Friday, April 19, 2024

යුරෝපයේ අනාගතය අද නෙදර්ලන්ත ජන්දයේදී තීරණය වෙයිද?

ජායාරූපය: ප්‍රංශයේ අන්ත දක්ෂිනංශික නායිකාව මෙරීන් ලා පෙන් සහ නෙදර්ලන්තයේ දක්ෂිනංශික නායන ග්‍රීට් වෙල්ඩර්ස්. ( AP photo)

සුනන්ද දේශප්‍රිය.

අද එනම් මාර්තු 15වන බදාදා නෙදර්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. මෙම මැතිවරණය බ්‍රෙක්සිට් සහ  ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අනුව යෑමට යුරෝපය තීරණය කරන්නේද යන්න තීරණය කැරෙන දේශපාලන මොහොතක් වනු ඇතැයි සමහර දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී තිබේ. ඒ කොතෙක්ද යත් බ්‍රෙක්ස්ට් මෙන් නෙක්සිට් නම් වචනයක් පවා දැන් ව්‍යවහාරයට පැමිණ තිබේ.

යුරෝපයේ අන්ත දක්ශිනාංශයේ මෑත කාලීන නැගීමට ප්‍රධානතම හේතුව නම් මැද පෙරදිගින්, ඇප්ගනිස්ථානයෙන් සහ අප්‍රකාවෙහි මුස්ලිම් රටවලින් යුරෝපයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින්ය‍. ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික ලා පෙන් මෙන්ම නෙදර්ලන්තයේ ග්‍රීට් වෙල්ඩරස් ද අන්ත මුස්ලිම් විරෝධි ජනප්‍රියවාදීන්ය.

වෙල්ඩරස් 2006 දී තමා විසින්ම ආරම්භ කරන ලද නිදහස සඳහා පක්ෂයේ නායකයාය .

නෙදර්ලන්තයෙහි වෙල්ඩර්ස් විසින් එරට සම්ප්‍රදායික පක්ෂ පරදවනු ඇතැයි පසුගිය දිනවල පෙනෙන්නට තිබුණි. ඒ ඩොනල්ඩ් ට්‍රම්පගේ ජයග්‍රහණය ආසන්නයේ ය. එසේ නමුත් මෑත ජනමත විචාරණ පෙන්වන්නේ අන්ත දක්ෂිනාංශික වෙල්ඩර්ස්ගේ ජනප්‍රියත්වය බලයට පත්ව අනාගත් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහත වැටීමට සමානව පල්ලම් බැස ඇති බවයි.

වෙල්ඩර්ස් ට්‍රම්ප් මෙන් නොවේ. ඔහු  ඉස්ලාමීය සරණාගතයින්ට විරුද්ධ වන්නේ ඔවුන් විසින් නෙදර්ලන්තයේ විවිධ මත සහ ප්‍රජාවන් ඉවසන සුලු සංස්කීතියට හානි කරන බවට චෝදනා කරමිනි. එමෙන්ම ඔහු ට්‍රම්ප් මෙන් නොව සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටි. ඔහු බොරු සුචරිතවාදියකු නොවේ.

වෙලඩර්ස් යුරෝපා සංගමයෙන් නෙදර්ලන්තය ඉවත් විය යුතු බව කියයි. එනමුත් එරට බහුතර ජනයා අතර ඊට එකඟත්වයක් නැත.

අනෙක් අතට නෙදර්ලන්තයේ 15 දින පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් හෝ බ්‍රෙක්සිට් වැනි ජනමතවිචාරණයක් නොවේ. පාර්ලිමේන්තු මැතිවරණයකි. පක්ෂ 28ක් පාර්ලිමේන්තු ආසන 152ක් සඳහා තරඟ වදී. දැනට පෙනෙන හැටියට පක්ෂ හත අටක් ආසන 10ට වැඩියෙන් ලබා ගැනීමට ඉඩ තිබේ. වෙල්ඩර්ස්ගේ  නිදහස සඳහා පක්ෂයට සියයට 20ක් ජන්ද ලැබෙනු ඇතැයි පෙනෙන්ට ඇති අතර එම පක්ෂය වැඩිපුරම ආසන ලබා ගන්නා පක්ෂය හෝ දෙවැනි තැන ආසන ලබා ගන්නා පක්ෂය බවට පත්වීමට ඇති ඉඩ වැඩිය.

අන් කිසිදු පක්ෂයක් වෙල්ඩර්ස්ගේ දක්ෂිණාංශික අන්තවාදී නිදිහස සඳහා පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවිමට සූදානම් නැත. එබැවින් නෙදර්ලන්ත ජන්දයෙන් අන්ත දක්ෂිනාංශිකයින් රටේ පාලකයින් වීමට

පරාජය වූ ඔස්ට්‍රියානු දක්ෂිනංශික නායක නොර්බට් හොපර්

කෙසේවත් ඉඩක් නැත.

නමුත් වෙල්ඩර්ස් රටෙහි ප්‍රථම පක්ෂය බවට පත්වුව හොත් එය මෙම වසරෙහි පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට නියමිත ප්‍රංශයෙහි සහ ජර්මනියෙහි දෝංකාර දීමට ඉඩ තිබේ. මේ කිසිදු රටක දැනට පෙනෙන අන්දමට අන්ත දක්ෂිනාංශික මානව විරෝධී බලවේගයන් පාලනය අත්කර ගැනීමට ඉඩක් නැත. එසේ නමුත් එම පක්ෂ ලබා ගන්නා පාර්ලිමේන්තු බලය පීඩිත ජන කොටස්හි මෙන්ම සංක්‍රමණික ප්‍රජාවන්ගේ අයිතීන්ට බරපතල හානියක් වනු නිසැකය. එමෙන්ම මෙම පක්ෂ මානව අයිතිවාසිකම් මුල් තැනෙහි ලා සලකන්නේද නැත.

පසුගිය වසරෙහි පැවැති ජනාධිපතිවරණයෙන් ඩොනලඩ් ට්‍රම්ප්වාදී  අන්ත දක්ෂිනාංශික හොපර් පරදවා ජය ලැබීමට හරිත පක්ෂයේ හිටපු නායකයා සමත්වීමෙන් පෙන්නුම් කරන ලද්දේ ට්‍රම්ප්ගේ අඩි පාරේ යෑමට යුරෝපය සූදානම් නැති බවයි.

අද පැවැත්වෙන නෙදර්ලන්ත මතිවරණයෙන්ද එම ප්‍රතිපලයම ලැබුණ හොත් එය ලෝකයේ මෙන්ම යුරෝපයේද මානව හිමිකම් රුකගැනීමේ  අරගලයට රුකුළක් වනු නොඅනුමානය. එහෙත් නෙදර්ලන්ත ජන්ද දායකයා කුමණ තීරණයක් ගනු ඇත්දැයි බ්‍රහස්පතින්දා උදෑසන වන තෙක් දැන ගැනීමට නොහැක. එනයින් යුරෝපයේ අනාගතය අද නෙදර්ලන්තයේදී සටහන්වෙයි යන කියමන බොහෝ දුරටම හරිය.

 

Archive

Latest news

Related news