Thursday, April 25, 2024

TNA දැඩි ස්ථාවරයක; සුමන්දිරන් ජිනීවා යයි

ජායාරූපය: 2014 මාර්තු ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් උල්ලංඝනයන් ගැන මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පරිකෂණයක් කිරීමට බලය පැවැරූ මානව හිමිකම් මණ්ඩලයේ 25වන සැසිවාරය අතර තුර දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ නොනිල පුවත්පත් සාකච්ජාවෙහිදි සුමන්දරන් කතා කරයි. 

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමතර කාලයක් ලබාදීමට ගනුලබන උත්සාහය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරයි.

මාර්තු 23 වෙනිදා ජිනීවාහි පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගිවීමට නියමිත දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් එම විරෝධය පළකළේ අද (18) යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

2015 ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟත්වය ඇතිව මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරගත් යෝජනා කිසිවක් ඉටු කිරීමට රජයට උනන්දුවක් නොතිබූ බව මන්ත්‍රීවරයා පවසයි.

යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරන් පත් කිරීම ඇතුළු කරුණු රැසක් යෝජනාවල ඇතුළත් නමුත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සෙසු අමාත්‍යවරුත් එම යෝජනා ඉටු නොකරන බව ප්‍රසිද්ධියේ පවසන බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, ආණ්ඩුව එවැනි ප්‍රකාශ සිදුකිරීම අසාධාරණ බව සඳහන් කළේය.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදෙස් විනිසුරන් පත්කිරීමට බාධාවක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා,හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව චෝදනා විභාගකිරීමට පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරන් පත්කිරීම සඳහා පැවති සූදානම ඊට උදාහරණයක් වන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සඳහා විදෙස් විනිසුරුවරුන් යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගියදා පැවසීය.

යුද අධිකරණයක් පිහිටුවීමත් ඒ සඳහා විදෙස් විනිසුරන් පත්කිරීමත් අනිවාර්ය බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව ඔහු අවධාරණය කරයි.

අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජිනීවා සැසි වාරයේදී තවත් අමතර කාලයක් ලබා දීමට සූදානම් වන්නේනම් ඊට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරන බව කී මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සැසිවාරය හමුවේ පැහැදිලි කරන බව ද පැවසීය.

දෙමළ ජාතික සන්ධානය සිය ස්ථාවරය හැටියට මාර්තු 11 වෙනිදා වවුනියාවේදී සම්මත කරගත් යෝජනාවල කිසිදු වෙනසක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා,2015 ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව ඇතිව ජිනීවා සමුළුවේදී සම්මත කර ගත් සියලුම යෝජනා ඒ ආකරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියි.

එම යෝජනා ක්‍රියාත්මක කරනු ලැබීම සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

-බීබීසී සිංහල

Archive

Latest news

Related news