Sunday, April 28, 2024

“විනය ගරුක හමුදාව” පුදිකුඩුඉරිප්පුවෙහි සෙල්ලම්මාගේ නිවෙසට කල විනාශය මෙන්න

ජායාරූපය: සෙල්ලම්මාගේ නිවෙස: මෙැවැනි නිවෙසක් සතයක්වත් නොගෙවා බලයෙන් යුද හමුදාව වසර අටක් අල්ලා ගෙන සිටියොත් ඔබට කුමක් සිතෙයිද?

පුදිකුඩුඉරිප්පුවෙහි 83 හැවිරිදි සෙල්ලම්මා සිය යුද හමුදාව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි සිය නිවෙස සහ ඉඩම යළි ලබා ගැනීමට පසුගිය මාසය පුරා සටන් වැදි සිටියාය. දැන් ඇය සහ එම සටනෙහි නියතු වූ ජනයා ජය ලබා තිබේ. ඔවුන්ට සිය නිවෙස් සහ ඉඩම් යලි ලැබුණි.

හමුදාව ඇගේ නිවෙස සහ ඉඩම බලයෙන් වසර අටක් අල්ලාගෙන සිටියේය. ඔවුනට  යලි සිය අයිතිය ලැබුනේ ස්ත්‍රීන් විසින් නායකත්වය දුන් අරගලය නිසා පමණි.

කාට කියන්නද‍? සෙල්ලමිමාගේ සුසුම් ඇසෙන පාලකයෙන් මෙරට නැත.

සිය නිවෙස යළි ලද නමුත් එය සතුටක් වෙනුවට ගෙනවිත් ඇත්තේ දුකකි. සාධාරණ කෝපයකි. මේ පින්තූර වලින් පෙන්වන ඇයගේ නිවෙස බලන්න. එය කොතරම් වෙහෙස මහන්සි වී උපයාගත් දෙයක් දැයි සිතා බලන්න. විනය ගරුක හමුදාවක් බවට හැම දේශපාලනඥයකුම විසින්ම පම්පොරි ගසන ශ්‍රී ලංකාවෙ යුද හමුදාව ඒසා වටිනා නිවසක් මෙම වියපත් මාතාවට නොදි සිටියා පමණක් නොව එම නිවෙස ආපසු දිමට බල කෙරුණූ කළ එයට මහත් අලාභ හානි කර ඇති සැටි බලන්න.

ඉඩමෙහි වූ කෘෂිකාර්මික ජල මාර්ග විනාශ කර ඇති අයුරු

මේ විනාශ කර ඇත්තේ සෙල්ම්මාගේ මුල් ගෙදරය. ඇයද ඇතුලුව පවුලේ දරුවන් හත්දෙනෙකුම හැදී වැඩුණේ මෙහිය.

නිවසෙහි විදුලි ස්විච විනාශ කර තිබේ.

මෙම අත්දැකිමට ඔබ මුහුණ දුන්නොත් ඔබේ වටිනා නිවෙස සතයක්වත් නොගෙවා වසර අටක් යුද හමුදාව අල්ලාගෙන සිටිය හොත් එය ආපසු බාර දෙන විට විනාශ කර තිබුණහොත් ‘ තුං නොදකින් මේ හැත්ත’ කියා වස් ගහන්නේ නැත්ද? ඒ වස් වැදිය යුත්තේ මේ රට කරවන කළගුණ නොදන්නා පාලකයින්ට නොවේද?

මෙසේ බාර දුන් සමහර ඉඩම්හි පොල් ගස් කපා හමුදාවට සැප ගැනීමට ‘සමර් හට්ස්’ සාදා තිබේ. සමහර වෙල් සහමුලින්ම පොලවට සමතලා කර දමා තිබේ. දෙරවල් ජනෙල් ගලවා ගෙන ගොස්ය. නාන කාමරයන්හි මුහුණ බලන කන්නාඩි ද හොරා ගෙන ගොස්ය.

පුදිකුඩිඉරිප්පුවෙහි වෙනත් ස්ත්‍රියට  බාර දුන් ඇගේ ඉඩමෙහි යුද හමුදාව අලුත් මුලුතැන්ගෙයක් සදා තිබේ. එහි අපද්‍රව්‍ය මුසු වතුර හරවා ඇත්තේ ඔවුන්ගේ ළිදටය. වතුර දුර්ලභ යාපනයේ ළිදක් මෙළෙස විනාශ කිරීම සහ ගහන අපරාධයක් නොවේද? දැන් ළිදෙන් එන්නේ වතු නොව ගඳය.

තවත් ඉඩමක හමුදාව වැලි හාරාගෙන ගොස් දැන් ඉතිරි කර ඇත්තේ වළක් සහ ලඳු කැලයකි.

මෙම ජනයාට ආණ්ඩුව තවම සතයක්වත් වන්දි හෝ යළි පදංචිවීමේ සහනාධාර හෝ ගෙවා නැත. එසේ නමුත් මංත්‍රීවරැන්ට කාර් ගැනීමට ලක්ෂ 200 -700 දක්වා දීමට මුදල් ආණ්ඩුවට තිබේ. දුමින්ද දිසානායකගේ අමාතයාංශය ගෙන යැමටය කියා  2016 අප්‍රේල් මාසයේ සිට හිස් ගොඩනැඟිලලකට මසකට රුපියල් මිලියන 16 බැගින් බදු ගෙවීමට ආණ්ඩුවට මුදල් තිබේ.  සිරිසේනගේ දුව ආණ්ඩුවේ ප්‍රචාරක වැඩ මගින් කෝටි ගණනින් හම්බ කරයි. නමුත් මේ අසරණ ජනයාට සහාය විමට මුදල් ආණ්ඩුවට නැත.

නාන කාමරයේ මුහුණ බලන කණ්නාඩිය ද රජසතු කරගෙනය

මේ සියල්ල සිදුවන්නේ සිරිසේන බලයට පත් කිරිමට සියයට 80ක් ජන්දය දුන් දෙමළ ජනතාවටය. ඒ එසේ නමුත් රාජපක්ෂ බලයට ගෙන ඒමට 2015 අගොස්තුව දක්වා වළි කෑ රාජපක්ෂවාදී දේශපාලනඥයින් රොත්තක්ම දැන් සිරිසේනගේ හවුල් කරුවන් වී ගසා කෑම දිගටම කරගෙන යති.

පොලවටම සමතලා කළ නිවෙසක්! සහ ගහන අපරාධ නොවේද?

ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයැයි කියන්නේ මේ වාගේ අලුගුත්තේරු වැඩ වලටය.

(මෙම ලිපිය සඳහා කරුණු සමහරක් රුකී ප්‍රනාන්දු සහ මරීසා ඩි සිල්වා විසින් ඉංග්‍රිසියෙන් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද අතර සියලුම ජායාරූප ඔවුන් දෙදෙනාගේ ලිපියෙනි. විවරණය අපෙනි.)

Archive

Latest news

Related news