Friday, November 22, 2024

‘කුණු හබ්බ අහගන්න එපා මහත්තයෝ. කවදද යකෝ දික්උල්පත හිදුණේ?‘  

ජායාරූපය: උමාඔය වැලිමඩ දික්කාපිටිය සොහොන් බිමක් කරයි.
රජිත් කීර්ති තෙන්නකෝන්.
උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලස්සනම, සාරවත්ම, දික්කාපිටිය ප්‍රදේශයට සිදු කර ඇති විනාශය ඇදහිය නොහැකි තරම්ය.  

වර්ග අඩි 479,160 ක ජල ධාරිතාවක් ඇති දික්උල්පත වැවේ වත්මන් ජල ධාරිතාව වර්ග අඩි 12,000 කට අඩුය. ඒ ද තැන තැන මඩ කඩිති මෙනි.  කුඹුරු අක්කර 99 ක් අස්වද්දන්නට වතුර ද, තවත් අක්කර 72 ක එලවළු වගා කරන්නට වගා බිම් 228 කට කෘෂි ජලය ද, දික්උල්පත වැවෙන් ලැබුණි.   උමා ඔය ව්‍යාපෘතිය විසින් විනාශ කරන්නට පෙර වසරකට වී කිලෝ 235,620 ක් ද, එක් කන්නයකට අර්තාපල් කිලෝ 891,000 ක සාමාන්‍ය අස්වැන්නක් ද ලැබුණි. කත්කාලි, ගෝවා, බෝංචි, නොකොල්, ඇතුළු උඩරට එලළුලු සදහා සරු බිමක් හැමදාම දික්උල්පත වැව විසින් පමණක් සාදා තිබුණි. 

කොහොමත් මේ කාලයට නියගය හින්දා වතුර අඩු වෙනවා නේද?  අපේ කණ්ඩායමේ අයෙකු වැඩිහිටියෙකුගෙන් අසයි. 

‘කුණු හබ්බ අහගන්න එපා මහත්තයෝ. කවදද යකෝ දික්උල්පත හිදුණේ?‘  මේක උල්පත් වතුර. උල්පත් වතුර. දෙවියෝ දුන්න උල්පත් වතුර.  හිල් කලා. කාලකන්නි හිල් කලා.  දැන් දිග උල්පත නෑ.  වතුරත් නෑ. ගොවි මහත්තයෙක් කියයි. 
පාරම්පරික දික්කාපිටියේ ගොවි මහත්වරු මිස ගොවි කම්කරුවෝ කවදාවත් සිටියේ නැත. හිටියා නම් ඒ රස්සාව සදහා පැමිණි වතු කම්කරුන් ය. 

බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රදේශයන් හි නිවාස හා දේපල විනාශය නිසා ඒ ප්‍රදේශයන්ට ලැබෙන අවධානය වැලිමඩට නොලැබේ. සරුසාර ගොවි බිමක් බොන්නට දිය බිදක් නැති තැනක් බවට පත්ව ඇත.  

ග්‍රාම නිලධාරි වාර්තා අනුව ප්‍රදේශයේ 44% ක් රු. 50,000ට වැඩි ආදායම් ලැබූ අයයි.  (සත්‍ය නම් මේ ගොවීන් එදා ප්‍ර‍කාශිත ආදායම මෙන් හතර පස් ගුණයක් අදායම් ලැබූ ‘ගොවි මහත්වරුන් බවයි)   වැවතැන්න හා  එළමල්ලන්ද වැව් පිහිටියේ මේ ආසන්නයේ ය.  
වැලිමඩ සුන්දරම යුවතියන් සිටින්නේ මේ කලාපයේ යැයි ජන වහරේ වේ.  නිල්ල පිරුණු සශ්‍රීක භූමිය, ඇති තරම් වගා ජලය පෘෂ්ඨිමත් මිනිසුන්, නිරෝගී මිනිසුන්, ඇති – හැකි මිනිසුන් බිහි කර තිබුණි.

පුහුල්පොල සිට ඩයරබා දක්වා කි.මි. 3 ක දිගකින් යුතු උමගත් සමගම වැව් සිදී යාම ඇරඹුණි.  සහනයක් ලැබුණු මිනිසෙකු දික්කාපිටියේ නැත.  නිවාස, මහා මාර්ග විනාශ වෙමින් ඇත.  තවමත් රුපියලක වන්දියක් වැලිමඩ දික්කාපිටියේ ගොවින්ට නම් ලැබී නැත. 

අක්කර 26 ක වගා බිම් තිබූ, පවුල් 46 ක් සරුසාර කෘෂිකර්මාන්තයේ නිතර පුහුල්පොල ඕයිල ඇල ව්‍යාපෘතියේ බර වාහන ගමණාගමනය නිසා සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. යටලේල්ල ඇල මීටර් 1500 කි.  අක්කර 15 ක්  වගා කළ ගොවි පවුල් 32 ක් සම්පූර්ණයෙන්ම අනාථ ය.

මේ පිරිසට දුක කියන්නට දෙවියන් බුදුන් ද නැත.  ශ්‍රී සුදර්ශනාරාමය, ඛෙත්තාරාමය පන්සල් ඉරිතලා පුපුරා ගොසිනි. බලතොටුල්ල පාසල, දික්කාපිටිය විද්‍යාලය, සර්වෝදය ළදරු පාසල ද ඉරි තලා ඇත.  ග්‍රාමීය බැංකුව, තැපැල් කාර්යාලයට හානි සිදුව ඇත.
ජූලි 10 කොළඹින් බලතල ලබාගත් දිසාපති නිමල් අබේසිරි මහතා, අවම වශයෙන් මේ ප්‍රදේශයට ජල බව්සරයක් ලබාදීමට කටයුතු කළේ නැත.  මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා මැදිහත්වී ජූලි 18 දින සිට දික්කාපිටියට වතුර බවුසරයකින් ජලය බෙදාදීම සිදුවේ. 

රටට විදුලිය දෙන්නට සරුසාර ගොවි බිමක් විනාශ කරන්නේ නම්, මේ සංවර්ධන අනාථයන් රැක බලා ගැනීම රජයක වගකීමකි.  දික්කාපිටියේ අල, බෝංචි, ගෝවා, කැරට්, නොකොල්, රාඹු, තක්කාලි, බීට්, ලික්ස් වගා බිම් තරම් සරුසාර, ආර්ථික වශයෙන් එලදායී වගා බිමක් තවත් තිබුණේ ද?  මෙවැනි අපරාධයට දික්කාපිටියේ බාසාවෙන් යෙදුමක් තිබේ.  එය කන්දෙකෙන් අසනු මිස ලියන්නට නොහැකිය.
 
(ඡායාරූප වැලිමඩ දික්කාපිටිය දික්උල්පත වැව)

Archive

Latest news

Related news