Sunday, April 28, 2024

ජනපතිට ලියූ ලියුම: සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සිංහල බස හරියට ලියා ගන්න බැරිද?

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කතා කරන සිංහල බස සහ ව්‍යකරණ අනුව ලියූ සිංහල බස මිශ්‍රකරමින් ජනාධිපති සිරිසේන ලිපියක් යවා තිබේ. එහි සභාපතිවරයා වන මහාචාර්ය සරත් විජේසූර්ය මහතා සිංහල බස පිළිබඳ විශේෂයකු වන නමුත් එහි ප්‍රධාන ලේකම්වරයා වන සිසිර ජයමහ විසින් යවන ලද ලිපිය දොස් වලින් පිරී තිබේ. සිය රටෙහි ජනාධිපතිවරයාට යවන ලියුම නිවැරදි බස්වහර අනුව ලියා ගැනීමට බැරි තරමට මෙම එකතුව පිරිහී තිබේද? මෙම ලිපිය යැවීමට පෙර කවර සංවිධාන සමඟ සාකච්ජා කළේද? නැතහොත් එයද ත්‍රී රෝද පක්ෂ නීතියට අනුව පවත්වාගෙන යන සංවිධානයක්ද?

මෙම ලිපියෙන් ඉල්ලා සිට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දනෙ ලද පොරොන්දුව ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද කුඩා කල්ලියක සංවිධානයක් බවට පත්ව තිබෙන අතර මාදුළුවාවේ හිමි විසින් ගොඩ නඟන ලද පුළුල් බලවේග ඉන් ඉවත් කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් එය අද බෝඩ් ලෑල්ලක් පමණි.

එම ලිපිය පහත පළවේ.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති නිල නිවස,
මහගමසේකර මාවත ,
කොළඹ 07.

13.04.2017
ගරු ජනාධිපති තුමනි,

ඔබතුමා අස්ගිරි මල්වතු අනු නාහිමි වරුන්ගේ විධායක ජනාධිපති ධුරය තබාගැනීමට කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම අපි ඉතාම ඉහලින් අගය කරමු. ඔබතුමා ආපු දවසේ සිට මේක කරන්න විශාල උනන්දුවක් වගේම උවමනාවක් තිබුනත් නොයෙකුත් හේතු නිසා මේක කල් ගිහින් නොකෙරෙන තැනකට පත්වෙලා තිබෙන වෙලාවක මෙවැනි ප්‍රකාශයක් අපේ හදවත් වලට මහත් අස්වැසිල්ලකි. අපි ඔබතුමා ඔය පුටුවේ වාඩි කෙරුවේ විධායක ජනපති ධුර නාශක ජනාධිපති ලෙස මිසක විධායක ජනාධිපති ලෙස නොවේ. මෙය ඔබතුමාට මතක් වීම පවා අපට ඉමහත් සතුටකි.

අපි එහෙම නම් දැන් බැලිය යුතුයි මේ වැඩේ තවත් කයිවාරු කතන්දර වලට විතරක් සීමා නොකර වැඩේ කෙරෙන විදියක් ගැන. අපි තවමත් විශ්වාස කරනව අගමැති තුමාත් මෙම ස්ථාවරයේ ඉන්නවා කියල. අපි දන්නා විදියට මේ වැඩේට විරුද්ධ කිසිම කෙනෙක් හිටියේ නැහැ 2015 ජනවාරි 08 වෙනකොට. හිටපු ජනාධිපතිතුමා වගේම හිටපු කතානායක තුමත් උන්නේ මේ ක්‍රමය අහෝසි කළ යුතු කියන ස්ථාවරයේ. එතුමා නැවත බලයට ඇවිත් කරන්න හිතාගන ඉන්නේ නැතුව සෝභිත හාමුදුරුවෝ කියපු වෙලාවේ මේක 2014 දීම අහෝසි කෙරුව නම් උන්වහන්සේ 2017 වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ එක්කලයි. ඒ නිසා එකාබද්ධ විපක්ෂය ජනතාව ගොනාට අන්දන්න හැදුවට ජනතාව දන්නවා ඔවුන් එක්ක ඉන්න වැඩි පිරිසක් ඉන්නෙත් මේ විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතු කියන තැන මිස තවත් මේක ඔලුව උඩ තබාගන යා යුතුයි කියන තැන නොවේ. මෙතන තිබෙන්නේ බල අරගලයක් නිසා කරනු ලබන ජනතාවගේ ඇසට වැලි ගසන උප්පරවැට්ටි මිස ඔවුන්ගේ සැබෑ මතය නොවේ. එහෙම නම් මේකට විරුද්ධ කවුද? මම දන්නා විදියට ගැටලුව තිබෙන්නේ මේක අහෝසි කරලා ගෙනෙන්නේ මොකක්ද කියන එක පමණි.

