Tuesday, July 16, 2024

හම්බන්තොටින් පස්සේ…. – සුනන්ද දේශප්‍රිය

පින්තූරය: හම්බ්න්තොට භික්ෂු විරෝධය ප්‍රචන්ඩ වීමට පෙර.
හම්බන්තොට රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියෙහි සුදු අලියා බවට පත්විය. දැන් රනිල් වික්‍රමසිංහ දේශපාලන ව්‍යාපෘතියෙහිද වැදගත්ම මංසන්දියක් බවට පත්වීමට ඉරණම් ලබා ඇත්තේ හම්බන්තොටම බව පෙනේ.

ඊළඟ පස් වසර තුළ ඩොලර් බිලියන පහක් එනම් රුපියල් බිලියන 750ක් මෙරට ආයෝජනය කිරීමට තම රට සූදානම් බව චීන තානාපති හම්බන්තොටදී කියා සිටියේ අගමැති වික්‍රමසිංහගේ ආරාධිතයකු ලෙස වරාය ව්‍යාපෘතියට සහභාගි වෙමිනි. එවැනි මහා පරිමාණ ආයෝජනයක් කුමන රටකට වුවුත් කලාතුරකින් ලැබෙන අවස්ථාවකි.

මෙම ව්‍යාපෘතියට එරෙහිව රාජපක්ෂවරුන් විසින් උසිගන්වන ලද පිරිස් පැමිණ සිටියේ මරාගෙන මැරෙන සටනකටය. සමහර විට එය 2017 වසරෙහිදී බලය අල්ලා ගැනිමේ රාජපක්ෂ මෙහෙයුමේ ප්‍රථම වෙඩි හඩ ලෙස ඔවුන් එය සැළකුවා විය හැකිය. රාජපක්ෂවරු සිය සංඝ සේනාවද මාධ්‍ය සේනාවද ඒ සඳහා කැඳවා තිබුණි. මාධ්‍ය සේනාව ගුවනින් ජායරූප ගැනීමට ඩ්‍රෝනද රුගෙන විත් තිබුණි. රාජපක්ෂ සංඝ සේනාව පහරදීම පිනිස ගල්මුල් අසුලා ගන්නා ජායාරූප විදෙස් මාධ්‍ය විසින් පවා පළ කරන ලදී.

එමෙන්ම ස්වකීය පාක්ෂිකයින් ලවා විපක්ෂ විරෝධතාකරුවන්ට පහර දීමේ සිය පැරණි මර්දනකාරී දේශපාලනයට යූඇන්පිය හම්බන්තොටදී යළි පණ දුන්නේය. යූඇන්පී තරුණ මංත්‍රීවරයකු වන මරික්කාර් ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හෝ විපක්ෂ විරෝධතා වැලැක්විය යුතු බව ප්‍රසිද්ධියේම කීවේය.

යූඇන්පීයේ ආර්ථික දේශපාලන පිළිවෙත් සමඟ සටන් කරන කවරකු වේවා තමන්ට තව වසර කිහිපයකදී එවැනි ගල් සහ මුල් වලට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි නොසිතිය යුතුය. එබැවින් කවර පාර්ශවයකින් පැමිණියද මෙවැනි ප්‍රචන්ඩත්වයන් හෙළා දැකීමත් ඊට විරුද්ධවීමත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ යුතුකමකි.

හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් කැරෙන්නට නියමිත දැවැන්ත චීන ආයෝජනයන්හි සමාරම්භක උත්සවයට ජනාධිපති සිරිසේන ගියේ නැත. ඉන් දින තුනකට පසු කැප්පිටිපොළ දේශපාලන ව්‍යාපෘතිය දියත්කරමින් ‘මෙරට හොල්මන් කරන විදේශීය බලවතුන්ට තමා ඉඩ නොදෙන බවත් අද අවශ්‍ය කරන්නේ හිස් කතා නොව දේශප්‍රේමීන්ගේ හදවතින් එන කතා බවත්’. ජනාධිපති සිරිසේන කීවේ වෙල්ලස්සට නුදුරින් පිහිටි හම්බන්තොටටද ඇසෙන පරිදි විය යුතුය. එම කැප්පිටිපොළ උත්සවයෙහි ප්‍රධාන දේශණය කළ මහාචාර්ය කේ.එන්.ඹ්. ධර්මදාස මෙසේ කීවේය. ‘කැප්පිටිපොලත් ඉංග්‍රීසීන් සමඟ නුවර ගිවිසුමට අත්සන් කළ නමුත් පසුව එහි වරද වටහා ගෙන සටන් මඟ ගත්තා’.

