ජායාරූපය: pic.twitter.com/PbJRjJ66UQ.
ලසන්ත ද සිල්වා.
2003 වසරෙන් පසුව උද්ගත වූ බිහිසුණුම ගංවතුර වන 2017 වසරේ මේ වනවිට මුහුණ දෙමින් සිටින තත්ත්වය බිහිසුණු සුනාමියෙන් පසුව දිවයිනේ වැඩිම ජන පිරිසක් එකවර අවතැන් වූවන් බවට පත්කළ ව්‍යසනය බව පැවසීම නිරවද්‍ය විය යුතුයි.
මේ සටහන ලියන මොහොත වනවිට ව්‍යසනයට ගොදුරු වූ ලක්ෂ 05 ක පමණ පිරිසෙන් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වූවන් ලෙස තාවකාලික නවාතැන් ස්ථාන වල වෙසෙන අතර මරණ ගණන 143ක් (උපුටා ගැනීම හිරු දහවල් ප්‍රවෘත්ති) හා අතුරුදන් වූවන් ගණනත් සීයේ ඉලක්කම් වලින් කියැවෙනවා. ඒ අනුවයි මේ තත්ත්වය බිහිසුණු ව්‍යසනයක් යැයි ප්‍රකාශ කිරීම යුක්ති සහගත වන්නේ.
මෙවැනි ව්‍යසනයක් පශ්චාත් කළමනාකරණයේදී අනුගමනය කළ යුත්තේ ඒකාබද්ධ ප්‍රවේශයක්. එහිලා ජනමාධ්‍ය විෂයෙහි පැවරෙන වගකීම හා කාර්යභාරයද අතිමහත්. එම කාර්යභාරය කුමක්ද යන්න මේ මොහොත වනවිට මෙරට ජනමාධ්‍ය සමාජයෙහි විවාදයට තුඩු දී ඇත්තක්.
එනම්,
1. ජනමාධයෙහි කාර්යය විය යුත්තේ යථා නිරවද්‍ය වාර්තාකරණයෙහි නිරත වීමද ?
2. ආපදාවන්ට ගොදුරුවූවන්ට සහන සැළසීමද ? යන්නයි.
වෘත්තීය හා පුහුණු ව්‍යසන වාර්තාකරණය/ආපදා සන්නිවේදනය ගැන ප්‍රමාණික දැනුමක්ද ඇති මාධ්‍යවේදියෙකු ලෙස මගේ මතය සිදුවිය යුත්තේ පළමුවැන්න බවයි. එහෙත් අපේ කොදෙව් හා පසුගාමී දකුණු ආසියාතික විඥාණය අපට යෝජනා කරන්නේ දෙවැන්න ජනමාධ්‍යයෙහි කාර්යභාරය වන බවයි.
එක් පසෙකින් අත්දැකීම් හීනකම, ඌණ මාධ්‍ය සාක්ෂරතාව එවැනි තත්ත්වයන් වර්ධනය කරන අතර අනෙක් අති මූලික ගැටලුව මාධ්‍ය කර්මාන්තය හිමි ව්‍යාපාරිකයින් මෙවැනි ව්‍යසනද තම ආයතන කැම්පේන නැතිනම් ප්‍රවර්ධන කාර්යයන් ලෙස යොදා ගැනීමට සිය සේවකයින් මෙහෙයවීමයි.
මේ වනවිට සිදුවීම වරින්වර වාර්තා කරන නමුත් සහන හා කළමනාකරණ කාර්යයන්හි ප්‍රමුඛ ආයතනය රජය බව අමතක කරමින් හා රාජ්‍ය අංශයේ ප්‍රවේශය වාර්තා කිරීම හිතාමතා මග හරිමින් ඔවුන් නිරතව ඇත්තේ සහන යාත්‍රා දියත් කිරීමේ කාර්යයේයි.
අද දහවල් හිරු පුවත් ව්‍යසනයේ වත්මන් තත්ත්වය වාර්තා කරමින් ඒ ඒ දිස්ත්‍රික්ක වල තත්ත්වයද ප්‍රකාශ කළේය. එසේම යුධ, ගුවන්,නාවික හමුදා ඉටුකරන මෙහෙවරද වාර්තා කළේය. එහෙත් රජය හමුදාවන් සමග එක්ව සහන බෙදාහැරීමට ඉටුකරන වැඩපිළිවෙල හෝ ඒ සම්බන්ධ මධ්‍යස්ථාන වෙත ද්‍රව්‍ය භාරදිය හැකි අන්දම වාර්තා කිරීම සිදුනොවීය. හේතුව ඔවුන් සිය ආයතනික ප්‍රවර්ධන කාර්යයක් ලෙස එවැන්නක් සිදුකරමින් සිටීමයි. එය සම වන්නේ හිරු ධාතු ප්‍රදර්ශන කැම්පේනයටමය.