ඔබතුමා හොඳටම දන්නවා මුලින්ම මේ රටේ මේ ජාතිවාදී අරගල එන්නටත් පෙර සිට අනාගතය දැකපු, චන්දෙ ගන්න සිංහල බෞද්ධ සහාය අරන් සඟ, වෙද ගුරු ගොවි කම්කරුවන් එක්ක ආණ්ඩුවක් හැදුවත් එදා බණ්ඩාරනායක මහතා දැනගන සිටිය මේ ජාතිවාදී මතවාදය පරාජය නොකර මේ රට කිසිම දිනක දියුණු කරන්න බැරි බව. එදා මේ තරම් දරුණු විදියට ජාතීන් අතර සුහදතාවය පලුදු වී නොතිබුනත් දුර දිග දැකපු නායකයෙක් විදියට එතුමා චෙල්වනායගම් මහතා එක්ක ගිවිසුමක් ගහල මේක මීට වසර 60 කට කලින් නිම කරන්න උත්සාහ කළා. එදත් එතුමා බලයට පත්කළ ජාතිවාදී බලවේග සමග එකතු උන එදා සිටි විපක්ෂය අකුල් හෙලීම නිසා එදා එම කටයුත්ත අතරමග නවත්වන්න උනා. එතුමා ජීවත්වෙලා උන්න නම් සමහරවිට එතුමා නැවත මේ උත්සාහය කරන්න තිබුන. ඒ නිසාම දෝ එම ජාතිවාදී බලවේග වල අවශ්‍යතා ඉටු නොකළ නිසා එතුමා ඝාතනය උනා. ඊට පස්සේ ඩඩ්ලි සේනානායක මහතා යලි එතුමාගේ කාලයේ මේ වගේම උත්සාහයක නිරත උනත් එතනදිත් ෆෙඩරල් කියන වචනය අර්ථ කථනය කරගන්න බැරිඋන පසුබිමක එතුමාගේ ප්‍රයත්නයත් අසාර්ථක උනා. මේ විදියට දිගටම ඇවිත් සිරිමාවෝ මැතිනියගේ කාලේ විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීම් පටිපාටියේ ඇති කරපු යම් වෙනස්කම් නිසා උතුරේ තරුණයන්ගේ නැගිටීමක් දක්වා ඒක දුර දිග ගියා. අවසානයේ 77 චන්දෙදි ජේ ආර් ජයවර්ධන මහතා උතුරේ ජනතාවට පොරොන්දු දීල හයෙන් පහක බලයක් අරගත්තත් එතුමාටත් මේ කිසිම දෙයක් කරගන්න බැරි උනේ එතුමා එක්කත් උන්න අන්ත ජාතිවාදී පිරිස් නිසාමයි. අවසානයේ 79 සහ 82 ජාතිවාදී කලබල වල අවසානය උනේ වසර 30 ක් දක්වා දුර දිග ගිය යුද්ධයකින්. එදා 1994 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවත එදා බණඩාරනායක මහතාගෙන් සහ ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු රටටම අමතකව තිබුන ජාතිවාදී අරගලය නිම කිරීම සඳහා 2000 දී චන්ද්‍රිකා මැතිනිය පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් ගෙනාපු වෙලේ ඒකට විරුද්ධ වෙලා එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ කරපු ලොකුම වරද සිදු කරගත්ත. එහි ප්‍රතිඵලය ලෙස ඔවුන්ට වසර විස්සක් විපක්ෂයේ හිඳිමින් දශක දෙකකින් ඊට වන්දි ගෙවන්න සිදු උනා.

