Tuesday, May 7, 2024

ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද? – සුනන්ද දේශප්‍රිය

කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි.

චාරයක් නැති කතා කීම අතින් අද ලොව නම් දරා සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහු මහ රෑ තුනට හතරට අවධිවී කිසිසේත්ම ජනාධිපතිවරයකුට නොහිබිනා ට්විටර් පණිවිඩ යැවීම ඔහුගේ හීනමාන මානසිකත්වයේ ළකුණක් බවට පත්ව තිබේ.

මෑතදී ඔහු යැවූ එවැනි ට්විටර් පණිවිඩ ගණනාවක් මගින් ඔහු හිටපු ජනාධිපති ඔබාමාට චෝදනා කළේ තමාගේ දුරකථනයන්ට රහසේ සවන් දෙන ලෙස ඔබාමා නියෝග කර ඇති බවයි. ට්‍රම්ප් ටවර් නමින් ඇති ඔහුගේ  විසල් හෝටලයේ සිට ට්‍රම්ප්ගේ සහචරයින් රුසියානු රහස් ඔත්තු නිලධාරීන් සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න දැන් තීරණාත්මකක දේශපාලන සාකච්ජාවක් එරට බවට පත්ව තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චෝදනාව ඔබාමා ප්‍රතික්සේප කළේ කරුණු පෙන්වා දෙමිනි. ( මාදුකාංග මගින් සකස් කරන ලද ජායාරූයකි)

මෙම චෝදනාවට පිළිතුරු දුන් ඔබාමා කියා සිටියේ තමා එවැනි කිසිදු නියෝගයක් නොදුන් බවත් ඇමෙරිකානු නිතිය අනුව තමාට එවැන්නක් කළ නොහැකි බවත්ය. එවැනි සවන්දීමක් සහ පටිගත කිරීමක් කල හැක්කේ ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි අංශයන්ට බවත් ඔබාමා තවදුරටත් කියා සිටියේ ය.  කවරකු හෝ ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන සබඳතා පවත්වන්නේ නම් ඔහු හෝ ඇයගේ තරාතිරම නොබලා ඔත්තු සේවා හරහා කරුණූ විමර්ශණය කිරීමට එරට  බුද්ධි අංශයන්ට අයිතියක් තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයෙහි හිලරි ක්ලින්ටන් විසින් සිය පුද්ගලික මෘදුකාංග යොදාගෙන යවන ලදැයි කියන විද්යුත් ලිපි ( ඊ මේල්) පිළිබඳ පරික්ෂා කිරීමට පෙඩරල් විමර්ශණ බියුරෝව ( එෆ්බීඅයි) පියවර ගෙන තිබුණේ ද ඒ අනුවය. අප කව්රුත් දන්නා පරිදි ක්ලින්ටන් එවකට ජනාධිපති වූ ඔබාමා විසින් අනුමත කරන ලද අපේක්ෂිකාව විය. එය නොසළකා එෆ්බීඅයි ආයතනය ක්ලින්ටන් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීය‍.

කවර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක හෝ අපරාධ විමර්ශණය බාර වන්නේ පොලීසියට සහ විශේෂ විමර්ශණ ආයතනයන්ටය. ජනාධිපතිවරුන්ට හෝ ඇමැතිවරුනට නොවේ. ශ්‍රී ලංකාවේ  නම් මේතාක් එවැනි ක්‍රියාවන්ද තමන්ගේ සැතැඟි අනුව පාලනය කිරීමට බලයට පත්වන දේශපාලනඥයින්ගේ අයිතියක් විය‍. තමන් නියෝජනාය කරන ආසනයේ පොලීසිවලට සිය ගැත්තන් පත් කර ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පැවැති අනීතියකි.

