ස්ත්‍රී දිනය 2017: ප්‍රතිසන්ධානය හා සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාවලීන් තුළ කාන්තා සහභාගීත්වය උපරිම කරන්න – දෙජස

546
Sri Lankan women looks on before a protest to mark International Women's Day in Colombo March 8, 2013. Protesters demanded government action for domestic violence and rape issues in the country. REUTERS/Dinuka Liyanawatte (SRI LANKA - Tags: POLITICS CIVIL UNREST) - RTR3EQ6E

ජායාරූපය:ජාත්‍යන්තර ස්ත්‍රි දිනයට සූදානම් වන දේශපාලන පක්ෂ ක්‍රියාකාරියන් දෙදෙනෙක් ( පුස්තකාල ජායාරූපයකි ©REUTERS/Dinuka Liyanawatte)

ජාත්‍යන්තර කාන්තා දින පණිවුඩයක් නිකුත් කරන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අපගේ ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයකට අප අවතීර්ණ වෙමින් සිටිය බවත් මෙම අවධිය තුළ ප්‍රතිසන්ධානය හා සංක්‍රාන්තික යුක්තිය යන ක්‍රියාවලීන් තුළ කාන්තා සහභාගීත්වය උපරිම ලෙසට යොදා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම සමාජයේ සෑම ප්‍රදේශයකම වෙසෙන සෑම කාන්තාවකගේම සුරක්ෂිත බව හා සවිබල ගැන්වීම සාක්ෂාත් කරලමින් මෙම අභිලාෂයන් ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිබිඹු කෙරෙනු ඇතැයි  ඔහු සිය බලාපොරොත්තුව පළකරයි.

සම්පූර්ණ පණිවිඩය පහතින්:

ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් සුබ පැතුම් පණිවුඩයක් පිළිබඳව සටහනක් තැබීමට  ලැබීම මා ලැබූ භාග්‍යයක් ‍මෙන්ම ගෞරවයක්ද වන්නේය.

අප දැයට කාන්තාවන්ගෙන් ලැබෙනුයේ අමිල දායකත්වයකි. කෙසේවුවද, අවාසනාවකට මෙන් අප සමාජයේ සෑම තැනකම වෙසෙන කාන්තාවෝ විවිධ වෙනස්කම්වලට, හිරිහැරවලට හා හිංසාවන්ට අඛණ්ඩවම මුහුණ දෙමින් සිටිති.  තවද ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ අරගලය හේතුකොට ගෙන වඩාත්ම දුක් පීඩාවන් අත්වූයේ කාන්තාවන්ටය.  නිදසුනක් ලෙස ගතහොත් බොහෝ කාන්තාවන් වැන්දඹුවන් බවට පත් කරලමින් හා තම ජීවනෝපායන් අහිමි කරමින්, තම ආදරණීයයන් උදුරා ගැනීමටත්, යුද්ධය සමත්ව ඇත.  යුද්ධය පැවැති කාලයේදීත් ඉන් අනතුරුවත්, අතුරුදහන් වූ තම පවුල්වල සාමාජිකයන් සොයා ගන්නා තෙක් දහස් සංඛ්‍යාත කාන්තාවෝ තවමත් අනේකවිධ දුක් පීඩාවන් විඳිමින් සිටිති.  මෙම කාරණය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරලීම අත්‍යවශ්‍ය වන අතර, විවිධ අපචාර වලට, සූරාකෑම්වලට හා හානිදායක ක්‍රියාවලට මෙම කාන්තාවන් ගොදුරුවීම වැළැක්වීමට පියවර ගත යුතුය.

අපගේ දැයට කාන්තාවන් විසින් ඉටු කෙරෙන භූමිකාව සැමරීමේදී හා ඔවුන්ගේ දායකත්වය අනුස්මරණය කිරීමේදී, ශ්‍රී ලංකාවේ සියළුම කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමානාත්මතාවය, සාධාරණත්වය, සුරක්ෂිත බව හා අභිමානය තහවුරු කරදීමට රට වැසියන් ලෙස අපද අදිටන් කරගත යුතු බව මගේ අපේක්ෂාව වන්නේය. එලෙස සමාජයේ සෑම ප්‍රදේශයකම වෙසෙන සෑම කාන්තාවකගේම සුරක්ෂිත බව හා සවිබල ගැන්වීම සාක්ෂාත් කරලමින් මෙම අභිලාෂයන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිබිඹු කෙරෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

අපගේ ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයකට අප අවතීර්ණ වෙමින් සිටියදී, ප්‍රතිසන්ධානය හා සංක්‍රාන්තික යුක්තිය යන ක්‍රියාවලීන් තුළ කාන්තා සහභාගීත්වය උපරිම ලෙසට යොදා ගන්නා ලෙසට මා රජයෙන් ඉල්ලා සිටිමින් එහි ඇති වැදගත්කම පිළිබඳවද අවධාරණය කර සිටීමට කැමැත්තෙමි.  අවසාන වශයෙන්, අප දැයේ සමෘද්ධියත්, අභිවෘද්ධියත් උදෙසා කාන්තාවන් දක්වන අති විශේෂ ප්‍රයත්නයන්ට ප්‍රසාදය පළ කරන අතර, රටේ සංවර්ධනය සඳහා අඛණ්ඩව වෙහෙසවී කටයුතු කරන ලෙසට, මම සියළු කාන්තාවන්ට ආරාධනා කර සිටිමි.

 

ආර්.සම්බන්දන්

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක,

දෙමළ ජාතික සන්ධානයේ නායක.