Tuesday, July 16, 2024

රවී ගතයුතු මග…- සුනිල් ජයසේකර

ජායාරූපය: පිනෝකියෝ වෙලාද කියළ නහය අත ගඟා හිටියට මදි! කරැණාකාර ඇත්ත කියන්න!

හිටපු මුදල් අමාත්‍යවරයා මෙන්ම වර්තමාන විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා කේන්ද්‍ර කරගනිමින් සිදුවන අදහස් පළකිරිම් මෙන්ම වාද විවාදයන්හි ද නිමක් නැත. ඔහු මේ වනවිට රටේ ප්‍රමුඛතම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමේදී මතුවූ කරුණු කිහිපයක් පදනම් කරගනිමිනි. අදාළ කොමිසමේ කටයුතු තවමත් අවසන් වී නැති හා ඒ සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව තවමත් නිකුත් කර නැති පසුබිමක ඔහු ඊට කොතරම්දුරට වගකිව යුතු ද යන්න නිගමනය කළ නොහැකිය. එය නීතිමය තත්වයයි. එහෙත් රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම ඉදිරියේ ප්‍රකාශ කරන ලද කරුණු කාරණා පිළිබඳව අන් සියල්ලන්ටම වඩා වගකීමක් පැවරී ඇත්තේ ඔහු වෙතය. ඒ අනුව නීතිමය තත්වය කෙබඳු වුවත් රටේ වගකිවයුතු පුද්ගලයෙක් ලෙස හෘද සාක්ෂියේ බලවත්ම වගවීම ඇත්තේ ඔහු කෙරෙහිය. විශේෂයෙන්ම යහපාලන රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සදාචාරාත්මක බැඳීමක් ඔහුවෙත පවතී. ඒ අනුව මේ දිනවල ඔහු මුල්කරගනිමින් රටේ සිදුවන කතාබහ පිළිබඳව තම ස්ථාවරය පැහැදිළි කිරීමේ වගකීම ඇත්තේ ද ඔහු වෙතය.

රවී කරුණානායක අමාත්‍යවරයා ඒ පිළිබඳව වන තම ස්ථාවරය රට හමුවේ ප්‍රකාශ කළයුතුව ඇත්තේ ඔහු විසින් බැදුම්කර කොමිසම හමුවේ හෙළිකරන ලද ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් නගන ඝෝෂාව නිසා නම් නොවේ. ඒකාබද්ධ විපක්ෂයේ එක්තරා මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබීම නිසා ද නොවේ. මේ රටේ දැනුවත් පුරවැසියන්ගේ අවබෝධය අනුව ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුට රවී කරුණානායක අමාත්‍යවරයා ප්‍රශ්න කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් තිබිය නොහැකිය. සත්‍යවශයෙන්ම එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකර ඇති ප්‍රකාශය ඉතාමත්ම නිවැරදිය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට රවී කරුණානායක මහතා ප්‍රශ්න කරන්නට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු සදාචාරාත්මක පදනමක් තිබිය නොහැකිය. මක්නිසාදයත් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බොහෝ දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා වලට අදාළව මෙන්ම වත්කම් හා බැරකම් නීතිය යටතේ මේ වනවිටත් නඩු පවරා ඇති නිසාය. එසේත් නැත්නම් සියලු පරීක්ෂණ අවසන් කර නඩු පැවරීම සඳහා මූලික කටයුතු සියල්ලක්ම සම්පූර්ණ කර ඇති නිසාය. අනෙක් අතට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට රාජපක්ෂ පරපුරේ සාමාජිකයන් ද ඇතු`එ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනා අනුව රවී කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනාව ලූණු බිකක් තරම් වන බැවින්ය.

එය එසේ වුවත් රවී කරුණානායක මහතාට මතුව ඇති චෝදනාවට අදාළ කරුණු බැහැර කර තැබීමට නොහැකි පිරිසක් ද මේ රටේ සිටිති. ඉන් ප්‍රධාන වන්නේ 2015 ජනවාරි 08 වන දින සිදුකළ දේශපාලන වෙනසට උරදුන් මේ රටේ දැනුවත් ඡන්ද දායකයන්ය. ඒ සඳහා නායකත්වය දුන් සිවිල් හා දේශපාලන බලවේගයන් ය. රවී කරුණානායක මහතා ද එහි ප්‍රමුඛ පුරුකක් වන නිසා කරුණානායක මහතාට ද එහිදී බරපතළ වගකීමක් නිතැතින්ම පැවරේ. මේ පිළිබඳව වන තම ස්ථාවරය ඉතා පැහැදිළි ලෙස රටට හෙළිකළ යුතුව ඇතැයි අප කියන්නේ ද ඒ නිසාය.