අවසානයේ මෙම ඒකාධිපති පාලනය නිමකිරීමට කිසිම විපක්ෂයකට කළ හැකි කිසිවක්ම නැතිව අන්ත අසරණ වෙලා ඉන්නකොට හිරේ දමල උන්න සරත් ෆොන්සේකා මහතා පමණයි හිර ගෙදර සිට උසාවියට ගෙන එනවිට ලැබෙන පුංචි ඉඩ හරි පාවිච්චි කරල මේ විධායකයට අභියෝග කළේ. එතුමා නිදහස් කරගන්න උද්ඝෝෂණ කරපු, එතුමා වෙනුවෙන් හිරේ ඉන්න උනත් කැමති උන අපේ සෝභිත හාමුදුරුවෝ තමයි එතුමාට ශක්තියක් වෙමින් රටේම විපක්ෂ එකතු කරගෙන, සියලු ජාතීන් එකතුකරගන මේ විධායක හස්තයට ලොකුම අභියෝගය එල්ල කළේ. එහෙම කරලා පොදු අපේක්ෂකයෙක් ගෙන ඒ මේ පුරෝගාමී මෙහෙවරට නායකත්වය දුන් උන්වහන්සේගේ ප්‍රථම සහ ලොකුම ඉල්ලීම උනේ මේ විධායක ක්‍රමය අහෝසි කිරීම සහ මනාප ක්‍රමයද අහෝසි කිරීමෙන් අනතුරුව ගෙන එන අලුත් ව්‍යවස්ථාවකි. එබැවින් ජනාධිපති තුමන්ට පැවරී ඇති වගකීම සුළුපටු නොවේ. මෙය ඔබතුමාටද දෛවයේ සරදමක් ලෙස බණ්ඩාරනායක මහතාට එදා බැරි උන දෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් විදියට නායකත්වය දී එම ජයග්‍රහණය රටට ලබාදීමට ලැබුණ ස්වර්ණමය අවස්ථාවකි. අද ඒකාබද්ධ විපක්ෂය සහ ඔබතුමා සමග ඉන්න සමහර ශ්‍රී ලංකා නායකයන් කීප දෙනෙක් පමණක් මීට එරෙහිව කරනු ලබන ප්‍රකාශ වලට යට නොවී ඔබතුමා බලයට පත්කළ ලක්ෂ හැට දෙකක ජනතාවගේ එකම බලාපොරොත්තුව ඉටු කිරීම ඔබතුමාගේ පරම යුතුකමකි. අනෙක් අතට මේ ප්‍රශ්නය සඳහා ජාතික විසඳුමක් දීමට එදා බණ්ඩාරනායක මහතා මෙන්ම පසුව චන්ද්‍රිකා මැතිනියත් අද මෛත්‍රීපාල සිරිසේන මහතාත් නායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් වීම තම පක්ෂයේ නම ඉතිහාසයේ රන් අකුරින් ලිය වීමට ලැබුන ස්වර්ණමය අවස්ථාවකි. එදා බණඩාරනායක මහතාට මෙන්ම පසුව චන්ද්‍රිකා මැතිනියටත් විරුද්ධ වුන එක්සත් ජාතික පක්ෂයටද අවසානයේ මීට පක්ෂ වීමට සිදුවීමද ඓතිහාසික දෛවෝපගත සිදුවීමකි . එබැවින් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මීට එරෙහිවීම නිසාවෙන් මේ ස්වර්ණමය අවස්ථාවද අපෙන් ගිලිහී ගියහොත් එදාට අර 2000 වසරේ චන්ද්‍රිකා මැතිනියට විරුද්ධ වී වසර විස්සක් විපක්ෂයේ සිටීමට සිදුවූ පරිදිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එම ඉරණමම අත්වීමට ඉඩ ඇති බව පසක් කරගෙන 2015 ජනවාරි 08 වෙනිදා මේ මතය නියෝජනය නොකළ පිරිස, තවදුරටත් ජනාධිපතිතුමා සමග සිටිමින් මීට විරුද්ධ අදහස් පල කිරීම නවතා එතුමාට මෙහි නායකත්වය ගෙන එම කටයුත්ත හැකි තරම් ඉක්මනට සිදු කිරීමට අවශ්‍ය පසුබිම සලසා දෙන ලෙස මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඔබලාගෙන් ඉල්ලා සිටිමු.

