Monday, May 20, 2024

රාජපක්ෂ පාලනය පැවරූ නඩුවෙන් මාධ්‍යවේදීන් නිදහස්

ලංකා පුවත් පතෙහි මාධ්‍යවේදීන් වෙත රාජපක්‍ෂ පාලනය එල්ල කර  තිබූ අභූත චෝදනා අද (08) පෙර අධිකරණය විසින් ඉවත දමා මාධ්‍යවේදීන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට අයත් දෙනියාය, බෙවරලිය පෞද්ගලික වතුයායේ රජයේ සම්පත් යොදවමින්, සුපිරි මන්දිරයක් ඉදි කිරීම පිළිබඳව ගවේෂණාත්මක ලිපියක් සකස් කිරීම සඳහා 2009 වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින එහි ගොස් සිටියදී මාධ්‍යවේදීන් තිදෙනා පැහැර ගනු ලැබීය.

ඒ වන විට ලංකාපුවත් පතේ මාධ්‍යවේදීන්ව සිටි රවීන්ද්‍ර පුෂ්පකුමාර, ශාලික විමලසේන සහ දයා නෙත්තසිංහ පැහැර ගනු ලැබූ අතර, පසුව රාජපක්‍ෂ ආණ්ඩුව වෙත මාධ්‍යයෙන් එල්ල කරන ලද දැඩි බලපෑම හමුවේ පොලිසිය විසින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන සිටින බව පිළිගැනීමට සිදු විය.

පසුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ තබා ගැනීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ වී අයුතු ඇතුළුවීමේ චෝදනාව මත සමථ මණ්ඩලය හමුවට මාධ්‍යවේදීන් යොමු කර තිබිණි. නමුත්, එහි පෙනී සිටීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා අයුතු ඇතුළුවීම යන චෝදනාව යටතේ ම මොරවක අධිකරණය හමුවේ නඩු පවරා මේ දක්වා විභාග කෙරෙමින් තිබිණ.

පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට අසමත් වූ බැවින්, මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන බව මීට සුළු වේලාවකට පෙර මහේස්ත‍්‍රාත්වරයා විසින් තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news