Saturday, April 20, 2024

තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප‍්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය- සුනිල් ජයසේකර

ජායාරූපය: බෙල්ලන ගමෙහි සුසාන භුමියෙහි නායයාමෙන් විපතට පත් ජනයාගේ සිරුරු මිහිදන් කැරෙයි’ photo credit Eranga Jayawardena/AP.

රටක් ලෙස මේ මොහොතේ, ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ අතිශයින්ම බැරැරුම් අභියෝගාත්මක මොහොතකට ය. සිදුව ඇත්තේ ස්වභාවික ව්‍යසනයක් වුවත් එහි අහිතකර ප‍්‍රතිඵල හා අතුරු ප‍්‍රතිඵලයන් අවම කරගැනීම සදහා රජයට මෙන්ම පුරවැසියාට ද ඇත්තේ අසමසම වගකීමකි. මෙහිදී වගකීම පිළිබඳ විශේෂ අවධාරණයකින් යුතුව කතාකිරීමට සිදුව ඇත්තේ රට හමුවේ දැවැන්ත විපතක් මතුව ඇති අවස්ථාවක දී පවා වගකීම් විරහිත ඇතැම් පාර්ශවයන් ඒ තුළ ද තම පටු අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට දක්වන උනන්දුව නිසාය.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද දහවල් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ගංවතුර හා නායයෑම් හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 146 ක් වේ. ඒ අතර තවත් පුද්ගලයින් 112 දෙනෙක් පිළිබඳව නිශ්චිත තොරතුරු දැනගැනීමට නොහැකිය. ඒ තුළින් අදහස් කරන්නේ ඒ සියලූ දෙනාම අතුරුදන් වී ඇති පුද්ගලයින් ලෙසටය. ඒ සමග ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්වී ඇති පුද්ගලයින්ගේ ප‍්‍රමාණය හාරලක්ෂ හතළිස් දෙදහසක් පමණ වෙතැයි කියැවේ. අවධානමට ලක්ව ඇති දිස්ත‍්‍රික්ක ප‍්‍රමාණය අටකි. මේ සියලූ දත්ත හා තොරතුරු මගින් පැහැදිළි වන්නේ පවත්නා තත්වයෙහි අතිබරපතළ බව ය.

ඒ කෙසේවුවද රටක් ලෙස අප ඉදිරියේ ඇති අවදානම හා අභියෝගය කෙතරම් බරපතළ වුවද නියත වශයෙන්ම ඊට මුහුණ දියයුතුව තිබේ. එහිදී පාලන තන්ත‍්‍රයට මෙන්ම රටක පුරවැසියාට ද ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. පටු දේශපාලන හා අන්තවාදී අදහස් මත කටයුතු කරන කල්ලි හා කණ්ඩායම් හැරෙන්නට එහිදී රටේ අතිබහුතර පිරිස ඉතාමත් වගකීමකින් යුතුව හැකි උපරිම ශක්තිය යොදවා ඒ සදහා පෙරට විත් සිටින බව ඔවුන් වෙත පළකරන ගෞරවයක් ලෙස මෙහිදී සදහන් කළයුතුව තිබේ.

රාජ්‍ය යාන්ත‍්‍රණය ද තම උපරිම ශක්තිය හා හැකියාව ඒ සදහා යොදාගන්නට උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම විපතට පත් ජනතාව අතරට අන්සියල්ලටම පෙර ලඟා වූ ආරක්ෂක අංශ විපතට පත්වූවන් ඉන් මුදාගැනීම සඳහාත් අවශ්‍ය මූලික පහසුකම් හැකි පමණ ලබාදීම සදහාත් ගෙන ඇති පියවර එහිදී අගය කළයුතුව තිබේ. විශේෂයෙන්ම ස්වභාවික විපත් ද ඇතුළුව ඇතිවන හදිසි තත්වයන් තුළ සිවිල් පරිපාලන යාන්ත‍්‍රණයට පිවිසිය නොහැකි බොහෝ පරාසයක සාර්ථක ලෙස ක්ෂණිකව සක‍්‍රිය වියහැක්කේ ඒ සඳහා සුවිශේෂි පුහුණුවක් හා යාන්ත‍්‍රණයක් සහිත ආරක්ෂක හමුදාවන්ට ය. එය අප රටට අදාළව පමණක් නොව ලෝකයේ සියලූම රටවලට ද අදාළව සැලකීමේදී පැහැදිළි වන සත්‍යයකි. එහෙත් එහිදී සාමාන්‍ය සිවිල් පරිපාලන යාන්ත‍්‍රණයට කාර්යභාරයක් නැතැයි ඉන් කිසිසේත්ම අදහස් නොවේ. පශ්චාත් ව්‍යසන කලමණාකරණය කිරීම වැනි අප හමුවේ ඇති ඉදිරි අභියෝග සළකා බැලීෙමිදී ඔවුන් වෙත ද පැවරෙනු ඇත්තේ අසමසම වගකීමකි.

