Thursday, May 9, 2024

රනිල් – මෛත්‍රී ආපසු හැරීමට එරෙහිව ජනබලය ගොඩ නගමු! – සිවිල් සමාජ ක්‍රියාකාරීන්

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මෙරට මහා ජනයා හමුවේ දුන් පොරොන්දු එකින් එක පාගා දමමින් සිටින නමුත් සිවිල් සමාජීය බලවේග සටන අතහැරීමට හෝ ආපස්සට යෑමට සූදානමක් නැතැයි පසුගිය 07වන දින කොලඹ මහවැලි කේන්ද්‍රයෙහි රුස්වූ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ශපථ කළහ.

රාවය කර්තෘ ජනරංජන: අප යන්නේ මාදුළුවාවේ සෝභිත හිමි මගෙහිය.

මෙම මහජන හමුව අමතා අදහස් දැක්වූ රාවය කර්තෘ ජනරංජන කියා සිටියේ තමන් ගමන් කරන්නේ සිරිසේන – රනිල් පාරෙහි නොව මාදුළුවාවේ සෝභිත හිමි ගමන් ගත් මෙරට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඇති කිරීමේ මාවතෙහි බවය. සභාවෙහි මුලසුන දරමින් අදහස් ඉදිරිපත් කළ ඔහු තවදුරටත් කියා සිටියේ පසුදාක රංජන් රාමනායක විසින් කියා තිබූ රනිල් සහ සිරිසේන නිසා ඒ ඒ පක්ෂයන්හි හොරු රැකෙනවා යන්න රනිල් සහ සිරිසේන විසින් තම තමන්ගේ හොරු රකිනවා යනුවෙන් වෙනස් විය යුතු බවය. ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් රාජපක්ෂ සමයේ හොරු රකින අන්දම කරුණූ ඇතිව පෙන්වා දුන් ජනරංජන කියා සිටියේ ආණ්ඩුව අද සිවුරට බිය වී ඥනසාර වැනි පාදඩ භික්ෂුවකට පවා බියෙන් හැසිරෙන බවයි.

මාගල්කඩවල පුඤ්ඤසාර හිමි: බලය බෙදීමට විරුද්ධවීම අපරාධයක්.

අස්ගිරි නාහිමියන් දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධ වන්නේ මෙම ව්‍යවස්ථාව අස්ගිරි පාර්ශවයට ගෙන එන එකක් නිසාදැයි ප්‍රශ්ණ කළ මාගල්කඩවල පුඤ්ඤාසාර හිමි කියා සිටියේ බුදු දහම රැක ගැනීමට කළ යුතු බොහෝ දේ නොසළකා හරින මෙම නාහිමිවරුන් දැන් මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් දීමට දැරෙන ප්‍රයත්නයන්ට බාධා කිරීම මහා අපරාධයක් බවයි. 1971, 1989 යන වර්ශයන්හි මෙරට සිංහල බෙෘද්ධ තරුණ පිරිස් ඝාතනය වෙත්දී මුවින් නොබැන සිටි මේ හිමිවරුන්ට දැන් අලුත් රුදාවක් හැදී ඇත්තේ පරාජිත දේශපාලනඥයින් බලයට ගෙන එ්මට දැයි මාගල්කඩවල පුඤ්ඤාසාර හිමි ප්‍රශ්ණ කළෝය. තමා යුද සමයේ යුද තර්ජනයට හසුව තිබූ බොහෝ පෙදෙස් කරා යමින් එම ගම්මානයන්හි විහාර පන්සල් සමඟ කටයුතු කළ බව වදාළ එහිමියෝ මෙරට සාමය ඇති කිරීම සඳහා බලය බෙදීමේ අවශ්‍යතාවය එමගින් ද තහවුරු වූ බව ප්‍රකාශ කළහ. මෙරට බලය බෙදීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවට කියා සිටින බවද එහිමියෝ ප්‍රකාශ කළහ.

ජනාධිපති නීතිඥ වැලිඅමුණ: දූෂණ විමර්ශණ සාර්ථකයි.