සමහර විට එවැනි එක් විදේශීය බලවතකු වන යුරෝපීය සංගමය ශ්‍රී ලංකාවට සතියක් ඇතුළත ජීඑස්පී පල්ස් බදු සහනය ලැබෙන බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළේද ජනාධිපති සිරිසේනමය.

මහාචාර්ය කේ.එන්.ඹ්. ධර්මදාසගේ ඉහත කී ප්‍රකාශයෙහි යටි අරුතක් ඇත්ද නැත්ද යන්න තේරුම් ගැනීමට වැඩි කාලයක් ගත නොවීමට ඉඩ තිබේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය තවත් වැදගත් සිදුවීමක් සටහන් කළේය. ඒ කළකින් නොදුටු වාග් වාතූර්යක් පෙන්නුම් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න රාජපක්ෂවරුන්ට එරෙහිව දියත් කළ ප්‍රහාරයයි. දේශපාලන බර ආයුධ ආයුධ යොදා ගනිමින් හතර අතටම පහර දෙමින් ඔහු රාජපක්ෂ සේනාවන්ට දැනෙන ලෙස මන බදනා ප්‍රහාරයක් දියත් කළේය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන මුසාබස්හි රෙදි ගැලවීම පිනිස අවශ්‍ය කරන්නේ එවැනි මල්ටි බැරල් ප්‍රහාරයන්ය. ඔහු මෙසේද කී බව සදහන් කළ යුතුය. ‘කව්රු නාවත් මෙම වැඩ පිළිවෙළ ඉදිරියට යනවා’.

සිය පාක්ෂිකයින් ලවා රාජපක්ෂවාදී විරෝධතාකරුවන්ට ගල් ප්‍රහාර එල්ල කරනු වෙනුවට කළ යුතුව යූඇන්පිය කළ යුතුව තිබුණේ එවැනි දේශපාලන ප්‍රහාරයන් මගින් උසිගැන්වුනු පිරිස් අඩපන කිරීමයි. එමෙන්ම රාජපක්ෂවාදී පිරිස්හි ප්‍රචන්ඩත්වය රටටම සහ වීනය ඇතුලු ලෝකයාට පෙන්විය හැකි පරිදි වාර්තා කර ගැනීමයි. ඒ වෙනුවට යූඇන්පිය සිය පරණ පුරුදු ගල්මුල් දේශපාලනයට බැසීමේ වාසිය අවසානයේදී අත් වන්නේ රාජපක්ෂවරුන්ටමය. එබැවින් ගල්මුල් සහ අධර්මයෙන් මුහුණ දීමේ මෙම පිළිවෙත උපන්ගෙයිදීම අවසන් කිරීමට යූඇන්පී නායකත්වය විසින් පියවර ගැනීම අත්‍යවශයය.

හම්බන්තොට චීන- ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සහ එහි ඇතිවූ කළහකාරී තත්වය ගැන පාර්ලිමේන්තුවෙහි ඇතිවූ සාකච්ජාවෙහි අගමැති වික්‍රමසිංහගේ හැසිරීමද එම කළහයේම කොටසක් බවට පත්විය. ඔහු විහිළුකරමින් හඩනගා තර්ජනාත්මකව කතා කළේ අගමැතිවරයකු සතුවිය යුතු නිහතමානී සහ සාරගර්භ බවින් තොරවය. ඔහුගේ කතාවට ප්‍රතිචාර දැක්වූ වමල් රාජපක්ෂ මහතා ඉතා සන්සුන්ව සිය අදහස් නිරවුල්ව ප්‍රකාශ කළේ වික්‍රමසිංහට පාඩමක් වන පරිදිය. චමල්ගෙන් බැරි නම් ඩේවිඩ් කැමරන් හෝ නරේන්ද්‍ර මෝඩිගෙන් හෝ අගමැතිවරයකුගේ හැසිරීම ඉගෙන ගැනීම නුවනට හුරුය.

