ජායාරූපය: දඹර අමිල හිමිල 2015 ජනවාරි 08 දින කොට්ටේ නාග විහාරයෙහි දී. ©s.deshapriya.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙය් කථිකාචාර්ය දඹර අමිල හිමි විසිනි.
ආණ්ඩුවේ ගමන්මඟ දෙස බලන විට අපි කිසිසේත් අසතුටුදායක තත්ත්වයක නෑ. අපට තව ළඟාකරගත යුතු දේවල් ගොඩක් තියෙනවා. කාටවත් කලකිරෙන්න දෙයක් නෑ. තිබුණු ආණ්ඩුවට වඩා සියයට දාහක් මේ ආණ්ඩුව රටට යහපත්. අපට අලුත් ව්‍යවස්ථාවකට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රටේ ආයතන ප්‍රජාතන්ත්‍රීකරණය වෙලා තියෙනවා. ණය බරක් තිබුණු රටක් ලෙස ආර්ථිකමය වශයෙන් අපට අභියෝගයන් තියෙනවා.
ජනතාවට යම් තරමක පීඩනයක් දැනෙන බව අපි දන්නවා. නමුත් මේ ආණ්ඩුව පටන් ගත්තේ ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල අඩු කරලා රජයේ සේවකයන්ගේ වැටුප් දහදාහකින් වැඩි කරලා. මේ කාරණා දිහා බැලුවම ජනතාවට යම් සහන ප්‍රමාණයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම රටේ ජනතාව තුළ තිබුණු රාජ්‍ය ත්‍රස්තවාදයේ බිය තුරන්වෙලා තියෙනවා. මනුෂ්‍යත්වය අගයන සමාජයක්, සහජීවනයෙන් පිරි සමාජයක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා.
කොළඹ නගරයේ සෑම දිනකම රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පැවත්වීම සිදුවෙනවා. මේ උද්ඝෝෂණ අතර දෙයාකාරයක පිරිසක් ඉන්නවා. ඇත්ත වශයෙන්ම ප්‍රශ්න තියෙන උදවිය තමන්ගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලා බය නැතිව දැන් පාරට බහිනවා. ඒ ගැන අපට ප්‍රශ්නයක් නෑ. මොකද පසුගිය වසර දහය තුළම විසඳුවේ නැති ප්‍රශ්න ගොන්නක් රටේ ඉතිරිවෙලා තියෙනවා. ඒ ප්‍රශ්න ගැන කෙලින් කතා කරන්න බයේ පීඩාවට පත්වුණු පිරිස දැන් නොබියව පෙරට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒවා සාධාරණ උද්ඝෝෂණ. මේවා විසඳන්න රජය මැදිහත් වෙන්න ඕනෑ.
හැබැයි තව පිරිසක් ඉන්නවා අවුරුදු දහයක් බලයේ ඉඳලා තවම පරාදවෙලා නෑ කියලා හිතාගෙන. විපක්ෂයේ ඉඳලා පුරුදු නැති, තමන්ගේ සාක්කුවේ සල්ලිවලින් කෑම කාලා පුරුදු නැති පිරිසක් තමන්ගේ අනුගාමිකයන්ව පාරට බස්සනවා. එහෙම පාරට බැස්සා කියලා ලබාගත් ප්‍රතිඵලයක් නෑ. ඔවුන් උත්සාහ කරන්නේ ජාත්‍යන්තරයට මේ රට දේශපාලන වශයෙන් අස්ථාවරයි කියන පණිවුඩය දෙන්නයි. අපේ රටට එන ආයෝජකයන් වළක්වන්නයි. සැබෑ ලෙසින්ම මේවා ජාතිද්‍රෝහී ක්‍රියා. මෙවැනි ව්‍යාජ උද්ඝෝෂණ වළක්වන්න පියවර ගැනීම රටේ අනාගතය වෙනුවෙන් කළ යුතුයි.
නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ගැන කරුණු ගණනාවක් තියෙනවා. මෙතෙක් පත්වුණු හැම ජනාධිපතිවරයෙක්ම විධායක ජනාධිපති ධුරයේ අනතුරුදායක තත්ත්වය දැකලා තියෙනවා. 1978 දී මෙය නිර්මාණය කරපු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පවා යම් යම් අවස්ථාවල කරපු ප්‍රකාශ තුළින් මෙය වඩා හොඳින් පැහැදිලි වෙනවා. ඉන්පසු බලයට ආපු චන්ද්‍රිකා මැතිනිය දෙවතාවක්, මහින්ද රාජපක්ෂ මහත්තයා දෙවතාවක්, විධායක ජනාධිපති ධුරය වෙනස් කරනවා කියා පොරොන්දුව දුන්නා.
එහෙම පොරොන්දුවක් දුන්නේ මෙහි ඇති අනතුරුදායක තත්ත්වය දැකපු නිසයි. නමුත් මේ කිසිම කෙනෙක් මේක වෙනස් කළේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව දුන්නා. එහි පළමු පියවර 19 වැනි සංශෝධනයෙන් සිදු කළා. ජනපති ධුරයට තිබුණු බලතල කප්පාදු කළා.
නව ව්‍යවස්ථාව තුළ මූලිකත්වය දිය යුතු කාරණා මේවයි. සියලු දෙනාටම සාධාරණය ඉටුවෙන පරිදි සමානාත්මතාවය හා සාධාරණත්වය පදනම් කරගත් දේශපාලන මැදිහත්වීම් කරන්නට ඉඩ ලැබෙන ක්‍රමයකටයි අපි යන්න ඕන. එහිදී ප්‍රාදේශීය වශයෙන් සමෘද්ධිය හා සංවර්ධනය ළඟා කරගන්නට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස බලය බෙදීමක් කළ යුතුයි. ඒ වගේම රටේ වර්තමාන මැතිවරණ ක්‍රමය ගැන කාලයක පටන් දැඩි විවේචනයක් තියෙනවා.
