Saturday, April 27, 2024

යුදෙව් අයිතීන් උදෙසා හිට්ලර් නොහොත් රාජපක්ෂගේ අධිකරණ ස්වාධීනත්වය – සුනිල් ජයසේකර

තම වර්ගෝත්තමභාවය උදෙසා යුදෙව් ජාතිකයන් හැට ලක්ෂයක් අමු අමුවේම මරා දමන ලද ඒකාධිපති රාජ්‍ය පාලකයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් සිය මිනී වළෙන් නැගිට විත් යුදෙව් ජාතිකයන්ගේ ආරක්ෂාව පිණිස ඉදිරිපත් වුවහොත් නූතන ලෝකය එය කෙසේ පිළිගනු ඇත්ද? ඉන්දියානු නිදහස් සටනේ පියා ලෙස බුහුමන් ලබන අහිංසාවාදයේ නූතන ප‍්‍රතිමූර්තිය බ`දුවූ මහත්මා ගාන්ධි තුමන් වෙඩිතබා ඝාතනය කරන ලද නතුරාම් ගොඞ්සේ නැවත ඉපදී තමන් දැන් ගාන්ධි අනුගමනය කරන අහිංසාවාදියෙකු යැයි ප‍්‍රකාශ කළහොත් ඉන්දියානූ සමාජය එය කෙසේ පිළිගනු ඇත්ද? බි‍්‍රතාන්‍ය පාලන සමයේදී සිය විනෝදාස්වාදය තකා ශ‍්‍රී ලංකාවේ අලි ඇතුන් 1500 ට වැඩි ප‍්‍රමාණයක් වෙඩි තබා මරාදමා ඇති මේජර් තෝමස් විලියම් රොජර්ස් අදටත් අකුණුසැර වදින්නේ යැයි කියන ඔහුගේ සොහොනෙන් නැගීසිට අලි ඇතුන්ගේ සංරක්ෂණය සඳහා තමන් පෙනී සිටිනවා යැයි සඳහන් කලහොත් අප එය කෙසේ බාරගත යුතුද? එවැනි දේ වුවහොත් ඒ කිසිවක් පිළිබ`දව තවදුරටත් පුදුම විය යුතු නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා ඉදිරිපත්වී සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයට අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඒ මගින් ඔහු පෙන්වා දෙන්නේ මඩකලපුව අධිකරණ බල ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නීති වෘත්තියේ යෙදී සිටී නීතිඥවරයෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් වන බවය. එමෙන්ම එය පිළිගත් ක‍්‍රමවේදයෙන් පිට පැන සිදුකර ඇති පත්වීමක් බව ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයට විරෝධය පළ කරන අතරේ එක් දෙයක් සඳහන් කිරීමට අමතක කර නැත. එනම්, ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ වසර 9 ක කාලය තුළ පුද්ගලික නීතිඥයින් අතරින් එක් අයෙක් පමණක් විනිශ්චකාරවරයෙකු ලෙස පත්කර ඇති බවය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ඒ අනුව අද මේ ආකාරයට ඔහු ප‍්‍රශ්න කරන්නේ ඔහු ද සිදුකර ඇත දෙයක් වත්මන් ජනාධිපතිවරයා විසින් ද සිදුකිරීමක් පිළිබ`දවය.

ඒ කෙසේවෙතත් ඒ හා සමගම මූලික ප‍්‍රශ්න තුනක් පැනනගී.

