Monday, May 20, 2024

ලක්බිමේ මව්වරු සහ දියණියෝ ස්ත්‍රී ලිංගික දූෂණයට එරෙහිව මීගමුවෙහි විරෝධතාවයක

මීගමුවෙහි ධනවත් පුද්ගලයකු විසින්කරන ලදැයි කියන ස්ත්‍රී ලිංගික කෙළෙසිමකට විරුද්ධව අද ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය විරෝධතාවයක් පැවැත්වූහ. මෙම ධනවතාගේ බලපුල්වන්කාරකම් හමුවෙහි කෙළෙසීමට ලක් වු ස්ත්‍රියට වෙනුවෙන් මීගමු අධිකරණයෙහි කිසිදු නීති වෙිදියකු ලබා ගැනීම පවා අසීරු වී  ඇතැයි කියැවේ.

මිගමු නගරය මැද පැවැති එම විරෝධතාවයෙහිදි බෙදා හරින ලද පත්‍රිකාව සහ ජායාරූප පහත පළවේ:

ස්ත්‍රීන්ට එරෙහි ලිංගික කෙළෙසීම් මානව වර්ගයාට විරුද්ධ අපරාධයකි. ඊට විරුද්ධ වන්න!

  • ලක්බිමේ මව්වරු සහ දියණියෝ

ස්ත්‍රීන් සහ ගැහුණූ ළමුන් ලිංගිකව කෙළෙසීම මානව වාර්ගයාට එරෙහි අපරාධයකි. මෙරට  කාන්තාවන් සහ ගැහැණු ළමුන්  මුහුණ දෙන බරපලතම අපරාධයක් වන්නේ ද විවිධ ආකාරයෙන් ලිංගිකව කෙළෙසීමයි. ලිංගික දූෂණය එහි උපරිම සහ භයානකම ආකාරය වේ.

ලිංගික කෙළෙසීම්වලට එරෙහිව නීති අණ පනත් මෙන්ම ස්ත්‍රී අයිතිවාසිකම් මෙරට කොතෙක් ලිඛිතව තිබුණද ලිංගික කෙළෙසීම් සහ ස්ත්‍රී දුෂණ අපරාධ ප්‍රමාණය අධික ලෙස වැඩි වෙමින් තිබේ. 2016 වසරේ පොලීසියට වාර්තා වී ඇති ස්ත්‍රී ලිංගික  දුෂණ ප්‍රමාණය 2036 කි. අයිතීන් උදෙසා කාන්තාවෝ වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ සෑම විනාඩි 90කට වරක්ම ස්ත්‍රී ලිංගික දුෂණයක් සිදුවේ.

දිනපතා ළමුන් 3-5ත් අතර සංඛ්‍යාවක් ලිංගික අපචාරයන්ට ලක්වන බවද වාර්තා පෙන්වයි. 2013 වසරේ මාස 6ක් තුල වාර්තා වූ කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩ සිදුවීම් 900 කින් 700ක් ම ලිංගික හිංසනය සම්බන්ධ සිදුවීම් ය.

ස්ත්‍රීන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයේ සිටින අතර පොදු ප්‍රවාහණ සේවාවන්හිදී ස්ත්‍රීන් වැඩිම වශයෙන් අතරවරයට ලක්වන රටක් ලෙසද අපේ රට අපකීර්තියට පත්ව තිබේ.

මේ සංඛයා ලේඛන පොලිස්, මාධ්‍ය, වෛද්‍ය වාර්තා ඇතුළු පිළිගත හැකි වාර්තා වලින් හෙළිදරවු වූ තොරතුරු වේ. එසේ නමුත් අප දන්නා පරිදි මෙළෙස වාර්තාවන්නේ  මුහුදේ පා වෙන අයිස් කන්දක පෙනෙන්නට ඇති කොටස මෙන් සියයට 10-15ක් පමණි. ඉන් ඇතිවන සමාජ අපකීර්තිය මෙන්ම,  මෙරට නීති පද්දතියේ ඇති මන්දගාමී ස්වභාවය නිසා ලිංගික කෙළෙසීම්වලට ලක්වන බහුතරයක් ස්ත්‍රීන් ඒවා පොලීසියට වාර්තා කරන්නේ නැත.

ජාති, ආගම්, තරාතිරම් ආදී කිසිදු භේදයකින් තොරව කාන්තාවන් දුෂණයට ලක්වීම මේ රටේ සාමාන්‍ය සිදුවීමක් බවට දැන් පත් වී ඇත. එසේ වින්දිතයන් වන කාන්තාවන්ට නීතිය මගින් සාධාරණයක් ඉටු වේදැයි සැකයක් පවතී. එසේ සාධාරණය ඉටු වුවද, එය ප්‍රමාද වීම බරපතල ගැටලුවකි.  එමෙන්ම දේශපාලන සහ ධනහිමි බලවතුන්ගේ එක්වී මෙවැනි ලිංගික කෙළෙසීම් යට ගැසීමට කටයුතු කරන අවස්ථා ද තිබේ.

කාන්තාවන්ට එරෙහිව සිදු වන ලිංගික සහ අනෙකුත් අපරාධ අපේ සමාජයටම කැළලකි. එසේ කෙළසිම්වලට ලක්වන්නේ අපේම මව්වරුන්, දියණියන්, සහෝදරියන් සහ මිතුරියන්ය. එබැවින් අප ඔබෙන් ඉල්ලා සිටින්නේ  හැකි පමනින් මෙම ලිංගික කෙළෙසීම්වලට  විරුද්ධවන ලෙසය.

එමෙන්ම  මෙම දුෂ්ඨ අපරාධය අහෝසි කිරීමට  මුළු සමාජයේත්, බලධාරීන්ගේත්, අවධානය යොමු කරන ලෙස  අපි බල කර සිටිමු.

  • ලක්බිමේ මව්වරු සහ දියණියෝ

Archive

Latest news

Related news