මේ නව ව්‍යවස්ථාව තුළ රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමත් කළ යුතුයි. රටේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ගැනීම, තවදුරටත් රට තුළ මානව හිමිකම් තහවුරු කර ගැනීම, රටේ ජාතික ප්‍රතිපත්ති ගැන තීන්දු තීරණ ගන්නට හැකි පුළුල් විශිෂ්ට සමාජයක් නිර්මාණය කළ හැකි කරුණුවලට මුල්තැන ලබාදීම කළ යුතුයි.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ අමාත්‍යතුමා රට පාවාදුන් බවට ඇතැම් පිරිස් නඟන චෝදනා නගන බව ඇත්ත.වෙනදා ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වෙන කොට අපේ රට ගිනියම් වුණේ නැද්ද? අද එහෙම තත්ත්වයක් නෑ. මොනවද විදේශ ඇමැතිතුමා යෝජනා කරලා තියෙන්නේ. සත්‍ය සෙවීමේ කොමිසම පත්කරන්න ඕනෙ නැද්ද? අතුරුදහන්වූවන්ගේ කොමිසම පත්කරන්න ඕනෙ නැද්ද? යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයකට රට මුහුණ දුන්නම එහෙම වුණේ නෑ වගේ ඒ සත්‍ය වසන් කරලා ඒක යටකරලා බොරුවෙන් මුලාකරලා කටයුතු කරන එකද හරි. යුද්ධයේදී අපේ රටේ සිදුවුණු සත්‍ය හෙළිකිරීම කළා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ රට සුන්නත්දූලි කරන්න පුළුවන් ද? අපි කරන්න ඕනෙ මේ පිළිබඳ ස්වයං හෙළිදරව් කිරීමක් කරලා, කරුණු සොයා බලලා වින්දිතයන් බවට පත්වුණු පිරිසට සහන සැලසීමයි. එහෙම කටයුතු කරනකොට ඒක විදේශිකයන්ට රට පාවාදීමක් කියලා කියන්නේ කොහොමද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය මොනවද අපිට කියන්නේ. රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරපල්ලා, රටේ වංචාව, දූෂණය, නාස්තිය අවම කරපල්ලා, රටේ පරිසරය ආරක්ෂා කරපල්ලා, මේ යෝජනා ක්‍රියාත්මක කළාම ඒකෙන් ප්‍රතිලාභ හිමිවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද? නැත්නම් අපේ රටේ පුරවැසියන්ට ද? දැන් මේ රටේ මාධ්‍යවේදීන්ට ලියන්න, කියන්න අයිතිය ලැබෙනකොට, තොරතුරු දැනගන්න ජනතාවට අයිතිය ලැබෙනකොට, සුද්දන්ට ද ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ. මේකයි අපි තේරුම් ගන්න ඕනා.
මේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියන්න ඉස්සෙල්ලා රටක් ලෙස අපට කරන්න තිබුණු දේවල්. යුද්ධය ඉවරවුණු ගමන් මේ කාරණා රටක් ලෙස අපි ඉටුකළා නම් ඔය කිසි කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න ලැබෙන්නේ නෑ. නමුත් එහෙම කෙනෙක් ඇඟිලි දික්කළාම හරි මේ දේවල් කරනවා නම් මම සතුටු වෙනවා. අධිරාජ්‍යවාදීන්‍ට විරුද්ධව සටන් කරන, කෑගහන අයට කරන්න තිබුණේ අපේ රටට ජාත්‍යන්තරයෙන් ඇඟිලි ගහන්න බැරිවෙන ලෙස කටයුතු කිරීමයි. එහෙම කටයුතු නොකර පස්සේ ඒ වෙනුවෙන් සටන් කිරීම අශ්වයා ගිය පසු ස්තාලය වැහුවා වගේ වැඩක්.
රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ කියන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට රජයට ජනවරමක් නොලැබුණු බව කියනවා. ජනාධිපතිතුමා බලයට පත්වූ ගමන් දින සියයේ ආණ්ඩුව තුළ ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධන කරන බව ප්‍රකාශ කළා. නමුත් 2015 අගෝස්තු මහ මැතිවරණයේදී පැහැදිලිවම ප්‍රකාශ කළා එජාපය 113 ක් ගත්තත් තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නෑ. ශ්‍රී. ල. නි. ප. ය සමඟ හවුල් ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒ අනුව ජනමත විචාරණයකට නොගොස් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් ඒක විහිළුවක්.
බෞද්ධ ආගම රාජ්‍ය ආගම විය යුතුයි යැයි කියන මතය ගැන මගේ මත දෙකක් තියෙනවා. මේ රටේ බෞද්ධ සංස්කෘතිය නොවෙනස්ව තිබිය යුතුයි. බෞද්ධ සංස්කෘතිය තුළ ගොඩනැඟුණු රටක් තුළ අන්‍ය ආගමිකයන්ට තමන්ගේ ආගමික විශ්වාස අනුව කටයුතු කරන නිදහස තියෙනවා. සහජීවනය තුළ සියලු ජාතීන්ට ජීවත්විය හැකියි. බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රමුඛත්වය දීම තුළින් රටේ සියලුදෙනාටම යහපතක් සිදුවෙනවා. සියලු දෙනාටම රැකවරණය ලැබෙනවා.
(දිනමිණ පුවත්පතෙහි පළවූ සම්මුඛ සාකච්ජාවකින් සකස් කරන ලදී)