Thursday, April 25, 2024

මරණය පෙනි පෙනී අප පාරට බැස්සේ බලය බෙදා හැරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන්! – බ්‍රිටෝ ප්‍රනාන්දු

ජායාරූපය: බ්‍රි‍ටෝ ප්‍රනාන්දු දශක ගණනාවක් පුරා සමාජ සාධාරණත්ව අරගලයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. ©s.deshapriya.

බ්‍රි‍ටෝ ප්‍රනාන්දු. සභාපති අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව.

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? නැද්ද? යන්න මේ මොහොතේ රට තුළ ඇතිවී තිබෙන ප්‍රධානතම කථිකාවතය. සිංහල ජාතිවාදයට උඩගෙඩි සපයන පාර්ශවය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටී. එහි කිසිදු පදනමක් නැත. ඊට එක් හේතුවක් වන්නේ තවමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා නොමැති බැවිනි. ඔවුන්ගේ විරෝධතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොව යහපාලන රජයටය. ඔවුන් ව්‍යවස්ථා කමිටු සඳහාද සහභාගී වූහ. එහිදී ව්‍යවස්ථාව සම්බන්ධ කාරණා සඳහා විරුද්ධත්වයක් දැක්වූ බවක් සඳහන්ව නැත. නමුත් ඔවුන් ජනතාව ඉදිරියේ පවසනුයේ වෙනස්ම කතාවකි.

අපගේ අදහස වන්නේ රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය. රට තුළ පැන නැගී ඇති ප්‍රධාන ගැටලු විසඳීමට නව ව්‍යවස්ථාව අවශ්‍යය. රට තුළ පැන නැගුණු ගැටලු සඳහා වර්තමානයේ ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය සහිත ඒකාධිපති ව්‍යවස්ථාව හේතුවූ බව පැහැදිලිය. ඒකාධිපතියකු ගොඩනඟන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය. ඒ සඳහා රටේ ජනතාව අවස්ථා කිහිපයකදීම අනුමැතිය ලබාදී තිබේ. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටත්, ඉන්පසුව අවස්ථා දෙකකදී මහින්ද රාජපක්ෂ මහතාටත් මෙවර යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එකී වරම ජනතාව ලබාදී ඇත.

ජනවාරි 08 වෙනස වෙනුවෙන් එදා පෙනී සිටි සියලු බලවේග ඉල්ලා සිටියේ රටේ සියලු ජනයාට නිදහසය. එකී නිදහස ලබාගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව පුරවැසි සංවිධාන, වෘත්තීයවේදීන් සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති එදා කියූහ. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් ‍පොරොන්දු ලබා දුන්හ.

අද ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිවක් ප්‍රකාශ නොකළද ඔහු ඊට විරුද්ධ බවක් තවමත් ප්‍රකාශ කර නැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය යන මතයේ සිටී.

මේ කාරණයේදී ආණ්ඩුව ගමන් කරනුයේ ඉතා සෙමිනි. මේ නිසා පුරවැසි සංවිධාන එකතුව රජයට ව්‍යවස්ථා වෙනසක් සඳහා බලපෑම් කළ යුතුය.

එදා සෝභිත හිමියන් කීවේ තමන් ඡන්දයට ඉදිරිපත් වී හෝ රටට හෙණයක් වී ඇති විධායක ජනපති ක්‍රමය අවසන් කරන බවය. ඉකුත් මැතිවරණවලදී යහපාලන ආණ්ඩුව කීවේ රට තුළ බලය බෙදාහැරෙන ක්‍රමවේදයකට යන බවත්, ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත්ය. ඒ පිළිබඳව අපි විශ්වාසය තැබුවෙමු. ජනවාරි 08 වෙනසින් පසු ආණ්ඩුවට එක්වූ සමහර පිරිස් බලය බෙදාහැරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව විවිධ මතවාද පතුරවමින් සිටිති. ඒ තත්ත්වය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ ක්‍රියාවලියට සුබදායි නොවන්නකි. ඔවුන් කල්පනා කළ යුත්තේ මහින්ද රාජපක්ෂ පරාජය කොට මෛත්‍රීපාල ජනාධිපතිවරයා පත්කළේත්, නව ආණ්ඩුවක් සකසා ගත්තේත් කුමක් සඳහාද යන්නය.

එදා මරණය පෙනි පෙනී පාරට බැස අප අරගල කළේ රටේ සමසේ බලය බෙදාහැරෙන ක්‍ර‍මවේදයක් වෙනුවෙනි. ඒ රට තුළ ජාතික සමඟිය ගොඩනගා ගැනීම සඳහාය.

සමසේ බලය බෙදන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් උතුරට පමණක් බලය බෙදාහැරෙන්නේ නැත. එකී බලය දකුණේ පළාත් සභාවලටද ලැබේ. එවිට පළාත් සභා සතු සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම පළාත් සංවර්ධනය කරගන්නට ඔවුනට අයිතිය ලැබේ. එහි ඇති වරදක් අපට නොපෙනේ.

අප පරාජයට පත්කළ මහින්ද රාජපක්ෂ රෙජීමය නව ආණ්ඩුක්‍රම වෙනසකට විරුද්ධ වීම පුදුමයක් නොවේ. ඔවුනට අවශ්‍යව ඇත්තේද ඔවුනගේ පැවැත්ම ඇත්තේද සිංහල ජාතිවාදය මතය. ඒ හරහා ඔහු කළ සොරකම් ටික වසා ගැනීමට හැකිවෙතැයි සිතනවා විය හැකිය. ඔහුගේ ගමන ගැන අප කළබල නොවුනද ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය.