ජනාධිපති නීතිඥ වැලිඅමුණ මෑතදී අධිකරණ ඇමැති විසින් මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් නීති වෘත්තියෙන් ඉවත් කරන බවට කරන ලද ප්‍රකාශය හෙළා දකිමින් කියා සිටියේ තමා ලක්ෂාන් ඩයස්ගේ අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි. අපරාධකරුවන් බෞද්ධ චීවරධාරීන් වූ පළියට අත් අඩංඟුවට නොගත යුතු යැයි කියන අසිගිරි නාහිමිගේ ප්‍රකාශය ප්‍රශ්න කළ වැලිඅමුන මෙරට සියලුම ආගමික ප්‍රජාවන්ට සමාන අයිතීන් ඇති බව පෙන්වා දුන්නේය. ඥනසාර හිමි අත්අඩංඟුවට නොගත යුතුයැයි අසිගිරි පාර්ශවය කියන විට ඊට ආණ්ඩුව සවන් දෙන්නේ නම් ඉන් අනතුරුව වෙනත් අපරාධකරුවන්ද අත්අඩංඟුවට නොගත යුතු යැයි අඥා නිකුත් කළ හොත් මෙරට නීතියේ පාලනයට කුමක් වනු ඇත්දැයි ද ඔහු අසා සිටියේය.

ජනවාරි 08දා ඇතිවූ දේශපාලන වෙනස ඉදිරියට ගෙන යෑමට වත්මන් දේශපාලන නායකත්වය දක්වන නොහැකියාව ප්‍රශ්ණ කල නීතිඥ වැලිඅමුණ මහජන මතය ඉදිරියට ගැනීම පිනිස ප්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය අවධාරණය කළේය. තවද රාජපක්ෂ සමයෙහි කරන ලද දූෂණ සහ භීෂණ ක්‍රියා පිළිබඳ පරීක්ෂණ විමර්ශන නිලධාරීන් ඉතා දක්ෂ ලෙස ඉදිරියට ගෙන ගොස් ඇති බව තමා දන්නා බවත් දැන් ඉතිරිව ඇත්තේ නඩු පවරා දඩුවම් ලබා දීමේ කාර්ය බවත් කියා සිටියේ ය.

දඹර අමිල හිමි: ආගමක් වුවත් පිට පොට පටලවා නොගත යුතුය.

සභාව ඇමැතූ දඹර අමිල හිමි මානව වර්ගයාගේ පරිනාමය තුල වර්ධනය වූ මොළයක් සහිත නූතන මිනිසාට අස්ගිරි පාර්ශවය උපදෙස් දෙන්නේ එකී අදීතමයින්ගේ නෙවැඩුනු මොළයෙන්දැයි ප්‍රශ්ණ කළ යුතු බව කියා සිටියේ ය.

අප සමාජයක් ලෙස ඉදිරියට යා යුතු නම් මා සහ අප යන බෞද්ධ, මුස්ලිම්, දමිල ඈ කුඩා කූඩුවල සිරවී අනෙකාගෙන් බැහැර වීම වෙනුවට සියල්ලන් ඇතුළත් කරගන්නා නව මානයන් කරා ගමන් කළ යුතු බව පෙන්වා දුන්නේය.

අප විසින් පැරදවිය යුතු මතවාදය එය බව දඹර අමිල හිමි කියා සිටියෝ ය.

ඥනසාර හිමිගේ මතවාදය හොඳයි නරකට තියෙන්නේ හැසිරීම විතරයි යන අස්ගිරි පාර්ශවයේ ප්‍රකාශය බුදු දහමටම විරුද්ධ බවත් කෙනෙකුගේ හැසිරීම තීරණය වන්නේ එම තැනැතාගේ මතවාදය අනුව නොවේදැයි අස්ගිරියෙන් ඇසිය යුතු බව ප්‍රකාශ කළෝය.

