සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම පිනිස ජනතා විමුක්ති පෙරමුණ දැන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ එක්වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු වැදගත් ප්‍රශ්ණයක් තිබේ. එනම් අද රෝහණ විජේවීර රුසියාවෙන් වෛද්‍ය උපාධියක් ලබා ගෙන පැමිණිය හොත් ජවිපෙ ඔහුගේ උපාධිය පිළිගන්නේ ද යන්නයි.
විජේවිරට ලුමුම්බා සරසවියට ශිෂ්‍යත්වයක් ලැබුණේ ඔහු අති දක්ෂ ශිෂ්‍යකු නිසා නොවේ. ඔහුට මෙරට වෛද්‍ය විද්‍යාලයකට ඇතුලු වීමට අවශ්‍ය ලකුණූ නොතිබූ නිසාය. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුත්තකට අදාළව මැරවර පිරිසකගෙන් ගුටිකා ඔත්පලවී සිටි නිසාය.
හරි විදිහට නම් ජවිපෙ අද නායකයින්ට සිය ආරම්භක නායකයාට විරුද්ධවත් පෙළපාලි යෑමට සිදුවීමට ඉඩ තිබේ.
තනි වචනයකින් කියන්නේ නම් සයිටම් විරෝධය කුහකත්වයකි.
සෑම වසරකම දහස් ගණන් මෙරට තරුණ පිරිස් විදේශීය වෛද්‍ය විද්‍යාලවලට ගොස් උපාධි ලබා ගනිති. බොහෝ දේශපලනඥයින්ගේ දරුවන් උපාධි ලබා ගැනීමට යන්නේත් එවැනි එතෙර සරසවිවලටය. ජී.එල්. පිරිස්ගේ දුව වෛද්‍යවරියක් විමට ඉගෙන ගත්තේ නේපාලයේය!
මට තේරුම් ගත නොහැකි කාරණය නම් දහසින් බැඳි පියළි ගෙවා විදේශ රටවල විවිධාකාර වෛද්‍ය විද්‍යාල මගින් වෛද්‍ය උපාධිය ලබා ගෙන විත් මෙරට විභාගයකට මුහුණ දී වෛද්‍යවරුවීමට අයිතියක් ඇත්නම් මෙරට දී මුදල් ගෙවා ඉගෙන ගන්නා සයිටම් වෛද්‍ය සිසුන්ට එම අයිතිය නොදිය යුත්තේ මන්ද යන්නයි.
රජයේ වෛද්‍ය සංගමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය සහමුලින්ම අතාර්කික නැත්ද? විරුද්ධ නම් කරුණාකර ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය විදාලයන්ගෙන් බාහිර උපාධි ලබා ගන්නා සියලු දෙනාට මෙරට වෛද්‍ය සේවයේ යෙදීමට විරුද්ධ වන්න. එවිට මේ අරගලය වෙනත් මුහුණුවරක් ගන්නවා ඇත.
අනෙක මට තේරුම් ගත නොහැකි ප්‍රශ්ණය නම් මේ නීතිය වෛද්‍ය සිසුන්ට පමණක් ඇයිද යන්නයි. මුදල් ගෙවා ලබා ගන්නා අනෙක් උපාධි සාධාරණ නම් ඇයි සියිටම් උපාධියට විරුද්ධ වෙන්නේ?
රජයේ වෛද්‍ය සංගමයේ සාමාජිකයින් කී දෙනෙකුගේ දරුවන් එතෙර වෛද්‍ය විද්‍යාලයන්හි ඉගෙන ගනිමින් සිටිනවා ඇත්ද? මහත්වරුනි කරුණාකර කියන්න. සයිටම් විරෝධී සටනෙහි කිසිදු තර්කානුකුල සාධාරණත්වයක් නැත. ඒ බව හොදටම පෙනෙන්නේ ඒ සඳහා අවසර දුන් රාජපක්ෂද දැන් සයිටම් විරෝධී සටන්කරුවකු බවට පත්ව සිටීමෙනි.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම අප සැම දෙනාගේ වගකීම සහ යුතුකම වේ. ඇත්ත වශයෙන්ම නම් අද අවශ්‍ය වන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ මෙන්ම ගුණාත්මක මට්ටමින් ඉහළ නිදහස් අධ්‍යාපනයක් පිහිටුවා ගැනීමේ අරගලයකි.
විශේෂයෙන්ම නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නාමයෙන් අද බෙහෝ දුරටම මෙරට පවතින්නේ ගුණයෙන් බාල නූතන ලෝකයේ වෘත්තීයම අභියෝගයන්ට මුහුණ දිය නොහැකි ලාබ අධ්‍යාපනයකි.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිය කටපාඩම් කරමින් ලබා ගන්නා එකක් මිස ඥානය සහ තර්ක බුද්ධිය දියණු කිරීම මගින් ලබා ගන්නා එකක් නොවේ. අප ඇත්ත වශයෙන්ම නම් සටන් කළ යුත්තේ අපේ අධ්‍යාපන ක්‍රමයේ සමස්ත වැඩි දියුණුව උදෙසාය. නිදහස් අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් ඉහළට ගෙන ඒම උදෙසාය.
විශ්වවිද්‍යලයන්හි තිරශ්චීන නවක වධය පවත්වාගෙන යන, සිප ගැනීමේ දර්ශනයක් නිසා නාට්‍යකට හූ කියන, සරසිවයෙන් පිටව යන විට වීදි සටන් සඳහා ඇඳි රතු කමීස කුණූ කූඩයට දමා යන ශිෂ්‍ය සංගම් සහ ඔවුන් ඒ පිටුපස සිටින පාටින් පමණක් රතු දේශපාලනඥයින්ගෙන් හෝ කවරදාකවත් එවැනි ව්‍යාපරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔවුන් ජිවත්වන්නේ අතාර්කික, බොළඳ සහ කුහක ලෝකයකය.
පව්!