අනෙක් අතට මේ පවතින ක්‍රමය තුල ජාතිවාදී අදහස් පතුරවන පිරිස යම් තරමකට හෝ පාලනය කරගැනීමට නායකත්වය සැපයීමට මේ මොහොතේ අපට ඉන්න විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා, මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා වගේම අති පුජ්‍ය මල්වතු මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලහිමියන් වැනි පුද්ගලයන් ඉන්න මෙවන් මොහොතක අපි මේ වෙනස කරගැනීමට කටයතු නොකළහොත් අපට මේ ස්වර්ණමය අවස්ථාව යලිත් වරක් ගිලිහී යනවා පමණක් නොව නැවතත් මේ රට බියකරු යුද්ධයකට තල්ලු වීමට පාර කැපීමක්ද වනු ඇත. ආසියාවේ අසරණම ජාතිය ලෙස ඉතිහාස ගතවීමට දායකවීමට ඔබත් කැමතිනම් මේ මහා පාප කර්මයට දායක වෙන ලෙස එම පුද්ගලයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඒ වගේම අපි කිසිවිටෙක අමතක නොකළ යුතුයි අපි එදා ඒ ජනවාරි 08 ජයග්‍රහණය ලැබුවේ උතුරේ සහ දකුණේ සියලු දෙමල සහ මුස්ලිම් ජනයාගේද නොමද සහායයෙන් බව. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රශ්නයට ස්ථිර ප්‍රයෝගික විසඳුමක් හැකි ඉක්මනින්ම ලබා නොදුන්නොත් ඔවුන් කිසිවෙක් යලි කිසිම දිනක අප විස්වාස නොකරනු ඇත. සිංහළ , දෙමළ , මුස්ලිම් ආදී වශයෙන් නොබෙදී එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අපට එකම රටක් තුල සහයෝගයෙන් සංහිඳියාවෙන් ජීවත් වීමට ලැබෙන අවසන් අවස්ථාවද මේ විය හැක.

අවසන් වශයෙන් කීමට ඇත්තේ එදා ජනාධිපතිවරණ සමයේ ඉතාම නිර්භීත ලෙස දැඩි විශ්වාසයෙන් යුතුව කිසිවකුට එය ජයග්‍රහණය කිරීමට නොහැකි තරම් බලවත්ව සිටි රාජපක්ෂ වරුන්ට අභියෝග කළ ඔබතුමා ප්‍රකාශ කළේ “මේ ජනවාරි 08 මගේ පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ උපන්දිනයේ මම අනිවාර්යයෙන් ලංකාවේ හයවෙනි විධායක ජනපති වෙමි” කියලයි. ඒ වගේම ඔබතුමා ප්‍රකාශ කළේ ” මම බලයට පත්වී දින 100 ක් යන්නට පෙර ජනාධිපති මන්දිරයට අඩියක්වත් නොතබා මේ විධායක ක්‍රමය අහෝසි කරමි” කියලයි. අපි අද කැමතියි ඔබතුමා “ඔය එක එක්කෙනා මොන මොන බම්බු ගැහුවත්, විකාර දෙඩෙව්වත් මම සෝභිත හාමුදුරුවන්ට උන පොරොන්දුව පරිදි, එදා මේ රටේ මිනිස්සු මාව මේ තනතුරට පත් කරලා මගෙන් බලාපොරොත්තු උන පරිදි ජනවාරි 08 ජනමතයට ගරු කොට විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කර, මනාප ක්‍රමය ද අහෝසි කර මේ රට විනාශ කරන සියලුම ආකාරයේ ජාතිවාදීන් සහ අන්තවාදීන් පරාජයකොට නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කොට ලංකාවට තිරසාර සංවර්ධනයේ දොරටු විවර කොට මිස මම ගෙදර නොයමි” යි කියල ප්‍රකාශ කරනවා දකින්න. අද අපට අවශ්‍ය අන්න ඒ වගේ ජනවාරි 08 වෙනිදට පෙර හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතා මිස විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු නොවේ. අප ගරු කරන්නේ සහ විශ්වාස කරන්නේ ඒ ජනවාරි 08 දිනට පෙර උන්න යෝධ බලයක් සහ ශක්තියක් තිබුන ආත්ම විශ්වාසයක් තිබුන මෛත්‍රීපාල සිරිසේන මහතා මිස විධායක බලයක් තිබිලත් ඒක පාවිච්චිකරලා මේ වැඩේ කරගන්න බැරි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු නොවේ.

උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබතුමාට සහ රජයට දැඩි අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කොට විධායක ක්‍රමය සහ මනාප ක්‍රමය අහෝසි උන රටක ජීවත් වීමට ශ්‍රී ලංකික අප සියලුදෙනාට මේ වසර තුල භාග්‍යය ලැබේවා! කියා පතමින් ඔබතුමා සහ පවුලේ සැමටත් අපගේ උණුසුම් අලුත් අවුරදු ශුභ පැතුම් මෙසේ පිළිගන්වමු!

සිසිර ජයමහ
ප්‍රධාන ලේකම්
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news