ජනාධිපති සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත් කොට අපරාජිත යැයි සිතා සිටි රාජපක්ෂ ගෙදර යැවූයේ එවැනි අනීතික ක්‍රියා නතර කර නීතියේ පාලනය පිහිටුවනු පිනිසය. නිතයේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රමුඛ ලක්ෂනයි. සැම පුරවැසියකුම නීතිය ඉදිරියේ සමාන වන්නේ පුද්ගල පාලනය නොව නීතියේ පාලනය රජ කරන විටය.

එසේ නමුත් ජනාධිපති සිරිසේන මුළු රටෙහිම පොලීසි සහ අධිකරණය තමා යැයි සිතාගෙන වහසි බස් දොඩවන තත්වයට පත්ව තිබේ. ඔහු විසින් පසුගිය 04 දා යාපනයේදී මෙසේ ප්‍රකාශ කළ බවට විවිධ ජනමාධ්‍ය මෙන්ම ඔහුගේම පාලනය යටතේ ඇති වෙබ් සහ ම්‍රද්‍රිත ජනමාධ්‍ය විසින් ද වාර්තා කර තිබේ.

‘‘විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමටවත් ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත‍්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝධාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලය තුළ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද අවධාරණය කළේය.” (ජනාධිපති මාධ්‍ය අංශය යටතේ ඇති නිව්ස්ඩොට්එල්කේ වෙබ් අඩවිය)

පසුගිය 06 දා ඉරිදා ලංකාදීප පුවත් පත මෙසේ වාර්තා කළේය:

‘‘’රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය අයුරින් ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැතැයි, එම සංවිධාන කියන අයුරින් හමුදාවට චෝදනා පත්‍ර දීමට තමන් සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා, හමුදාවට, පොලීසියට විරුද්ධව මොන චෝදනා ආවත් ඒවා ප්‍රතික්ෂේප කර ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව” ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයන් 2015 ජනාධිපතිවරණයෙන් පසු මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතලම අභියෝගයයි. මෙම ප්‍රකාශ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයට සහ නීතිය සුරුකීමේ ආයතනයන්ට අනිසි බලපෑම් කිරීමේ චෝදනාව යටතේ දොශාභියෝගයක් ගෙන ඒමට තරම් දුෂ්ඨය.

මෙම ප්‍රකාශ අනුසාරයෙන් ප්‍රශ්ණ ගණනාවක් පැන  නැගේ.

  1. ඔහු චෝදනා කරන විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන මොනවාද? ඒවා විසින් කරන ලද යෝජනා මොනවාද? 2015 ජනාධිපතිවරණ සමයෙහි සිරිසේන මෙරට රාජ්‍ය නොවන සංවිධානද ඇතුලු සිවිල් සමාජ ව්‍යාපාර සමඟ අත්වැල් බැඳ නොගත්තේද? එවැනි සංවිධාන විසින් දෙන ලද යෝජනා සතුටින් බාර නොගත්තේද? දැන් රාජ්‍ය නොවන සංවිධාන සමඟ ආප්ප කෑම ඇති වෙලාද?
  1. සිරිසේන මෙහිදී අමූලික බොරුවක් කියයි. එනම් රණ විරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා යෝජනාවක් කළ බවයි. ඇත්ත නම් එළෙස යෝජනා කරන ලද්දේ රණ විරුවන්ට විරුද්ධව නොව යුද්ධ අපරාධකරුවන්ට විරුද්ධව නඩු ඇසීමට බවයි. දැන් සිරිසේනගේ ශබ්ද කෝෂය අනුව රණ විරුවන් සහ යුද්ධ අපරාධකරුවන් යනු එකම පිරිසක්ද?  යුද සමයෙහි අමානුෂික ඝාතන සිදු නොවූයේද? 1988 – 90 සමයෙහි දකුණූ ලංකාවෙහි යුද හමුදා විසින් කරන ලද ඝාතන ද රණවිරුවන්ගේ ක්‍රියාද? 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් සිරිසේන පැරදී ඔහුගේම වචනයෙන් අඩි හයක් යට යැවූයේ නම් ඒ ද රණ විරු ක්‍රියාවක්ද?
  1. සිරිසේන කරන භයානකම ප්‍රකාශය ඉරිදා ලංකාදීප වාර්තාවෙහි එයි. එනම් ‘හමුදාවට, පොලීසියට විරුද්ධව මොන චෝදනා ආවත් ඒවා ප්‍රතික්ෂේප කර ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි’. මෙම ප්‍රකාශයට අනුව මෙරට යුද සමයෙහි කරන ලද කිසිදු අපරාධයක් වෙනුවෙන් යුද හෝ පොලිස් සාමාජිකයනට දඩුවම් විදීමට සිදු වන්නේ නැත. ඊටත් වඩා ප්‍රශ්ණය නම් එවැනි පොලිස් පරීක්ෂණයන්ට, නීතිපති දෙපාර්තමෙන්තුවට සහ අධිකරණයට ඉහළින් එවැනි තීරණයක් ගැනීමට සිරිසේනට බලය දුන්නේ කව්ද යන්නයි.  සිරිසේනගේ මෙ ප්‍රකාශය අනුව අපේ ජනමාධ්‍ය සගයින් වූ ප්‍රගීත්, ලසන්ත සහ කීත් නොයර් සම්බන්ධ නඩුවලින් වැඩක් නොවනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යුක්තිය ඉෂ්ඨ කිරීමේ නාමයෙන් පීඩාවට පත් ජනතාවගේ ජන්දයෙන් බලයට පැමිණ මෙතරම් ගුණමකුවකු වීමට සිරිසේනට සිත් දෙන්නේ කුමන නම් කරුමයක් නිසාද?