ඒ සමගම මේ රටේ සබුද්ධික ජනතාව කිසිසේත්ම අමතක කළයුතු නැති කරුණු දෙකක් ද තිබේ. ඉන් පළමුවැන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවක් ආශ්‍රයෙන් පැනනැගුණු ආන්දෝලනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වන බවය. ඒ සමගම එම බැදුම්කර කොමිසම පත්කරන ලද අවස්ථාවේදී ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් කුමක් ප්‍රකාශ කළේද යන්න ද මෙහිදී සිහිපත් කළයුතුමය. ඒ කාලයේදී විමල් වීරවංශ මහතා මෙන්ම උදය ගම්මන්පිල වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛයින් බොහෝ දෙනෙකු රටට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා බැඳුම්කර කොමිෂමක් පත්කර ඇත්තේ ප්‍රශ්නය යට ගැසීමට වන බවය. චූදිතයන් ආරක්ෂා කිරීමට වන බවය.

එහෙත් අද වනවිට ඉතාමත්ම පැහැදිළිව සනාථ වී ඇත්තේ පසුගිය යුගයේ විවිධ කරුණු කාරණා මුල්කරගනිමින් පත්කරන ලද බොහෝ ජනාධිපති කොමිෂන් සභාවන්ට වඩා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂම සක්‍රීය ලෙස කටයුතු කරමින් සිටින බවය. එහි මූලික අවධානය යොමුකර ඇත්තේ වර්තමාන රජය මගින්ම පත්කරන ලද නිලධාරීන් වෙතටය. එම කොමිසම ඉදිරියේ මතුවන කරුණු කාරණා අනුව ඊට මුහුණ නොදී ඉන් බැහැර වී සිටීමට රජයේ කැබිනට් ඇමතිවරුන්ට ද නොහැකි වී තිබේ. ඒ සමග රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්වරුන් ද ඇතුලු නීතිවේදීන් එම කොමිසම හමුවේ කරුණු ගොනුකරන ආකාරය අනුව ද රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් පවා ප්‍රශ්න කරන ආකාරය අනුව ද එහි ඇති ස්වාධීනත්වය මෙන්ම ඊට රජයේ බලපෑමක් නොමැති බව පැහැදිළිවම ප්‍රදර්ශනය කර තිබේ. එවැනි තත්වයක් පසුගිය රාජපක්ෂ පාලන සමයේ මොනම ආකාරයකින්වත් දක්නට හැකි නොවීය. එදා හිටපු ජනාධිපතිවරයා තම පවුලේ සාමාජිකයන් පෙරටු කරගත් සියලු දෙනාවෙත රිසි රිසි සේ රටේ සාරය උරා බොන්නට ඉඩ දී ඒ සඳහා උපරිම නිදහස හා ආරක්ෂාව ද ලබාදී බලා සිටියා මිසක එම කාලයේදී මතුවූ කිසිදු චෝදනාවක් පිළිබඳව මොනම ආකාරයේ විමර්ශනයක් හෝ කරන්නට කටයුතු කළේ නැත.

[alert type=”success or warning or info or danger”]එහෙත් අද ඇත්තේ ඊට සපුරාම වෙනස් වූ තත්වයකි. මතුවන චෝදනා ඉදිරියේ නිහඬව සිටින්නට, එසේත් නැත්නම් මඟහැර යන්නට රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට ද නොහැකි වී තිබේ. එය ඉතාමත් යහපත් ලක්ෂණයක් මෙන්ම ආරක්ෂා කරගත යුතු, දිරිදිය යුතු ප්‍රවණතාවයකි. එම ප්‍රවණතාවය ආරක්ෂා කරගැනීමේ වගකීම මෙන්ම තවදුරටත් වර්ධනය කිරීමේ කාර්යභාරය ද පැවරී ඇත්තේ ජනවාරි 08 දේශපාලන විප්ලවයට දිරිදුන් සමස්ත ජනතාව වෙතටය. [/alert]

තමන්ට එල්ල වී ඇති විවේචනයන්ට අදාළව තමන්ගේ වන ස්ථාවරය රවී කරුණානායක මහතා විසින් නොපමාවම රට හමුවේ තැබිය යුතු වන්නේ ඒ නිසාමය. ඒ අනුව ඔහු විසින් ප්‍රදර්ශනය කළයුතුව ඇත්තේ ඔහුගේ හෘද සාක්ෂිය පමණක්ම නොවේ. ජනවාරි 08 වෙනසට උරදුන් බලවේගයන්හි ද හෘද සාක්ෂියයි.

 

Archive

Latest news

Related news