හම්බන්තොට වීන – ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ මෙම සමාරම්භක උත්සවය ජනාධිපති ඇතුලු ශ්‍රීලනිපය වර්ජනය කළ බව දැන් රහසක් නොවේ. ශ්‍රීලනිපයෙන් එහි ගියේ ‘අප්පච්චි මළා’ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන අමාත්‍ය විජිතමුනි සොයිසා පමණි. ජනවාරි 07දාට යෙදුණු හම්බන්තොට උත්සවය වර්ජනය කළ ශ්‍රීලනිපය ඊට පසුදාට යෙදුණූ ලසන්ත වික්‍රමතුංග අනුස්මරණයද වර්ජනය කළ බවක් පෙනෙන්නට තිබුණි. එකද ශ්‍රීලනිප මැති ඇමැතිවරයෙකු හෝ බොරුල්ල කනත්තේ පැවැති එම චාම් සැමරුමට පැමිණියේ නැත. ජනාධිපති වෙනුවෙන් එහි මලක් තබා ලසන්තට ගරු කිරීමට එවන්නට කිසිවෙක් ශ්‍රීලනිපයේ සිටියේ නැත්ද? ජනාධිපතිවරණ වේදිකාවෙහිදී නම් කිසිවකුට ලසන්ත අමතක වූයේ නැත.

ලසන්ත වික්‍රමතුංගගේ මළ සිරුර පරීක්ෂන පිනිස යළි ගොඩ ගත් අවස්ථාවෙහිද ඩ්‍රෝනයක් ගුවනට යවා රහිසගතව ජායාරූප ගැනීමට තැත් කළේ හම්බන්තොටදීද නිසි ක්‍රියාපාරිපාටියකින් තොරව ඩ්‍රෝනයක් ගුවනට නැංවූ රාජපක්ෂවාදී හිරු නාලිකාවමය. ඇදගෙන නෑම පුරුද්දක් බවට පත් කර ගෙන සිටින ආණ්ඩුව එම ඩ්‍රෝනය අත් අඩංඟුවට ගත්තේය. එම පියවර ජනමාධ්‍ය මර්දනයක් ලෙස ප්‍රචාරය වන විට
ජනමාධ්‍ය සඳහා ඩ්‍රෝන පාවිච්චිය පිළිබඳ ආණ්ඩුවේ මඟ පෙන්වීම් ඇති බව තොරතුරු අමාත්‍යාංශයට මතක් විය.

එකී මඟ පෙන්වීම් නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ එනම් 2016පෙබරවාරී මාසයේදී බව තොරතුරු අමාත්‍යාංශයේ නිවේදනයෙන් දැක්වුනි. එනමුත් සිවිල් ගුවන් අධිකාරියේ වෙබ් අඩවියට අනුව ඩ්‍රෝන භාවිතය සඳහා දක්වා ඇති එකී ප්‍රමිතීන් බලාත්මක කර ඇත්තේ 2017 ජනවාරි 10දා සිට පමණය. ඒ කියන්නේ හම්බන්තොටින් දින තුනකට පසුය. තවද ජනමාධ්‍යට බලපවත්වන මෙම ප්‍රමිතීන් පැනවීමට පෙර අදාළ අංශ සමඟ ආණ්ඩුව කිසිදු සාකච්ජාවක් කළේ හෝ එම ප්‍රමිතීන් පිළිබඳව ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන හෝ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුනේද නැත. අඩුම වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයවත් මෙම ප්‍රමිතීන් ගැන දැන සිටි බවක් පෙනෙන්නට නැත.

හම්බන්තොටින් දින හතරකට පසු මොරගහකන්ද ජලාශය පිරවීම ජනාධිපති වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලදී. රූපවාහිනී සහ පුවත්පත් වාර්තා අනුව මෙම උත්සවයට අගමැති වික්‍රමසිංහගේ පාර්ශවයෙන් කිසිවකු සහභාගි වී නැත. හම්බන්තොට සිට එහි පැමිණ සිටියේ චීන තානාපතිවරයා පමණි. මන්ද යත් චීනය මෙම ව්‍යාපෘතියටද සම්බන්ධ නිසාය. ඊට දිනකට පෙර වෙල්ලසසෙහිදී නව විජිතවාදීන් ලෙස හදුන්වන ලද රටවලට මෙම තානාපතිවරයාත් අයත් ද?

හම්බන්තොටින් දෙදිනකට පසු රුස්වූ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව යහපාලන සභාග ආණ්ඩුව මුහුණ දෙනු ඇති කාල බෝම්බය ඇටෙව්වේය. එනම් විධායක නව ව්‍යවස්තාවක් නොව අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංසෝධනයක් පමණක් බවත් ජනාධිපතිධූරය අහෝසි නොකළ යුතු බවත් ජනාධිපති සිරිසේන ශ්‍රීලනිපයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවත්ය.

ඒ ගැන පසුව කතා කරමු.

Archive

Latest news

Related news