Monday, May 20, 2024

ජාත්‍යන්තර ස්ත්‍රී දිනය 2017: පෙරට යමු!

ජායාරූපය: ස්ත්‍රී නායකත්වය බලගතු කිරීම සංකේතවත් කරමින් ඇමෙරිකාවෙහි මුල්‍ය කේන්ද්‍රය වන වෝල් ස්ට්‍ර්හි ඇති කුලු හරකා ඉදිරියෙහි 2017 ස්ත්‍රී දිනය වෙනුවෙන් සවි කරන ලද නිර්භය බාලිකාවකගේ ප්‍රතිමාව.

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය.

දැන් ආණ්ඩුව පළාත් පාලන ආයතනයන්හි ස්ත්‍රී නියෝජනය සියයට 25ක් විය යුතු බව නීතියෙන්ම සම්මත කර තිබේ. එය සතුටට කරුණකි. මෙම ජයග්‍රහණය අප ලබා ගත්තේ දේශපාලනය තුළ ස්ත්‍රී නියෝජනය ඉහළ නංවා ගැනීමට අප සමාජයේ බොහෝ පිරිස් විසින් කර න ලද දීර්ඝකාලීන අරගලයකින් පසුය. මෙම ජයග්‍රහණය දැන් සමාජ දේශපාලන ක්ෂෙත්‍රයෙහි ස්ත්‍රී සහභාගිත්වය පිළබඳ සාකච්ජාවකට නිමිත්ත වී තිබේ. රාජ්‍ය ආයතන මෙන්ම ස්ත්‍රී සංවිධාන මෙම සකච්ජාවේ පුරෝගාමීහු වී සිටියි. අප මෙම අවස්ථාව අපේ අතට ගෙන දේශපාලනය තුළ ස්ත්‍රී සහභාගිත්වය ගුණයෙන් මෙන්ම පමණින්ද ඉහළ නැංවීමට කටයුතු කළ කරමු යන්න අපේ පණිවිඩයයි.

අප රට සර්වජන ඡන්ද බලය ලබා වසර 80ක් ගතවී ඇතත් තවම පාර්ලිමේන්තුවෙහි ස්ත්‍රී නියෝජනය 5%කි. පළාත් සභාවන්හි 4%කි. පළාත් පාලන ආයතනයන්හි 2.7%කි, කැපී පෙනෙන සිවිල් සමාජ ව්‍යාපාරයන්හි බිංදුවකි.

නීතියකින් පමණක් මේ අසමතුලිත දේශපාලන සංස්කෘතිය වෙනස් වන්නේ නැත.මන්ද යත් ස්ත්‍රියට සමාන අවස්ථා අවහිර කරන තවත් බොහෝ සාධක ඇති බැවිනි. පාර්ලිමේන්තුවෙහි පවා මංත්‍රීවරියන් ලිංගික අවලාදයන්ට ලක් කිරීම සාමාන්‍ය දෙයකි. මැතිවරණ ප්‍රචණ්ඩත්වය විසින් ඉදිරියට එන ස්ත්‍රීන් පවා මන්දොත්සාහී කරයි. එමෙන්ම ගෙදර දොර වැඩ බෙදා ගැනීමට පිරිමින් දක්වන මැලිකම විසින් ස්ත්‍රිය ගෙදරටම සීමා කරයි. අසමාන වැටුප් මගින් ඔවුන් දුර්මුඛ කරවයි.

අප උත්සාහ කළ යුත්තේ ස්ත්‍රී පුරුෂ සමානතාවය ගොඩ නැගෙන සංස්කෘතියක් ඇති කිරීමටයි. මේ සඳහා අද ඇතිව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය මහඟු ඉඩක් ලබා දෙයි.
අද අප මෙම ජාත්‍යන්තර ස්ත්‍රී දිනය භුක්ති විදින අවස්ථාවෙහි පානම සිංහල මව්වරුද ද කිලිනොච්චියේ දෙමළ මව්වරුද යුද හමුදා යටතේ පවත්නා සිය ඉඩම් ලබා දෙන ලෙස වසර ගණනාවක් සටන් කරමින් සිටිති. වසර 14ක් ගතවීමෙන් පසුද වෘත්තීය සමිති අයිතිය නැති නිදහස් වෙළද කලාපයේ ශ්‍රමිකාවෝ සිය අයිතීන් ඉල්ලමින් සිටිති. බස්රථ වලදී ස්ත්‍රීහු සියයට 90ක්ම ලිංගික හිංසාවන්ට ලක් වෙති. අඩු වියැති දැරිවියෝ බලයෙන් විවාහ කරවා දෙති. මිලියනයක් තරම් වන විදෙස් ගත ශ්‍රමික ස්ත්‍රීහු නෑසු විරූ වැඩ කන්දරාවන්ට කර ගසති. වතුවරයේ ස්ත්‍රී ශ්‍රමිකයින් තවමත් එදා සිටි තැනමය. විවාහක ස්ත්‍රීන්ගෙන් 60% – 80% ක් විවිධ මට්ටමින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දෙති. වසරකට ස්ත්‍රී ලිංගික කෙළෙසීම් 2000ක් තරම් පැමිණිළි පොලීසියට ලැබෙතත් නඩු අසා වරදකරුවන් කැරෙන පිරිස අතේ ඇඟිළි ගණනටත් අඩුය. ගුරු සේවයේ අති බහුතරය ස්ත්‍රීන් වන නමුත් ප්‍රධානීන් ඇත්තේ කලාතුරකිනි.
දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ ස්ත්‍රී අරගලවල ප්‍රතිඵලයක් ලෙස, ලාංකික කාන්තාවන්ට දේශපාලනයට ඇතුළුවීම සඳහා සියයට විසි පහක කෝටා එකක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත. මේ ජයග්‍රහණය මගින් අප රට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර ගෙන කාන්තා අයිතීන් තවදුරටත් දිනා ගැනීමට කටයුුතු කිරීම අපගේ යුතුකම හා වගකීම වේ. ඒ සඳහා අපගේ දායකත්වය නොමදව ලබා දියයුතු වේ.

මේ විසි එක්වන සිය වසය. අද වැනි දිනෙක ලොව පුරා ස්ත්‍රීහු සිය අයිතීන් උත්සවාකාරයෙන් සමරමින් කියන්නේ ලොවෙන් අඩක් වන අපට නිසි සමාජ දේශපාලන ආර්ථික අවස්ථා ලැබිය යුතු බවයි.

මෙම කී නොකී සියලු ක්ෂෙත්‍රයන්හි අපේ තැන අපේ අයිතිය අපට හිමි විය යුතුය. ඒ අයිතිය නිකම්ම නොලැබේ. දොර ඇරෙන්නේ තට්ටු කරන විටයි.

ස්ත්‍රී අයිතිය ගැන සිතන්න. කතා කරන්න. ලියන්න. එක් වෙන්න. මැදිහත් වෙන්න. දිරි දෙන්න. හඩ නගන්න.

අද වැනි දිනෙක අපේ ස්ත්‍රී අයිතිය ගැන මෙරට ස්ත්‍රියට ඇති අසමාන සැළකීම ගැන කතා කරමු. වෙනස පටන් ගන්නේ අපෙනි. එවිට එය දිනෙක මහෝඝයක් බවට පත් වේවි!
ජයවේවා!
-ජනතා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය

Archive

Latest news

Related news