පළමු වැන්න, මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ඇති අන්දමයි. දෙවැන්න ඉහළ අධිකරණයන් සඳහා විනිශ්චකාරවරුන් පත්කිරීම පිළිබඳ ක‍්‍රමවේදය හා චෝදනාවන්ට හේතුවී ඇති මෙකී පත්කිරීම පිළිබදවයි. තුන් වැන්න වන්නේ, මේ පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර ඇති හෙළිදරව්වයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අධිකරණය තුළ පැවැති ස්වාධීනත්වය පිළිබඳව අවශ්‍ය නම් වෙඑම් ගණනාවකින් යුත් කෘතියක් වුව ද පළ කළ හැකිය. 2012 වසරේදී කැලෑ උසාවියක් හරහා එවකට සිටි අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා දැමූ අන්දම කිසිවෙකුට රහසක් විය නොහැකිය. එමෙන්ම නීති විද්‍යාලයේ තමන් සමග එකට ඉගෙනුම ලැබූ හිතවතියකට දුරකථන ඇමතුමක් දී වැඩ ඇරී ගෙදර යන ගමන් තමන් හමුවෙන්න යැයි දන්වා ඉහළ අධිකරණයේ විනිශ්චයකාර ධුරයක් ලබා දුන් අන්දම ප‍්‍රසිද්ධ පුවත්පතක් හරහා රටට අනාවරණය කරන ලද්දේ අන් කිසිවෙකු නොවේ. එම විනිසුරුවරිය විසින්මය. මේ උදාහරණ දෙකක් පමණකි.

දැන් අප අවධානය යොමු කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් සෘජුවම ඇඟිල්ල දිගුකරමින් සිදුකරන චෝදනාව පිළිබඳවය. එනම්, ලංකාවට අදාළව සැලකිමේදී අධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳවයි. ලංකාවට අදාළව සැලකීමේදී අධිකරණයේ විනිසුරුවරයන් පත්කිරීමේදී ක‍්‍රම දෙකක් අනුගමනය කෙරේ. පළමු වැන්න වන්නේ, මහෙස්ත‍්‍රාත්වරුන් බදවා ගැනීමට අදාළවය. ලිඛිත විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් පසු නීතිඥ වෘත්තිකයන් අතරින් එම තනතුරට පුද්ගලයන් බදවා ගැනීම සිදුකරයි. එහි බලධාරියා වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවය. එහෙත් මහාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විනිසුරුවරුන් පත්කිරීමේ බලය ඇත්තේ රටේ ජනාධිපතිවරයාටය.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීමේ පරම බලය රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව හිමිවන්නේ, රටේ ජනාධිපතිවරයාට ය. ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතාට ප‍්‍රශ්නගතව ඇති මේ කාරණය පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉතා පැහැදිලි ප‍්‍රකාශයක් රට හමුවේ සිදුකර තිබේ. ඒ මේ රටේ නීති ක්ෂේත‍්‍රයට අදාළ සෑම මට්ටමකම ප‍්‍රමුඛයන් ඉදිරිපිටදීය. එනම්, ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවයේදීය. එහිදී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම ප‍්‍රකාශ කර ඇත්තේ අධිකරණ ක්ෂේත‍්‍රයේ පත්වීම් වලට අදාළව තමන් වෙත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බලතළ පැවරී ඇතත් එම බලතළ ක‍්‍රියාත්මක කිරීමේදී කිසිවිටකත් තමාගේ තනි මතයට කටයුතු කර නැති බවයි. එමෙන්ම ජනාධිපතිවරයා එහිදී පැහැදිලි ලෙසම පෙන්වා දී ඇති පරිදි චෝදනා එල්ලවන මෙම පත්වීම සිදුකර ඇත්තේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මගින් කර ඇති නිර්දේශයක් අනුව අධිකරණ ක්ෂේත‍්‍රයේ අදාළ සියලූ දෙනාගේම එකඟත්වයක් මතය. එය ද සිදුකර ඇත්තේ අතීත පූර්වාදර්ශයන් කිසිවකට පටහැනි නොවන ආකාරයටය.

එවැනි පසුබිමක මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම චෝදනාව පුරවැසියන් ලෙස අප භාරගත යුත්තේ සිනාසෙමින් ද එසේත් නැතිනම්, අඬමින්ද යන්ද පැහැදිලි කළ යුත්තේ අධිකරණ ක්ෂේත‍්‍රයේ නිරත උගත් වෘත්තීයවේදීන් විසින්ය. එහෙත් එහිදී ඉන් බැහැර පොදු සමාජය ද තේරුම් ගතයුතු දෙයක් තිබේ. එනම්, මේ යන ආකාරය අනුව හෙට අනිද්දා යුදෙව්වන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හිට්ලර් ද පෙනී සිටිනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සිදුකර ඇති මේ පෙනී සිටීම අනුව එවැන්නක් සිදුවුවහොත් ඒ ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news