Thursday, April 18, 2024

බැදුම්කර මුදල් ආයෝජන ලංකා ව්‍යාපාරික කේෂ්ත්‍රය ආක්‍රමණය කරයි – කීර්ති තෙන්නකෝන්

ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව ලෙස සැලකෙන බැදුම්කර ගනුදෙණුව මගින් උපයාගත් මුදල් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය මගින් ලංකාවේ ප්‍රමුඛ ආයතන ගණනාවක නැවත නැවත ආයෝජනය කරමින් ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ අද (16) පැවත්වූ පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය. එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ  අවස්ථා දෙකක දී සිදු වූ බැදුම්කර වංචාව පිළිබද මේ වන විට ඇදහිය නොහැකි කරුණු පවා හෙළිදරව් වී ඇති බවයි.   මෙම දුෂිත ගණුදෙනුව සිදු කළ ආකාරය, එයට සම්බන්ධ මහ බැංකුවේ පුද්ගලයින්, සේවක අර්ථසාධක අරමුදල, මහ බැංකුවේම මුදල් යොදා සිදු කළ ආයෝජන, විවිධ පුද්ගලයින් හා ආයතන විසින් මෙම වංචාවට ආදාල නියෝග ලබාදුන් ආකාරය වැනි කරනු ඒ අතර වන බව ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා තව දුරටත් මෙසේ සඳහන් කළේය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වංචාව පිළිබද සිදුකළ සියළු විමර්ශන මේ වන විට අතරමග නැවතී ඇත. බැදුම්කර වංචාව පිළිබද කෝප් කමිටුවේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබූ බව පැවසෙන නමුත් මේ වංචාවට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරනු නොලැබේ.

මහ බැංකුව විසින් තැරැව්කාර සමාගම වන පර්පචුවල ට්‍රෙෂරීස් ආයතනයේ ගිණුම් අවහිර කිරීම මේ දක්වාම සිදු කොට නැත. සේවක අර්ථසාධක අරමුදලට මෙම ගණුදෙනුව මගින් රුපියල් බිලියන 13.5 ක් අහිමි වී ඇති බවට වාර්තා පළ වන නමුත් එම පාඩුව සිදු කළ කිසිදු පුද්ගලයෙකුට එරෙහිව මේ දක්වා අවම වශයෙන් විනය පරීක්ෂණයක් හෝ ආරම්භ වී නැත.

හිතා මතා දිග්ගස්සන අවසානයක් නොමැති ඉන්දියානු ලාභ මාලා නාටකයක් සේ බැදුම්ක කොමිෂන් සභාවේ කටයුතු පිළිබද වාර්තා කියවමින් සිටින රටක් බවට ලංකාව පත්ව තිබේ.  දුෂණ විරෝධී සංවිධාන සංවිධාන විසින් එල්ලවන විරෝධය නොවන්නට මේ විටත් බැදුම්කර වංචාව මුළුමනින්ම යටපත් කරන්නට යහපාලන රජයට හැකියාව ලැබෙනු ඇත.

දුෂණ විරෝධී පෙරමුණ දිගින් දිගටම ඉල්ලා සිටියේ, බැදුම්කර වංචාවට සම්බන්ධ සියළු මුල්‍ය හා තැරැව්කාර සමාගම් හි බැංකු ගිණුම් ඇත්හිටුවිය යුතු බවයි.  එමෙන්ම  මෙම සමාගම විසින් මුල්‍ය, බැංකු,ස්කාගාර, එතනෝල්, කල්බදු සමාගම්, විදුලිබල, හෝටල්,  ජනමාධ්‍ය, සංචාරක සහ තට්ටු නිවාස යන කේෂ්ත්‍රයන්හි බැදුම්කර මුදල් ආයෝජනය කෙරෙමින් පවතින බවත් ඒවා වහා  නවතා දැමීමට කටයුතු කළ යුතු බවත් තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙන්ඩිස් ස්කාගාර සමාගම, සෙන්ට්‍රල් ෆිනෑන්ස්,  එන්ඩීබී බැංකුව, කල්කුඩා ස්කාගාරය, මුද්‍රිත පුවත්පත්,වක්‍ර ආයෝජන ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන ගණනාවකට මෙම ආයෝජන ලැබී ඇත.  රටේ මුල්‍ය කේෂ්ත්‍රයේ සෑම අංශයකටම බැදුම්කර මුදල් ආයෝජනය වෙමින් ඇති බව පැහදිලිය.  ශ්‍රී ලංකන් සමාගම මිලදී ගැනීමට උත්සහ දරන එක් සමාගමක් ද බැදුම්කර සමාගම සමග හවුල් ව්‍යාපාර කටයුතු සිදු කරයි.

විදුලි බල, හෝටල්, සංචාරක සහ තට්ටු නිවාස කේෂ්ත්‍ර සදහා ද බැදුම්කර මුදල් මේ වන විට කාන්දු වෙමින් තිබේ.
බැදුම්කර වංචාව ත්‍රාසජනක චිත්‍රපටයක් නොව වංචනිකව උපයාගත් මුදල් නැවත මේ රටේ ජනතාව අතට පත්වන ක්‍රමයක් බවට පත් විය යුතුව ඇත. එය සිදු වන තෙක් මේ රටේ ආර්ථික පරිහානිය වලවක්වා ගැනීමට ක්‍රමයක් නොමැත. බැදුම්කර වංචාව හේතුවෙන් ලංකා ඉතිහාසයේ විශාලතම මුදල් අච්චු ගැසීමේ මාවතට පිවිසීමට ශ්‍රි ලංකා මහ බැංකුවට සිදුව ඇත.

මුල්‍ය පනතේ 45.1 වගන්තිය උල්ලංඝනය කරමින් බැදුම්කර වංචාවේ මහ මොළ විසින් අතිශයින් සංවේදී ලේඛණ සාකච්ඡා සාක්ෂි ලෙස බැදුම්කර කොමිසම හමුවේ ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. මේ වන විට නැවත නැවතත් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ කටයුතු සම්බන්ධීකරණය කළ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ක්‍රියාකාරමින් සිටින්නේ මේ මහා මුල්‍ය වංචාවේ අපරාධකරුවන් බේරාගැනීම සදහාය.  එවැනි පුද්ගලයෙකු තවදුරටත් මහ බැංකුවේ අවම වශයෙන් විනය පරීක්ෂණයක් හෝ නොමැතිව තවදුරටත් සේවය කිරීමට ඉඩ සැලසී ඇත්තේ ඔහු පිටුපස ඇති දේශපාලන බලය හේතුවෙනි.

අද (16) දිනයේ ද, බැදුම්කර කොමිසම හමුවේ ව්‍යාජ ලේඛනයක් ලෙස දින රහිත, අදාළ අයගේ දැනගැනීම සදහා යැයි දැක්වෙන ලිපියක් මුදල් අමාත්‍යාංශ ලිපි ශිර්ෂය යටතේ ඉදිරිපත් කරනු ලැබ ඇත. රුපියල් බිලියන 76 ක බැදුම්කර මිලදී ගැනීමට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් එම ලිපියේ කරුණු සදහන්වේ.  කෝප් කමිටුවට, පාර්ලිමේන්තුවට සහ වෙනත් විමර්ශන සදහා ඉදිරිපත් නොවූ ව්‍යාජ යැයි බැලූ බැල්මට පෙනෙන ලේඛන තුලින් බැදුම්කර වංචාව වසා ගැනීමට රජය දරණ උත්සාහය ලැජ්ජා සහගතය.

Archive

Latest news

Related news