ජනාධිපති සිරිසේන මෙම ප්‍රකාශය කලේ ජිනීවා මානව කොමිසම හමුවෙහි ඔහුගේ විදේශ ඇමැතිවරයා පැමිණ 2015 සැප්තැම්බරයේදී සම්මත කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත කිරීමට තවත් වසර දෙකක් ඉල්ලා සිටීමෙන් දින තුනකට පසුය. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාවෙහි පිහිටුවන බවට ලංකාණ්ඩුව පොරොන්දු වූ සංක්‍රාන්ති යුක්ති අපරාධ අධිකරණය සඳහා විදෙස් විනිසුරන් සහභාගිකර ගත යුතුය. 2015 සැප්තැම්බරයේදී එකඟ වූ පරිද්දෙන්ම මෙවරද ශ්‍රී ලංකාණ්ඩුව තවත් වසර දෙකක් ඉල්ලා සිටින්නේ එම යෝජනාව සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක කිරීමටය.

එසේ නමුත් ඉහත ප්‍රකාශයෙන් පැහැදිළිවන පරිදි ජනාධිපති සිරිසේන එකී යෝජනාවට විරුද්ධය.

එනයින් දැන් අභියෝගය ඇත්තේ සිරසේනගේ පිට්ටනියේය. ඔහුට දිව දෙකක් නැත්නම් මෙම දෙවරක් කල් ගැනීමේ යෝජනාව වහාම ප්‍රතික්ෂේප කළ යුතුය. එමෙන්ම කල් ඉල්ලා සිටි මංගල සමරවිර විදේශ ඇමැතිකමින් ඉවත් කළ යුතුය.වහාම සිය දූතයකු ( ඩිලාන් පෙරේරා වැන්නකු) දැන් පැවැත්වෛන මානව හිමිකම් මණ්ඩලයේ සැසි වාරයට එවා මෙම යෝජනාවෙන් ඉවත් විය යුතුය.

එසේ නැත්නම් ජනාධිපති සිරිසේන ඔබ නිකම් වාචාලයකු බවට පත්වනු ඇත. එවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව ප්‍රවිශ්ඨයක් අන්තර් ජාතික වශයෙන් ඇතිවනු නියතය.

 

Archive

Latest news

Related news