රජිත් කීර්ති තෙන්නකෝන්.
උමා ඔය හේතුවෙන් විනාශ වු බණ්ඩාරවෙල වසම් 16 ක හානිය පිළිබද වාර්තාව
බණ්ඩාරවෙල ට හදුන්වන සුරතල් නාමය ‘වසන්ත නගරය‘ යි. මහ පොළොව පුපුරා යන, නිවාඩ කඩා වැටෙන, වතුර නැති, ගස් කොළං මියැදෙන, පාසල් වැසෙන, ලිං හිදෙන, සරණාගතයින්ගේ පුරය ‘විසාලාවක්‘ මිස වසන්තයක් නොවේ. මේ උමා ඔය විසින් විසාලාවක් කළ නගරයේ කථාව යි.
බණ්ඩාරවෙල ග්‍රාම සේවා වසම් 16 කට හිස මත උමා ඔය ඛෙදවාචකය දැන් පතිත වී හමාර ය. තවත් ග්‍රාම නිලධාරි වසම් 3 කට එහි පීඩනය දැනෙමින් තිබේ. වෙහෙරගලතැන්න, මකුල්ඇල්ල, එගොඩගම, උඩපේරුව, බඹරගම, තන්තිරිය, වටගමුව, ඇත්තලපිටිය, බණ්ඩාරවෙල නැගෙනහිර, බිදුණුවැව, මහඋල්පත, උතුරු කැබිල්ලේවෙල, ගොඩියාරෙද, කිරිඹරුව සහ කොන්තේහෙල ග්‍රාම නිලධාරි කොට්ඨාශය මේ ව්‍යවසයේ කේන්ද්‍රය යි.
මේ වසම් 16 හි පවුල් 9495 ක් ජීවත් වෙති. නිවාස 8547 ක ජීවත්වන ජනගහනය 30,320 කි. පුද්ගලික නොවන ගොඩනැගිලි 883 කි. මේ ග්‍රාම නිලධාරි වසම් 16 හි පමණක් නිවාස 2979 කට මේ වන විට හානි සිදුව ඇත. දෛනිකව මෙයට අලුතෙන් නිවාස, සිදී යන ලිං ඇල දොළ ලැයිස්තුවක් එක්වේ. බණ්ඩාරවෙල සමීක්ෂණ සිදු කොට ඇති පවුල් 8547 න් 4002 ක් එනම්, සෑම නිවාස දෙකකින් එකක්ම විපතට පත්වී ඇත. ඒවායේ මිනිසුන් 14,982 ක් ජීවත් වෙති.
හානියට පත් නිවාස වෙනුවෙන් ඉරාන සමාගම මගින් ලබාදුන් මුදල් රු. මිලියන 160 ක් (රු. 160,432,257.00) ක් වන්දි වශයෙන් ගෙවා ඇත. ඒ වෙහෙරගලතැන්න නිවාස 440, මකුල්ඇල්ල 455, එගොඩගම 398, උඩපේරුව 7 ක් ලෙසින් නිවාස 1300 කට පමණී. උඩපේරුවේ පවුල් 29 ක්, මකුල්ඇල්ල පවුල් 10 ක්, වෙහෙරගල පවුල් 4 ක් ඉවත් කොට ඇත. පවුල් 26 කට ගෙවල් කුලී ලෙස රු. 15,000 ක් බැගින් ලැබේ. රජයේ නිවාස 3 ක ද මිනිසුන් පදිංචිව සිටී. තවත් රුපියල් මිලියන 300 ක් පමණ වගා සහන ලෙස (ගෙවී ගිය වසර 2 තුල) ගෙවා ඇත. නමුත්, මේ සහනය විනාශයෙන් සොච්චමකි.
මේ සංඛ්‍යා ලේඛන නිවසින් නිවසට ගොස් ග්‍රාම නිලධාරින් විසින් ලබාගත්, සිවිල් සංවිධාන විසින් ස්ථිර කරනු ලැබූ වසම් 16 ක් සම්බන්ධයෙන් පමණී. තවත් ග්‍රාම නිලධාරි වසම් ගණනාවක් බණ්ඩාරවෙල පමණක් ඇත. බණ්ඩාරවෙල බටහිර වසමේ ලිං 31 ක් දැනට සිදී යමින් තිබේ. ගෙවල් 52 කට හානි සිදුව ඇත. ඒවා මේ ලැයිස්තුවට තවමත් එකතු කොට නැත. මෙයට අමතරව වැලිමඩ, ඌව පරණගම, ඇල්ල, හාලිඇළ, වැල්ලවාය විනාශය මෙයට ඇතුලත් නැත.
