Thursday, April 25, 2024

විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගයත් සමඟ උතුර උණුසුම්

ජායාරූපය: විග්නේශ්වරන්ගේ නිවස ඉදිරිපිට ඔහුට සහාය දක්වන පිරිස් උද්ඝෝෂණය කරති. credit (@uthayashalin

උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සහ ඔවුන්ගේ අත්සන් තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

මහ ඇමතිවරයාට එරෙහිව උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 38 දෙනාගෙන් 21 දෙනෙකුගේ අත්සන් සහිතව ඊයේ බදාදා ((14) ) රාත්‍රියේ ආණ්ඩුකරුට භාරදුන් විශ්වාස භංග යෝජනාවත් සමග උතුරේ දේශපාලනය උණුසුම් වෙමින් පවතී.

විශ්වාසභංග යෝජනාවත් සමග සරසවි ශිෂ්‍ය සංවිධාන සහ වෙනත් සංවිධාන මහ ඇමතිවරයාට පක්ෂව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරමින් ඇත.

උතුරු පළාත් සභාවේ අර්බුදය උද්ගත වුණේ එහි ඇමතිවරුන් හතර දෙනාගෙන් දෙදෙනෙකුට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔවුන්ට ඇමති පදවිවලින් ඉල්ලා අස්වන ලෙස මහ ඇමති සි.වි විග්නේශ්වරන් දැනුම් දීමත් සමඟයි.

පළාත් සභා ඇමතිවරුන් හතර දෙනාට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා මහ ඇමතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටු වාර්තාවේ නිර්දේශ පරිදි පදවි වලින් ඉල්ලා අස්වන මෙන් මහ ඇමතිවරයා උතුරු පළාත් සභා සැසිවාරයේ දී ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් බදාදා (ජුනි 14) ඉල්ලීමක් කර තිබුණි.

උණුසුම් වාද විවාද

අදාළ ඇමතිවරුන් දෙදෙනා මහ ඇමතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ඒ සමග පළාත් සභා සැසිය තුළ දැඩි වාද විවාද ඇති විය.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිස් අට (38) දෙනාගෙන් තිස් දෙනෙක් (30) මහ ඇමති සි.වී. විග්නේශ්වරන් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් වන නමුත් එම සන්ධානයේ පක්ෂ අතර ඇති මත ගැටුම් මෙම අර්බුදයට හේතු වී ඇත.

අර්බුදය විසඳා ගැනීමට නායක මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇත.
Image captionඅර්බුදය විසඳා ගැනීමට නායක මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇත.

මහ ඇමතිවරයා කටයුතු කරන ආකාරය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයන් අතර එතරම් පැහැදීමක් නොතිබුණු බවට පසුගිය කාලයේ වාර්තා කෙරුණි.

දැනට උද්ගත වී ඇති තත්වය හමුවේ පළාත් සභාව තුළ තමාට බහුතර බලයක් ඇති බව තහවුරු කරන මෙන් මහ ඇමතිවරයාට දැනුම් දෙන බව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

බහුතර බලයක් පෙන්වීමට මහ ඇමතිවරයා අසමත් වුනොත් තනතුරින් ඉවත්වීමට ඔහුට සිදුවන බවත් ආණ්ඩුකරු පෙන්වා දෙයි.

උතුරේ පළ කෙරෙන ‘උදයන්’ පුවත්පතේ මාධ්‍යවේදී ආර් ප්‍රේමනාත් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් දැනට පවතින තත්වය අනුව සී.වී. විග්නේශ්වරන් මහ ඇමතිවරයාට පළාත් සභාව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි තත්වයක් දක්නට ලැබෙන බව සඳහන් කළේය.

කෙසේ නමුත් අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර සාකච්ඡා ගණනාවක් දැනටමත් ආරම්භ වී ඇති බවත් ‘උදයන්’ පුවත්පතේ මාධ්‍යවේදී ආර් ප්‍රේමනාත් පවසයි.

මහ ඇමතිට පක්ෂව

මහ ඇමැතිට පක්ෂව තරුණ පිරිස් විදී බසිති. (@uthayashalin)

මේ අතර මහ ඇමති සී.වී. විග්නේශ්වරන් වෙනුවෙන් සහයෝගය පළ කෙරෙන මහජන උද්ඝෝෂණ කීපයක් යාපනයේ පැවැත්වුන බව වාර්තා වෙයි.

යාපනය සරසවි ශිෂ්‍ය සංවිධාන මහඇමතිවරයාට සහයෝගය පළ කරති.

මහ ඇමතිවරයාට පක්ෂව යාපනයේ මහජන උද්ඝෝෂණ පැවැත්වෙයිI
මහ ඇමතිවරයාට පක්ෂව යාපනයේ මහජන උද්ඝෝෂණ පැවැත්වෙයි

අද (ජුනි 15) යාපනයේ ඔහුගේ නිල නිවස ඉදිරිපිට පැවැත්වුන උද්ඝෝෂණයකට සහභාගී වූ කණ්ඩායමක් අමතමින් අදහස් දැක්වූ මහ ඇමතිවරයා “දේශපාලකයන්ට දූෂණ මගින් මහජනතාව වෙනුවෙන් සේවය කළ නොහැකි” බව පෙන්වා දුන්නේය.

“දූෂණ සිදු කරපු දේශපාලකයන්ට විරුද්ධව මම පියවර ගත්තා. එම පියවර මගේ දේශපාලන අනාගතයට බලපෑමක් කරාවි කියල මා තුළ බියක් තිබුණා. නමුත් ඒ බිය දැන් නැහැ.මොකද? මේ ජනතාව-විශේෂයෙන්ම තරුණයන්-මට සහයෝගය දෙන නිසා. ඉදිරි දිනවල සිදු වෙන්නේ මොනවාද කියල අපි බලමු” මහ ඇමති සී.වී. විග්නේශ්වරන් තමා වෙනුවෙන් උද්ඝෝෂණය කළ කණ්ඩායම අමතමින් කියා සිටියේය.

BBC Sinhala

Archive

Latest news

Related news