Wednesday, May 8, 2024

කීත් නොයර් පැහැර ගැනීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ

2008 වසරේ මැයි 22 වන දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ නිළ නොවන හමුදා ආරක්ෂක නිවස්නයක් තුළ (Army safe house) රඳවා තබා ගනිමින්, දිගින් දිගටම පහරදෙමින් ප්‍රශ්න කරන ලදුව අවසානයේ සිවිල් සංවිධාන, තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල පීඩනය හමුවේ මුදාහරින ලද, ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක කිත් නෝයර් මහතාගේ පැහැරගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී. රාජපක්ෂ කෙලින්ම සම්බන්ධ බව පසුගිය 18දා ගල්කිස්ස උසාවිය හමුවේ කරුණු අනාවරණය විය.

මෙම පැහැරගැනීම හා පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වන මේජර් බුලත්වත්ත, කීත් නෝයර් මහතා රඳවාගෙන සිටි දොම්පෙ පිහිටි හමුදා ආරක්ෂක නිවස්නය ඔහුගේ පුද්ගලික හැඳුණුම්පත හා ලියකියවිලි ලබාදෙමින් කුලියට ගත් එකක් බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

කීත් නෝයර් මහතා පැහැරගැනීමත් සමග ඔහු ඒ බව තම ප්‍රධානියා වන හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර වෙත දැනුම් දී ඇති අතර අමල් කරුණාසේකර විසින් ඒ බව ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ වෙත දැනුම් දී තිබේ. ඉන්පසු කපිල හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ඒ බව පැවසීමෙන් අනතුරුව නන්දසේන ජී. රාජපක්ෂ විසින් කෙලින්ම මේජර් බුලත්වත්තගේ ජංගම දුරකතනය අමතා, ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු දැනුවත් කර ඇත.

මේ සියලුම දුරකතන අංක සහ වේලාවන් රහස් පොලීසිය විසින් නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට නියමිත වේ.

රහස් පොලිස් නිළධාරීන්ගේ මේ හෙලිදරව්වත් සමග චූදිතයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා කිසිදු විත්තිවාචකයක් ඉදිරිපත් නොකොට අධිකරණයේ නිහඬව සිට ඇත. එතැන සිටි නීතිඥයන් කිහිපදෙනෙකු වහාම මතුවී ඇති තත්වය පිළිබඳව නන්දසේන ජී. රාජපක්ෂ දැනුවත් කොට තිබේ.

එකී දැනුම්දීමෙන් අනතුරුව උදය ගම්මන්පිල, නලින්ද ඉන්දතිස්ස, මිස්බා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඊයේ (18) සවස නන්දසේන ජී. රාජපක්ෂගේ නිවසේ හමුවී ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නැවතත් අලුත් වටයකින් රණවිරු නාඩගම ආරම්භ කළයුතු බවයි. එමෙන්ම යුද හමුදාව තුළ මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට නියමිත සාක්ෂිකරුවන් නිහඬ කිරීමේ වගකීම කර්නල් ෂම්මි කුමාරරත්නට හා කර්නල් මහතන්තිලට භාරදී ඇත

කීත් නෝයර් මහතා, 2008 වසරේ මැයි මස පැහැරගෙන ගොස් රදවා තබාගෙන ප්‍රශ්න කරමින්, පහර දීම සම්බන්ධව, මේ වන විට සිදුවන විමර්ශණයන්හි ඊළඟ පියවර ලෙස, එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර (එවක කර්නල්) ඉදිරි දින කීපය තුලදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා මෙසේ රහස් පොලිසියට කැඳවා ඇත්තේ කීත් නෝයර් සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ගෙන් හෙලිදරව් වූ කරුණු මතය.

කීත් නෝයර් මහතා පැහැර ගත් විගස එසේ පැහැර ගන්නා ලද මේජර් බුලත්වත්ත ඒ බව දැනුම් දී ඇත්තේ එවක කර්නල් අමල් කරුණාසේකර වෙතය. අමල් කරුණාසේකර විසින් ඒ බව එවක ජාතික බුද්ධිඅංශ ප්‍රධානී කපිල ‍හෙන්දාවිතාරණ වෙතත්, හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී රාජපක්ෂ (ගෝඨා) වෙත දැනුම් දුන් ආකාරය දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමේදී මැනෙවින් තහවුරු වී තිබේ. අවසානයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කීත් නෝයර් පැහැර ගත් මේජර් බුලත්වත්ත වෙත කෙලින්ම කතා කොට ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දී ඇත.

රහස් පොලිසිය විසින් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුවූ සම්පූර්ණ ක්‍රියාදාමය පරිවේෂණීය සාක්ෂි මත (Circumstantial evidence) ඉතා කදිමට ගොඩ නගා තිබේ. මෙම සාක්ෂි හිටපු ආරක්ෂක ලේකම්වරයා වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගැනීමට හොදටම ප්‍රමාණවත් වුවත් මෙය තවත් දේශපාලන ඩීල් එකක් නිසා මග හැරී යාමට බොහෝ දුරට ඉඩ ඇති බව නීතිඥ ප්‍රජාවගේ මතයයි.

හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී රාජපක්ෂ මේ වන විට තම අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීම සඳහා හතර අතේ කටයුතු කර මින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

-ඇසුර ලංකා නිව්ස් වෙබ්

Archive

Latest news

Related news