වියළි කතරක් වූ වග
හානියට පත් බොරලන්න හැර අනෙක් ප්‍රදේශ දැනට අවුරුදු දෙක තුනකට පෙර තිබුණේ වතුරේ පොගවනු ලැබූ ස්පොන්ජ් කැබැල්ලක් මෙනි. බණ්ඩාරවෙල ආසන්නයේ ඇති ගම්මාන බහුතරයක නම් සෑදී ඇත්තේ ජලය, ඇල,දොළ, ගංගා, ඇල, කුඹුරු හදුන්වන යෙදුම් වලිනි.
ඉහතින් දැක්වු ග්‍රාම නිලධාරි වසම් 16 හි පමණක් ලිං 2051 ක් සිදී ගොස් ඇත. ඒ ලිං පවුල් 3822 කට ජීවත්වන්නට, බොන්නට, නාන්නට වතුර දුන්නේය. ඉහත භුගෝලීය කලාපයේ පමණක් ජල මුලාශ්‍ර54 ක් සිදී ගොසිනි. ඔබ බණ්ඩාරවෙලට එක්වරක් හෝ ගොස් ඇති නම් ගල්ඇක්ක, හීල්ඔය, මකුළුදෝව, දෝව, අයිස් පීල්ල, ඇල්ලේඅරාව, උල්ලේඅරාව, මහඋල්පත නොදන්නවා විය නොහැකිය. හීල් ඔය තබා තන්තිරියේ ඇළ වත් දැන් නැත. ‘බණ්ඩාරගේ වෙල හෙවත් කුඹුරින් නම් ලැබූ නගරයේ ජල උල්පත් තුනම ඉරිතලා වියැලී ගොසිනි. කදු අතරින්, ගස් වැල් අතරින් ගලා එන බණ්ඩාරවෙල සීතල වතුර පානය කර ඇතිවාට සැක නැත. ඒ කිසිවක් තවදුරටත් එහි නැත. ඒවා පරිහරණය කළ පවුල් 2001 කි. සතා සිව්පාවුන් ගැන සමීක්ෂණ දන්නේ නැත.
වතුර බිදක් හෝ නල ජලය, නොමැති පවුල් 2533 කට අවම ජල අවශ්‍යතාව සපුරන්නට නම් දිනකට ජලය ලීටර් 280,000 ක් අවශ්‍යය. නමුත් බව්සර් මගින් සැපයිය හැකි උපරිම ජල ප්‍රමාණය ලීටර් 190,000 කි. බණ්ඩාරවෙල දරුණුම නියං සමය ජූලි සිට සැප්තෑම්බර් තුන්වන සතියේ ඊසාන දිග මෝසම ආරම්භය දක්වා සමය යි. පානීය ජල අර්බුදය තවමත් ආරම්භ වූවා මිස අවසන්ව නැත. වසන්ත නගරයේ අද ජලය ගබඩා කරගන්නේ ඉරාන ෆරාබ් සමාගම දුන් ලීටර් 500 ටැංකි 2894 කිනි. ලීටර් 1000 ටැංකි 10 ක්, 2000 ටැංකි 7 ක් ද ඇත! ඒ අතරතුර මධ්‍යම කදුකරයේ ජලය ලීටර් කෝටි 22 ක් දිනකට උමං කටින් එළියට යයි. දවසින් දවස භූගත ජල ප්‍රමාණය පහත බසින බව ‘වෙහෙරගලතැන්න‘ ජල මාපකයේ දත්ත පෙන්වයි.
උමා ඔය විසින් ක්‍රමිකව බණ්ඩාරවෙල ජන ශිෂ්ඨාචාරය ගිල ගනිමින් තිබේ. ඛෙදවාචකය ඇරඹී වසර දෙක හමාරකි. හර්තාලයට අවසන් වී දැන් සති දෙකකි. අවම වශයෙන් ජනතාවට සහන සැලසීමේ ක්‍රමවේදය හෝ අද දක්වාම බිදකින් හෝ වෙනස් වී නොමැත. ෆරාබ් ආයතනයෙන් ලැබෙන මුදල් හැර එක් මැති ඇමතිවරුන් කියන පරිදි එකම රුපියලක් හෝ අලුතෙන් මේ ජනතාවට හර්තාලයෙන් පසුව ලැබී නැත. එකම වතුර බවුසරයක් හෝ අලුතෙන් සේවයට එක් කොට ද නැත. දැන් බණ්ඩාරවෙලට දැඩි නියං සමය ඇරඹී ඇත.
ජලය, නිවාස, ආදායම් මාර්ග මිනිසාගේ මුලික අවශ්‍යතාවන් ය. ඒවා සුරක්ෂිත කිරීම රජයේ වගකීමකි.
රජිත් කීර්ති තෙන්නකෝන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වේ.