක සිදුවූවේ නම් එම රටේ අධිකරණය සුද්ධ කිරීම එයින්ම ඇරඹෙන්ට තිබුණි. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා‍ ‘ආණ්ඩුවට කැමති ආකාරයට නඩු තීන්දු දෙන්නට තමන් කැමති බව තමන්ට කී බව‘ ජනාධිපතිවරයාම ප්‍ර‍කාශ කර තිබුණි.

ශ්‍රී ලංකා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබූ ඩී.එම්.ඒ.අයි.දිසානායක මහතා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එය විභාග කළ අධිකරණ සේවා කොමිෂන් සභාව දිසානායක මහතා මහෙස්ත්‍රාත් ධූරයේ ස්ථිර පත්වීම ලබාදීමෙන් වැලකී සිටියේය.

අලි හොරකමක් පිළිබද විනිසුරු තිලිණ ගමගේ ට එරෙහිව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඔහුට ඇප ලබා දුන් ආකාරය අදටත් විවාද සම්පන්නය. දැන් ඔහු වැඩ තහනමකට ලක්වී සිටී. දිස්ත්‍රික් විනිසුරුවරුන් වන සෝමරත්න හා අරවින්ද පෙරේරා සම්බන්ධයෙන් ද මෙවැනි චෝදනා තිබූ අතර ඒ සියල්ලට අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විට යම් පියවර ගෙන ඇත.

සිය දිවි නසාගත් බව විශ්වාස කරන විනිසුරු ආබෘ සම්බන්ධයෙන් තත්වය ද එසේමය.

කුප්‍ර‍කට සිල් රෙදි නඩුවේ විනිසුරු මාරු කරන්නට පිරිසක් උත්සහ දරන බව ‘රාවය‘ පුවත්පත පසුගිය සතියේ හෙළි කර තිබුණි. අධිකරණය වඩාත් බලපෑමක් එල්ලවන්නේ විනිසුරන් මාරු කර නඩු තීන්දු ලබා ගැනීම ද? , එසේ නොවේ නම්, විනිසුරුවන් මාරු කිරීමට උත්සාහයන් දරන නීතිඥයින් ද?, රාමනායක මහතා සිදු කළ ප්‍ර‍කාශය ද? යන්න අප පුළුල් සංවාදයකට ලක් කළ යුතුය.

[alert type=”success or warning or info or danger”]ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉහතින් දැක්වූ සිදුවීම් බහුතරයක් පිළිබද සිය මුනිවත රැකි අතර අධිකරණ කේෂ්ත්‍ර‍ පිරිසිදු කිරීම සදහා එලදායී මැදිහත්වීමක් සිදු කර නැත. නමුත්, මේ සියලු කරුණු පිළිබද සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, මහජන නියෝජිතයින් අඛණ්ඩව සිය හඩ මතු කරමින් සිටී.[/alert]

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අමතකව ඇති නමුත්, අධිකරණ කේෂ්ත්‍රයේ වැඩිම අවධානයට යොමුවී ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි මහේෂි
ජයවර්ධන මහත්මිය ගේ ‘සබැදියවන් අතර ගැටුම‘ යි. ඇයගේ සහෝදරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර, පුවත්පත් අවස්ථා ගණනාවක දී ම බලවත් පුද්ගලයින් ‘නඩු තීන්දු සදහා බලපෑම් කරන බව‘ ට චෝදනා කර ඇත. මෙම චෝදනාව, විවේචණය ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට, නිදහසට, අධිකරණයේ පාලනයට යහපත් වන්නේ නැත.

ඒ සියල්ලටම වඩා චිත්‍ර‍පට නළුවෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ‘නීතිඥයින් දුෂිත බව‘ ට කළ ප්‍ර‍කාශයක් අධිකරණය අපහාසයක්, ව්‍යසනයක්, අනතුරුක්, අගෞරවයක්, කැලළක්, අවමානයක් බවට පත් වන්නේ කෙසේ ද? යන්න අප විසින් පුළුල්ව විමසා බැලිය යුතුව ඇත.

වගකීම් සහිත සමාජයක් පණිවුඩකරුවාට වෙඩි තබන්නේ නැත! පණිවුඩයේ අරුත වටහා ගෙන සමාජ ප්‍ර‍ගමනය සදහා කටයුතු කරන්නේය. ලෙනින් රත්නායක, අබේරත්න, ආබෘෘ, තිලිණ ගමගේ, සෝමරත්න, අරවින්ද, වැනි විනිසුරුවන් විසින් අධිකරණයට සිදු කර ඇති අගතියට වැඩි යමක් රංජන් රාමනායක මහතා ගේ ප්‍ර‍කාශයෙන් අධිකරණයට සිදුවන්නේ දැයි නිදහසේ සිතා බැලීම වැදගත්ය. රාමනායක මහතා ගේ ප්‍ර‍කාශය සරත් එන් සිල්වා, මොහාන් පීරිස් අගවිනිසුරුවන් පිළිබද මෙරට ප්‍ර‍මුඛ වැසියන් සිදු කර ඇති සදහන්වලට වඩා විනාශකාරී ද යන්න ‘විවෘත මනසකින් සිතා බැලිය‘ යුතුය. සබැදියාවන් අතර ගැටුමක් ඇති රෙජිස්ට්‍රාර්වරියට වැඩි අගතියක් රාමනායක මහතා ගේ ප්‍ර‍කාශයෙන් සිදුවන්නේ ද?

නැත! කිසි ලෙසකින් හෝ නැත!!

අධිකරණය පිළිබද විශ්වාසය, ගෞරවය වර්ධනය කිරීමට නම් වික්ටර් අයිවන් මහතා ගේ භාෂාවෙන් කියන ‘මේ කුණු වී ගද ගසන නරාවල‘ පවිත්‍ර‍ කළ යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අර්බුදයේ කොටසක් වනු වෙනුවට ‘විසදුමේ පාර්ශයක්‘ වීම වැදගත් බව අප අවධාරණය කරමු.

Archive

Latest news

Related news