ඒ සමගම සිවිල් සමාජය පිළිබඳව සළකා බැලීමේදී මේ දක්වා ඔවුන් විසින් සිදුකර ඇති හා සිදුකරමින් පවතින කාර්යභාරය අතිවිශිෂ්ටය. විපතට පත් ජනතාව වෙනුවෙන් ඔවුන් මේ දක්වා ඉටුකර ඇති කාර්යභාරය ප‍්‍රශංසනීය වේ. ඒ සමගම අපගේ අසල්වැසි රාජ්‍යයන් වෙතින් ද ලබාදී ඇති සහ ලබාදෙන බවට ප‍්‍රකාශ වී ඇති සහයෝගය ද අගය කළයුතුය. විශේෂයෙන්ම ඉන්දියාව ඒ පිළිබද දක්වා ඇති උනන්දුව හා කාර්යක්ෂමතාවය බෙහෙවින්ම වැදගත්ය.

එහෙත් මේ තත්වය තුළ ද තම පටු දේශපාලන අරමුණු බැහැර කිරීමට අකැමති පිරිසක් ද අප අතරම සිටින බව කණගාටුවෙන් යුතුව වුව ද පෙන්වා දියයුතුය. ඒ සදහා දැක්විය හැකි එක් නිදර්ශනයක් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක‍්‍රියාකලාපයයි. රටකට මේ තරම් විපතක් සිදුව තිබියදී වෛද්‍යවරුන් හමුවේ ඇත්තේ දැවැන්ත කාර්යභාරයකි. විපතට පත්වූ ජනතාව මුහුණ දී ඇති සෞඛ්‍ය ගැටඑ පිළිබදව සළකා බැලීමේදී ඔවුන් සතු වගකීම මෙතෙකැයි කියා ගණනය කළ නොහැකි තරම්ය. විශේෂයෙන්ම මේ ආකාරයේ ස්වභාවික

ව්‍යසනයන්ගෙන් පසු නියතවශයෙන්ම හිස ඔසවන වසංගත රෝග තත්වයන් පිළිබදව සළකා බැලීමේදී ද රටක සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ඇති වගකීම තේරුම්ගත හැකිය. එහිදී වෛද්‍යවරුන් සතු කාර්යභාරය අති දැවැන්තය. එහෙත් රටේ ප‍්‍රධානතම වෛද්‍ය වෘත්තීය සංව්ධානය ලෙස කියාගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනතෙක් ඒ පිළිබදව වචනයකින් හෝ අවධානයක් යොමුකර ඇති ආකාරයක් අසන්නට නොමැත. ඒ වෙනුවට ඔවුන් මේ මොහොතේදීත් සූදානම් වන්නේ ඉදිරියේදී ද වෛද්‍ය වැඩවර්ජනයක් සැලසුම් කරන්නටය. ඒ සඳහා වන සාකච්ඡාවක් හෙට දහවල් 1.00 ට පමණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පැවැත්වෙන බවට සිය සගයන්ට පණිවුඩ නිකුත්කර තිබිම මගින් ඒ බව පැහැදිළි වේ.

නියතවශයෙන්ම එය සැලකිය හැක්කේ වෛද්‍යවරුන්ගේ ආචාරධර්ම අමුඅමුවේම කෙලසන වෛද්‍ය සදාචාරය හා වෛද්‍යවරයා සතු සමාජ වගකීමට පයින් ගැසීමක් ලෙසටය. රට හමුවේ මෙවන් දැවැන්ත විපතක් සිදුව තිබියදීත් ඒ පිළිබඳව සංවේදී නොවන වෛද්‍ය සේවයක්, වෛද්‍ය වෘත්තීය සංගමයක් ලෝකයේ වෙන කිසිදු රටක තිබිය නොහැකිය. එවැන්නක් ඇති රටකට ඇතිවිය නොහැකි විපතක් ද නැති බව මෙහිදී සියලූ දෙනාම තේරුම්ගත යුතුව තිබේ.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news