Friday, March 29, 2024

ඩෙංඟු අබියස දොස්ප්‍තර වර්රජනය: ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය – සුනිල් ජයසේකර

ජායාරූපය: දොස්තර වර්ජනය හමුවේ අසරණ වන දුගී ජනයා. සන්ඩේ ටයිම්ස් ජායාරූපයකි.

“ඩෙංගු මර්ධනයට ඔබේ සහාය අත්‍යවශ්‍යයි….!! මේ මොහොතේ රටේ දරුණුතම අර්බුදය ඩෙංගු ය. එය අධි වසංගත තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. වාර්තාගත රෝගීන්ගේ සංඛ්‍යාව හැට දහසකට අධිකය. ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව එය මේ අයුරින්ම වර්ධනය වුවහොත් ජූලි මස සහ අගෝස්තු මාසයේ මුල් සතිය වනවිට සියයට දෙසිය පනහක ප්‍රතිශතයකින් එහි අවදානම ඉහළ යා හැකිය. දැනටමත් රෝහල් වලට දරාගත නොහැකි මට්ටමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඇතැම් රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි යාම නිසා රෝගීන් භාරගැනීමට ද අසිරු වී තිබේ.

මේ තත්වය දිගටම පැවතුනහොත් මහා ව්‍යසනකාරී තත්වයක් රටපුරා ඇතිවිය හැකිය. එම නිසා එය මර්දනය කිරීමට පුරවැසියන් ලෙස අපට ඇති වගකීම් ඉටුකිරීමේ අරමුණෙන් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය, නාවික හමුදාව, රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය සමග සාකච්ඡා කළ අතර ඒ සියලු අංශ ඒකාබද්ධ කරගනිමින් ව්‍යාපාරයක් ඇරඹීමට සූදානමින් සිටියි. එම නිසා රාජ්‍ය හා පුද්ගලික අංශය මෙන්ම පොදුවේ සියලු දෙනාගේ සහභාගීත්වය මේ සඳහා අපේක්ෂා කෙරේ. සියල්ලන්ගේ ජීවිත වෙනුවෙන් සැවොම එක්වෙමු.

මේ සටහන තබා තිබුණේ මුහුණු පොතේය. එය සටහන් කර ඇත්තේ සමාජය පිළිබඳ නිරන්තර අවධානයකින් සිටින බොහෝ අවස්ථා වල පොදු යහපතට අදාළ කරුණු කාරණා වලදී ස්වෙච්ඡාවෙන්ම කැපවෙන තරුණයෙකු විසිනි. පසුගියදා සිදුවුණ ගංවතුර විපතේදී ද අප රටේ අනෙකුත් තරුණ තරුණියන් බොහෝ දෙනෙකු මෙන්ම පෙර කී තරුණයා ද ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිදුකරන ලද කැපවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ද ප්‍රශංසාවට ද හේතු විය. එය වගකීමකින් යුත් එක් පුරවැසියෙකු විසින් සිදුකරන්නට යන අහිංසක හා වැදගත් උත්සාහයක් ලෙසට ද සැලකිය හැකිය.

එහෙත් ඒ සමගම මතුවන ප්‍රශ්නයක් ද තිබේ. එනම් රට මෙවන් අවදානම් මොහොතකට පිවිස තිබියදී ඒ සඳහා රාජකාරී වශයෙන් ද වෘත්තීමය වශයෙන් ඇති අදාළත්වය අනුව ද ඒ සියල්ලටමත් වඩා ආචාර ධාර්මික බැඳියාව අනුව ද පෙනීසිටිය යුතු මේ රටේ වෛද්‍ය ප්‍රජාව සිදුකරන්නට යන්නේ කුමක්ද යන්නය. මෙහිදී වෛද්‍ය ප්‍රජාව යනුවෙන් සෘජුවම අදහස් කරන්මේ මේ රටේ වෛද්‍යවරුන් නියෝජනය කරන්නේ ය යන වරපත්‍රය සියතින්ම ලියාගෙන ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.

රටේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරී යද්දි තවදුරටත් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි මට්ටමට අසරණව සිටිද්දි ඒ සියලු තත්වයන් තුළ රටේ ඩෙංගු පැතිරීමේ අවදානම සියයට දෙසිය පනහකින් ඉහළ යාහැකිය යන අනතුරු ඇඟවීම සිදුකර තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙවන දිනයටත් යෙදී සිටින්නේ වැඩවර්ජනයක ය. එනම් රටේ අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ඉවත්ව ය. නූතන ලෝකයේ ශිෂ්ට සම්පන්න කිසිදු වෘත්තීය සංවිධානයක් තබා ම්ලෙච්ඡ වනචාරි ගෝත්‍රික සමාජයක ජීවත් වන වෙදැදුරෙකුගෙක් පවා එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු වියහැකිද? බලාපොරොත්තු විය යුතු ද? එහෙත් සත්‍යවශයෙන්ම අප රට මුහුණ දී ඇති අවදානම සළකා බලද්දි ස්වෙච්ඡාවෙන්ම පෙරට එන අප රටේ වෛද්‍යවරුන් නොවන එහෙත් හෘද සාක්ෂියත් සහ සමාජය පිළිබඳව වන තමන්ගේම වගකීමක් ඇතැයි සිතන තරුණයින් තුළ පවත්නා කැපවීම හා වගකීම් සහගතභාවය පිළිබඳ සැලකීමේදී රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයෙන් එම ප්‍රශ්නය විමසීමෙන් පලක් නැත.

මක්නිසාද යත් ඔවුන්ගේ කැපවීම, පක්ෂග්‍රාහීත්වය හා පෙනීසිටීම සත්‍යවශයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක්, නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් තබා හෝ නිරෝගී සමාජයක් පිළිබඳ පවා නොව පටු දේශපාලන අරමුණක් උදෙසා වන කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීම උදෙසා වන බව ඔවුන් මේ වනවිටත් පැහැදිළිවම ඔප්පුකර ඇති නිසාය. ඔවුන් නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සත්‍ය වශයෙන්ම පෙනී සිටින්නේ නම් රජයේ වෛද්‍යවරුන් ලෙස මහජන මුදලින් වැටුප් ලබමින් පෞද්ගලික රෝහල් හා ඖෂධ සමාගම් හි ප්‍රවර්ධනය උදෙසා කටයුතු නොකළයුතුව තිබේ. නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් රත්මලානේ කොතලාවල පුද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට එරෙහිව ද මේ ආකාරයටම පෙනිසිටිය යුතුව තිබේ.

අද ඔවුන් ප්‍රකාශ කරන පරිදි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වන්නේ නම් එසේ එරෙහි වියයුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදී එය ආරම්භ කරන මොහොතේදී ය. සයිටම් ආයතනය පවත්වාගෙන යාම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදී රුපියල් කෝටි ගණනින් බදු සහන සහ ණය මුදල් ලබාදෙද්දී ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් රජයේ මුදල් ද යොදවමින් සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරද්දීය. එහෙත් ඒ සියල්ල ඉදිරියේ ඊට නිහඬවම අනුකූලත්වය දක්වන ලද පිරිසක් අද මේ ආකාරයට අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමින් ද තුවාල ලබන ආරක්ෂක අංශවල සාමාජිකයන්ට ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ද ඒ සියල්ලටම වඩා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පටු දේශපාලන න්‍යාය පත්‍රයට එරෙහි වන වෛද්‍යවරුන්ට පවා අමානුෂික ආකාරයෙන් පහර දෙමින් ද සිදුකරමින් සිටින්නේ කුමක් ද? ඉතා පැහැදිළි ලෙසම පටු දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමකි.

රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය සොයාබැලීම වෛද්‍යවරයෙකුගේ කාර්යයක් වේ. ප්‍රතිකාර ලබාදිය යුත්තේ ඒ අනුවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට ද අදාළව විසඳුමක් සොයාබැලීමේදී ද එය ඒ ආකාරයටම අදාළ වේ. ඊට පිළිතුරු ලබාදියයුත්තේ ද ඒ අනුවය. රටේ බලධාරීන් අවබෝධ කරගත යුතුව ඇත්තේ එයයි.

 

Archive

Latest news

Related news