බොහෝ දෙනා එදා කීවේ මහින්ද රාජපක්ෂ පරාජය කළ නොහැකි බවකි. ඒත් ජනතාව මහින්ද බලයෙන් පහ කළේය.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදීද ජනමත විචාරණයකට යාම පිළිබඳව සැකසංකා මතුකරගමින් සිටී. ජනමත විචාරණයෙන් ආණ්ඩුව පරාජයට පත්විය හැකි බවටද තර්ක ගොඩනැ‍ඟෙමින් තිබේ. මේ සියල්ලට අප මුහුණ දිය යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් ජයග්‍රහණය කරවීමට අපට පුළුවන. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමේදී විධායක ජනාධිපති ක්‍රමය අවලංගු කරන්නේ නම් සමහර කාරණා සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විය. එනිසා අපට ජනමත විචාරණය මඟහැරිය නොහැකිය.

ජනතාව බලය බෙදනවාට හෝ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවාට විරුද්ධ වන්නේ නම් ඊටද අවස්ථාව දිය යුතුය. ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.

අලුත් ව්‍යවස්ථාවට ඇති ඊළඟ අභියෝගය වන්නේ බලය බෙදාහැරීමය. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිමු. බලය බෙදාහරිනවාට බිය වන්නේ බෙදුම්වාදය නැවත හිස එසවිය හැකි බවට ගෙන යන ප්‍රචාර නිසාය. උතුරේ බෙදුම්වාදය ගැන සිතන පිරිසක් මේ වනවිට එහි නැත. ඔවුන් ඉල්ලන්නේ බලය බෙදාහැරුණු සාමකාමී රටකි. එකට ජීවත්විය හැකි පරිසරයකි. තම ප්‍රදේශයට මෙතෙක් නොලැබුණු සංවර්ධනය ඇති කර ගැනීම ඔවුන්ගේ අරමුණය.

අවුරුදු 30 ක දිග් ගැසුණු යුද්ධයට හේතුව උතුරේ ජනතාවට සමානව නොසැලකීමය. උතුරේ ජනතාව සිතනුයේ ඒ සඳහා තිබූ ප්‍රධානතම බාධාව විධායක ජනාධිපති ක්‍රමය සහ සමානව බලතල බෙදීනොයෑම බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් සංශෝධනවලින් පමණක් බලාපොරොත්තු විය නොහැකිය. ආණ්ඩුව බලය බෙදාහැරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කර තිබියදීත් ඒ වෙනුවෙන් ආණ්ඩුව තදින් පෙනී නොසිටීම ගැන දකුණේ දෙමළ ජනතාවට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

රට පසුගිය කාලයේ බෙදී තිබුණි. එය මේ වනවිට යුද්ධයෙන් පරාජයකොට ඇත. එහෙත් තරුණයින් ආයුධ ගෙන එකිනෙකා මරා ගැනීමට හේතුවූ කරුණුවලට තවමත් විසඳුම් ලැබී නැත.

දෙමළ ජනතාවට මේ රටේ පිළිගැනීමක් නොමැති බවත්, ඔවුනට දේශපාලනය කිරීමේ හැකියාවක් රට තුළ නොමැති බවත් ආයුධ ගත් දෙමළ තරුණ පිරිස් සිතූහ.

එදා ගැටුම්වලට හේතු වූ කරුණු නොවෙනස්ව තවමත් පවතී නම් සංහිඳියාවක් ගැන අපට කතා කළ නොහැකිය. අනාගතයේදී මානව හිමිකම් උල්ලංඝනය නොවනු ඇතැයි සිතිය නොහැකිය.

සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර දෙන උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය. එකී නීතිය තුළින් දෙමළ ජනතාව පසුගිය කාලයේ පීඩාවන්ට පත්වූ බව සිතති. එනිසා රටට සංහිඳියාව ඇති කර ගන්නට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වේ.

බලය බෙදනවාට සහ අලුත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ බිලියන ගණනින් සොරකම් කළ පිරිසය. උතුරේ ජනතාව මෙන්ම දෙමළ ජාතික සංවිධානය කියන්නේද අපි ඊළම ඉල්ලන්නේ නැත කියාය. ඔවුන් ඉල්ලන්නේ බලය බෙදා තම ප්‍රදේශය සංවර්ධනය කරගත හැකි පාලන ක්‍රමයක් රට තුළ ස්ථාපනය කරන ලෙසය.

ජනමත විචාරණයකට යාමට පෙර ආණ්ඩුව කළ යුතු බොහෝ දේ තිබේ. ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු එකින් එක කඩවෙමින් තිබේ. ප්‍රධාන වශයෙන්ම පසුගිය රජයේ දූෂිතයන්ට දඬුවම් පැමිණවීමත් ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමත් කඩවුණු පොරොන්දුය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් දේශපාලන තීන්දුවකට පැමිණිය යුතුය. ලබාදුන් පොරොන්දු ඉටුකිරීම සඳහා තමන් කැපවන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුය. එවිට ජනතාව ආණ්ඩුවට සහය ලබාදෙනු ඇත.

අපි තවමත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ගරුකරන පිරිසකි. ඒ ඔහු එදා ගත් අභීත පියවර නිසාය.

මහින්ද රාජපක්ෂ රෙජිමය හැරදා පැමිණ ඔහුට අභියෝග කරන්නට මෛත්‍රීපාල මහතාට පිටකොන්දක් තිබුණේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ‍ඔහු පෙනී සිටියේය. මේ මොහොතේද ඒ අභීත පියවර ජනාධිපතිවරයාගෙන් අපි බලාපොරොත්තු වන්නෙමු.

Archive

Latest news

Related news