Monday, May 20, 2024

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අභියෝගයක්: කෝ ඒ නම්-ගම්? -සුනිල් ජයසේකර

ජායාරූපය‍: ආන්නද හිමි රාජපක්ෂ දේශපාලනයේ නියමුවෙකි.

රට,ජාතිය හා ආගම යනු ලිංගික අපචාර, මත්ද්‍රව්‍ය හා අපරාධ නොවේ.

බුදුරජාණන් වහන්සේ කොසොල් දේශයේ චාරිකා කරමින් වැඩසිටි සමයක කේසපුත්ත නම් ගම්මානයේදී කාලාම වරුන් මුණගැසී තිබේ. එහිදී කාලාමවරුන් විසින් බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයක් ආගමික නිම්වළලු ඉක්මවාලමින් අද පවා මුළු මහත් ලෝකයේම අවධානයට යොමුවී තිබේ. එහිදී කාලාමයන් අසා ඇති ප්‍රශ්නය මෙයයි. හිමියනි, කේසපුත්ත නියම්ගමට එන්නා වූ සමහර මහණ බමුණන් වෙති. ඔවූහූ තමන්ගේ දහම උද්දීපනය කර දක්වති. වර්ණනා කරති. අන්අයගේ ඉගැන්වීම් හෙළා දකිති. ඒවාට අවමන් කරති. ඒවා නිසරු කර පෙන්වති. ඒවාට පරිභව කරති. මේ මහණ බමුණන්ගෙන් කවරෙක් නම් ඇත්ත කියයි ද? කවරෙක් නම් බොරු කියයි ද? යනුවෙන් අප තුළ සැකයක් විචිකිච්ඡාවක් පවතීි.

එවිට බුදුන් වහන්සේ ලබාදී ඇති පිළිතුරු මෙසේය. කාලාමයනි, නුඹලා සැක ඇති කරගැනීම සුදුසු ය. විචිකිච්ඡා ඇති කරගැනීම සුදුසුය. සැක කළයුතු තැනම නුඹලා තුළ විචිකිච්ඡාවක් ඉපදී ඇත. කාලාමයනි, නුඹලා සම්ප්‍රදාය යැයි යන හේතුවෙන් ද පරම්පරාගත හේතුවෙන් ද මෙසේ යැයි කියන හේතුවෙන් ද පූජනීය ග්‍රන්ථ වල ඇතැයි යන හේතුවෙන් ද තර්කානුකූල වන හේතුවෙන් ද, න්‍යා්‍යානුකූල හේතුවෙන් ද, මේ කරුණු යහපත් යැයි තමාට හැඟී යන හේතුවෙන් ද, තමන්ගේ දෘෂ්ටියට අනුගත වන හේතුවෙන් ද, කිසියම් පිළිගත් අයෙකුගේ වන හේතුවෙන් ද, ගුරු ගෞරවය හේතුවෙන් ද පිළිගත යුතු නැත.

බුදුන් වදාළ එම පිළිතුරෙන් බුදුන් වහන්සේගේ ධර්මය අවිහිංසාව මත පදනම් වූ තර්ක බුද්ධියට ගෝචර වූ එකක් ද යන්න පැහැදිළි කරගත හැකිය. බුදුන් වහන්සේගේ දහම හෝ උන්වනන්සේගේ ඉගැන්වීම් හෝ උන්වහන්සේගේ මඟපෙන්වීම් තුළ පැවතගෙන එන ශාසනය තුළ පැවතෙන කිසිවෙකුට හෝ යමක් විකෘති කරමින් කටයුතු කළ නොහැකිය. එසේ නම් සිවුර හෝ ආගමට මුවා වී කිසිවෙකුට කිසිවිටෙක අසත්‍ය ප්‍රචාරය කළ නොහැකිය. එමෙන්ම බුදුන් වහන්සේට ආගමික සංස්ථාවන්ට සිවුරු වැනි සංකේතයන්ට මුවා වී කිසිවෙකුට බොරු කීමට ඉඩක් දිය නොහැකිය. එහිදී සබුද්ධික සියල්ලන්ගේම වගකීම වන්නේ එවැනි අසත්‍යයන් ප්‍රශ්න කිරීමය. අසත්‍යයයෙන් සත්‍යය වෙන්කර හඳුනාගැනීමය.