බුදු දහම මෙරට සිංහල සංස්කෘතියේ කොටසක් බැවින් මෙරට සමාජ දේශපාලන ක්‍රියාදාමය තුළ එය නිරෑපනය වන බව ප්‍රකාශ කළ එහිමියෝ එනමුත් අනෙක් ජනවාර්ගික පිරිස් අතහැර සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව කියා සිටියෝය.

ආගමක් සිය බලය අධිතක්සේරු කොට දේශපාලන ක්‍රියාදාමය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට යාමේ විපාක තමන්ට අවශ්‍ය පරිදි සම්ප්‍රදායෙන් පිට රජකු පත් කර ගත් මහා විහාරය සුණු විසිනු වූ ඉතිහාසය මගින් දඹර අමිල හිමි පෙන්වා දුන්හ. බුදු රජානන්වහන්සේ පවා රාජ්‍ය පාලනයට අත නොපොවන සේ සංඝයාට උපදෙස් දුන් බවද එහිමියෝ මතකට නැංවූවෝය. එහිමියන් ද ප්‍රකාශ කළේ මෙම තත්වයට මුහුණ දීමට නම් කොන්ද පණ ඇති ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීම අද ඇති අභියෝගය බවයි.

ගාමිණි වියන්ගොඩ: අස්ගිරි බුදුදහම අතුරුදහන්කිරීම් සාධාරණ කරන්නේද?

අතුරුදහන්වීම් වළක්වන පනතකට විරුද්ධ වන අසිගිරි පාර්ශවයට අනුව අතුරුදහන් කිරීම් අපරාධයක් නොවන බව පෙනේනේ යැයි කී ගාමිනී වියන්ගොඩ මේ බුදුදහම කුමක්දැයි ප්‍රශ්ණ කළේය. නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ සිංහලයින්ට පමණක් නොවන නමුත් යම්යම් භික්ෂුන් සිතා සිටින්නේ සිංහලයින් පමණක් කැමැති පරදි ව්‍යවස්ථාවක් ගොඩ නැගිය යුතු බව යැයි ද ඔහු සදහන් කළේය.

ආණ්ඩුව ලැජ්ජා නැතිව ඥනසාර හිමි ඉදිරියෙහි දණ ගැසූ බැවින් දැන් මෙවැනි තත්වයකට පත්ව තිබෙන බව වියන්ගොඩ කීවේ ය. ඇමැති සාගල රත්නායක සහ පොලිස්පති පූජිත බයිල ගායකයින් වී අපරාධකරුවන් රැක ගැනීමට ක්‍රියා කරන්නේයැයි වියන්ගොඩ චෝදනා කළේය.

අගමැති සහ ජනාධිපති යන දෙදෙනාම මෙරට ජනයාට දුන් ප්‍රධාන පොරොන්දු කඩකරමින් දූෂිතයින් රකිමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පමා කරමින් ආණ්ඩුව කොන්දක් නැති එකක බවට පත් කර ඇති බැවින් දැන් සකළ විධ පසුගාමී බලවේග හිස ඹසවන්නට තැත් කරන බවත් ඊට ඉඩ නොදී පුළුල් ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

සමන් රත්නප්‍රිය, අප පිරට බහින්න ලැහැස්තියි.

තමන් ළඟදීම පුළුල් ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා අත්තිවාරම දමන බවත් රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට සිවිල් බලවේග පෙරමුණ ගත්තේ යළි ආපස්සට යෑමට නොවන බව ආණ්ඩුව තේරුම්ගත යුතු බව සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුවට රාජපක්ෂගේ දායාදයන් වූ උමා ඔය, කුණු ප්‍රශ්ණය යනාදී තවම කර ගසා යෑමට සිදුව ඇති නමුත් අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පමා කිරීමට එය හේතුවක් නොව බව ද ඔහු කියා සිටියේ ය.

මෙම අරගලය අතහැර පලායාමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව ප්‍රකාශ කළ සමන් රත්නප්‍රිය ද පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක්වන ලෙස ආයාචනය කළේය.

(c) SLB

Archive

Latest news

Related news