සිරස හා සම්බන්ධ තත්ත්වය ඉතා බරපතල වන්නේ සිරස සමස්ත ගුවන්කාලයම තම සහන බෙදාහැරීම ගැන කියමින් එය අගයන ප්‍රතිලාභීන්ගේ ඇගයීම් වලට වෙන්කර ඇති නිසාය. ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාවයෙහි ඌණ බව නිසාම මේ ප්‍රවර්ධන කැම්පේනයක් බව එසැණ වටහා ගත නොහැක.
මේ තත්ත්වය මෙසේ සිදුවන්නේ රත්මලාන ගුවන් අංගනය ඒකාබද්ධ සහන සේවා මධ්‍යස්ථානයක් ලෙස නම්කොට බෙදාහැරීම් සිදුකෙරෙමින් පවතින පසුබිමකය.
යුධ හමුදාව දිනපතා ලක්ෂ ගණනකට ආහාර පිසින අතර එකතු කරන ද්‍රව්‍ය ගුවන් හා නාවික හමුදාව බෙදා හරියි. එහෙත් එකම මාධ්‍යයක් හෝ රත්මලානට හෝ ආසන්න හමුදා ඒකක වෙත ද්‍රව්‍ය භාර දෙන්නැයි නොපවසන්නේ තමන්ගේ කැම්පේනය ප්‍රමුඛ වන නිසාය.
මෙහි ඇති ජුගුප්සාජනක කාර්යය නම් අනෙකුත් අවස්ථා වල කන්නට අවශ්‍ය නම් කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය අනුව හමුදාව රණවිරුවන් ලෙස උත්කර්ෂයට නංවන්නේද මොවුන්ම වීමයි. ඒ අතර ස්වර්ණවාහිනියේ රහල් අල්විස් සම්බන්ධ සිදුවීම ඇතැම් ග්‍රාහකයින් මාධ්‍යයෙහි පෙනී සිටින්නන්ට වඩා මාධ්‍ය සාක්ෂරතාවෙන් පොහොසත් බව පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයක් තුළ රත්මලාන මධ්‍යස්ථානය මුහුණ දෙන බරපතලම අර්බුදය තමන් වෙත සහන රැගෙනවිත් භාර දෙන්නැයි ජනතාව දැනුවත් කිරීමය. එසේ වන්නේ තනි තනි මාධ්‍ය ආයතන වලට වඩා පුලුල් බෙදා හැරීමේ හා සම්බන්ධීකරණ හැකියාවක් තිබියදීය.
මේ පසුබිම තුළයි මාධ්‍ය මේ වනවිට සිදුකරමින් ඉන්නේ කළ යුත්ත නොවේ යැයි පැවසීම අයුක්ති සහගත නොවන්නේ.
මෙහිලා ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විද්‍යුත් මාධ්‍ය වලට වඩා ප්‍රගතිශීලී බව පෙනී යයි.
ඒ අතර මේ සම්බන්ධව කිවයුතු තවත් දේ ඇතත් ඔස්ට්‍රේලියානු විද්වතෙකු වන ඒ. තොම්ප්සන් ව්‍යසන/ආපදා වාර්තාකරණයේදී මාධ්‍ය විශේෂයෙන් රූපවාහිනිය අනුගමනය කළ යුතු යැයි පෙන්වා දුන් කරුණු කිහිපයක් සටහන් කරන්නම්.
1. ප්‍රකෘති තත්ත්වයට පත්වීම පිණිස වන බහුවිධ කාරණා ගැන ජනතාවට දැනුම් දීම.
2. ඒ අවස්ථාවේ පවතින තත්ත්වය ගැන ජනතාවට දැනුම් දීම.
3. සිදුවුණේ කුමක්ද යන්න ගැන ජනතාවට දැනුම් දීම.
4. හේතු නිර්ණය හෝ ප්‍රථිඵල විග්‍රහය ජනතාවට ඉදිරිපත් කිරීම.
5. අවස්ථාවට උචිත ක්‍රියාමාර්ග ගැනීමට ජනතාවට උපදෙස් දීම.
6. බලධාරින් හා සහන කණ්ඩායම් ගන්නා පියවර වලදී අවශ්‍ය උපදෙස් ජනතාවට ලබාදීම.
7. හුදෙකලා කණ්ඩායම් වල සුබ සාධනයට අවශ්‍ය පණිවුඩ ජනතාව අතර පතුරුවා හැරීම. (අද සමාජ මාධ්‍ය කරන්නාක් මෙන්.)
8. එළඹෙන තත්ත්වයන්ට මුහුණ දීමට ධෛර්යවත් කිරීම.
දැන් මෙරට රූපවාහිනී නාලිකාවල කාර්යභාරය ගැන සෑහීමට පත්විය හැකිදැයි ඔබම විමසන්න.