විශේෂයෙන්ම අද වනවිට ලාංකීය සමාජය තුළ කටයුතු කරන ඇතැම් භික්ෂූන් වහන්සේලා විශේෂයෙන්ම පක්ෂ දේශපාලනයට අනුගතව කටයුතු කරන ඇතැම් භික්ෂූන් වහන්සේලා පළකරන අසත්‍යයන්, ප්‍රශ්න කිරීම හා ඔවුන් වදාරණ බොරු නිරුවත් කරනවා හැරෙන්නට අන් කිසිදු විකල්පයක් නැති බව පැහැදිළිය. ජූලි මස 13 වනදා කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවති පුවත්පත් සාකච්ඡාවකදී පළකර ඇති ඇතැම් අදහස් අනුව එසේ ප්‍රශ්න නොකර සිටීම බලවත් පාපයක් වන තරමටම බරපතළ අසත්‍යයන් ඒ හරහා සමාජගත කරන්නට උත්සාහයක් ගෙන තිබේ.

රට, ජාතිය හා ආගම ගැන කතාකළ නිසා භික්ෂූන් වහන්සේලා හතළිස් හත්නමක් මේ වනවිට අත්අඩංගුවේ ඇතැයි යන්න ද එවැනි ප්‍රකාශයකි. මේ ප්‍රකාශය කර ඇත්තේ පැවිදි හඬ සංවිධානයේ සභාපති ලෙස හඳුන්වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. එම ප්‍රකාශය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කළ ද වෙනත් ඕනෑම නායක හිමිනමක් කළ ද එය බරපතළ මුසාවකි. අමුම අමු කෙප්පයකි. ගල් පැලෙන බොරුවකි. එවැනි බොරුවක් ප්‍රශ්න කරනු හැර සත්‍යය තේරුම් ගැනීමට අන් කිසිදු මාර්ගයක් කිසිවෙකුට නොමැත.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එවැනි ප්‍රකාශයක් සමාජගත කිරීමට උත්සාහ කිරීම තුළ උන්වහන්සේගේ දේශපාලන ලැදියාව ඇති ඒකාබද්ධ විපක්ෂයට වාසියක් අත්කර දියහැකි යැයි සිතුවා වියහැකි වුව ද එයින් මේ සමාජයට සිදුවන්නේ බලවත් හානියකි. අසත්‍යය සමාජගත වීම තරම් හානියක් සමාජයකට විය නොහැකිය. ඒ තුළ ඇතිවිය හැකි වැරදි හැඟීමක් සමස්ත සමාජයම කැළඹීමට පත්කළ හැකි අතර එවැන්නක් චීවරයේ නාමයෙන් වේවා, ආගමික සංස්ථාවකට මුවා වී හෝ වේවා සිදුකරත් නම් ඒ තුළ චීවරයට ද ඔවුන් මුවා වන ආගමට ද සිදුවිය හැකි අවමානය සුළු-පටු විය නොහැකිය.

ඒ අනුව ඉතාමත් වගකීමකින් යුතුව ආගමික නායකත්වයකට කළයුතු ගෞරවය ද පෙරදැරිව ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිදුකර ඇති මෙම ප්‍රකාශය එනම් රට ජාතිය ආගම ගැන කතාකළ නිසා භික්ෂූන් 47 නමක් අත්අඩංගුවට ගෙන ඇතැයි යනුවෙන් ප්‍රකාශ කිරීමේ දී ඒ සඳහා උපයෝගී කරගනු ලැබූ මූලාශ්‍ර හා ඉදිරිපත් කළ සාධක මොනවාද යන්න සවිස්තරාත්මකව පැහැදිළි කළ යුතුය. එය උන්වහන්සේගේ යුතුකමකි.

මේ රටේ කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු ඒ ආකාරයට පදනමකින් තොරව, මූලාශ්‍රයන් මත නොපිහිටා වැරදි අදහස් සමාජගත නොකළයුතුය. මුසාවන් නොපැවසිය යුතුය. මේ රටේ සාමාන්‍ය ජන සමාජය මුළා නොකළ යුතුය. මහජන කැළඹීමකට තුඩු දෙන බොරු බේගල් ඇද නොබා සිටිය යුතුය.

ඒ අනුව මේ රටේ වගකීමකින් යුක්තව ජනමාධ්‍යකරණයේ යෙදුණ හා යෙදෙන ජනමාධ්‍යවේදියෙකු ලෙස මේ දේ නොකියා සිටිය නොහැකිය. ගරු කටයුතු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනි, මේ රටේ භික්ෂූන් වහන්සේලා 47 නමක් රට ජාතිය ආගම ගැන කතාකරන නිසා මේ වනවිට අත්අඩංගුවේ සිටී නම් ඒ බව ඔප්පුකර පෙන්වනු මැනවි. හැකිනම් එකී භික්ෂූන් වහන්සේලා 47 නමගේ නාම ලේඛනය නොපමාව ප්‍රසිද්ධ කළ මැනවි. රට ජාතිය හා ආගම යනු ලිංගික අපචාර, මත්ද්‍රව්‍ය හා අපරාධ නොවන බව එවිට සියල්ලන්ටම තේරුම් යනු ඇත.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news