Friday, March 29, 2024

බැදුම්රකර මඟඩිකරුවන්ගෙන් යැපෙන රවි කරුණානායක ඉල්ලා අස්විය යුතුයි!

ශ්‍රී ලංකාවෙහි මේතාක් සිදුව ඇති විශාලතම බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජූන් ආලෝසියස්ගෙන්  කෝටි ගණනින් මුදල් ලබා ගත් බවට දැන් හෙළිදරව් වී ඇති එජාප පතාකයකු වන වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක ඇමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටත් එසේ නොවන්නේ නම් මෙම විමර්ශණයෙන් පසු ඔහු ඉවත් කළ යුතු බවටත් ප්‍රබල මතයක් දේශපාලන අංශ අතර ගොඩ නැගෙමින් තිබේ.

මීට අමතරව රවි කරුණානායක සම්බන්දයෙන් තවත් දූෂණ චෝදනා ගණනාවක්ම එල්ල වී තිබේ.

අර්ජුන් ඇලෝසියස් විසින් රවි කරුණායකට ලබා දෙන ලද මෙම මුදල් කුට්ටිය පිළිබඳව සාක්ෂි ඊයේ ජනාධිපති බැඳුම්කර කොමිසම හෙළිදරව් විය.

ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව ඇති පාලිත ජනමාධ්‍ය මෙම පුවත තවමත් වාර්තා කර නැත.

ඒ අනුව හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක්‌ තමාට අයත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (couple of apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක්‌ හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක්‌ හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කී බව දිවයින පුවත් පත වාර්තා කරයි.

එය මිලට ගත්තේ ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ස්‌ පුද්ගලික සමාගම මගින් බවද ඇය කීයා තිබේ.

එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස්‌ මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක්‌ සහ චෙක්‌පතකින් තවත් මිලියන 10.2 ක්‌ වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක්‌ ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා ඇත.

මේ මිලියන 11.6 ට මාස දෙකක නැවත ගෙවන තැන්පතුවක්‌ද ඇතුළත්ව තිබී ඇත.

තමා බද්දට ගත්තත් මෙහි රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින බව ඇලෝෂියස්‌ මහතා තමාට වාචිකව ප්‍රකාශ කළ බවද ඇය කීයා තිබේ.

මෙයට අදාළ බදු ගිවිසුම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කරන ලදී.

අදාළ බදු ගිවිසුම අත්සන් කරන ලද්දේ තමා සහ වෝල්ට්‌ ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම සමඟ බවද විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කර ඇත.

මෙය කොළඹ 03, මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි නිවාසයක්‌ බවද Y/F1/U-2 හා Y/F1/U-3 අංක දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායක මහතාගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක්‌ බවද විනෝදනී මහත්මිය කියා තිබේ.

තම පියාගෙන් තිළිණයක්‌ ලෙස ලද මුදලින් තමා මෙම මහල් නිවාස ඒකකය මිලදීගත් බවද, එය මිලදී ගැනීමෙන් පසු එය අලුත්වැඩියා කිරීම සඳහා තවත් රු. මිලියන දහයක්‌ පමණ වැයකළ බවද ඇය කීවාය.

මුලින් මාස හයක කාලයක්‌ රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙහි සිටි බවත්, ඉන්පසු ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිමවී නොතිබූ නිසා තවත් මාස දෙකක්‌ එම මොනාක්‌ රෙසිඩන්සීස්‌හි තම මහල් නිවාස ඒකකයේ රවි කරුණානායක පවුලට සිටීමට ඉඩ ලබාදුන් බවත් විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කර ඇත.

එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්‌මන්ට්‌ දෙකක්‌ එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක්‌ බවත්, ඒ නිසා මොනාක්‌ රෙසිඩන්සීස්‌ කළමනාකාරිත්වය විසින් එය “පෙන්ත්හවුස්‌ එපාර්ට්‌මන්ට්‌” ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටි තිබේ.

තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගෙන ඇත.

නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබේ.

දිවයින වාර්තාව ද අසුරිනි.

 

Archive

Latest news

Related news