Sunday, November 24, 2024

නීති මගින් පමණක් දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළ හැකි ද? – පැරකුම් ජයසිංහ

 කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වී තරග කිරීමට මැලිකමක්‌ දක්‌වන බැවින් දේශපාලන පක්‍ෂවලින් නම් කරන කාන්තාවන් පාර්ලිමේන්තුවට පත්කිරීමට අවස්‌ථාව සලසන ක්‍රමවේදයක්‌ පිළිබඳව සාකච්ඡාවට භාජන වී තිබේ යෑයි උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය වසරේ අගභාගයේ දිනෙක මහනුවරදී පැවසීය.

මේ පිළිබඳව දැනට සිදු වෙමින් තිබෙන ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ද අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ක් අතර කාන්තාවන් සිටින්නේ 13ක් පමණි.

පළාත් සභාවල කාන්තා නියෝජනය 4%ක් පමණ වේ. කාන්තාවක ඇමති තනතුරක් හොබවන්නේ නැගෙනහිර පළාත් සභාවේ පමණි (ආරියවතී ගලප්පත්ති).  පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2%ක් පමණ විය.

ලෝක ආර්ථික සංසදයේ 2015 ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකයේ රටවල් 145ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වුණේ 84වන ස්ථානයයි.

මෙම දර්ශකයෙහි නීති සම්පාදකයන්, ජ්‍යේෂ්ඨ නිලධාරින් හා කළමනාකරුවන් අතර කාන්තාවන් සිටින ප්‍ර‍තිශතය සැලකිල්ලට ගත් විට ශ්‍රී ලංකාව සිටින්නේ 88වන ස්ථානයෙහි ය.

පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව පැත්තෙන් ගත් කල අප සිටින්නේ 136වන ස්ථානයෙහි ය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් පමණ වීම එයට හේතුවයි.

ශ්‍රී ලංකාව 1948දී නිදහස් රාජ්‍යයක් බවට පත් වීමෙන් අනතුරුව වසර 23ක් ම රටේ රාජ්‍ය නායකත්වය කාන්තාවන් අත තිබිණි. වසර 1960-65 (සිරිමාවෝ බණ්ඩාරනායක), 1970-77 (සිරිමාවෝ බණ්ඩාරනායක) සහ 1994-2005 (චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග) සමයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නායකත්වය හෙබවූයේ කාන්තාවන් ය. එහෙත්, එමගින් දේශපාලනයේ කාන්තා නියෝජනය තුළ සැලකිය යුතු ව්‍යූහාත්මක වෙනස්කම් සිදු වූයේ නැත.

ශ්‍රී ලාංකික කාන්තාව රටේ ආර්ථිකයට විශාල මෙහෙයක් කරයි. රටේ ප්‍ර‍ධාන ආර්ථික කුළුණු වන විදේශ රැකියා, ඇඟලුම් හා වැවිලි කර්මාන්තයෙහි ප්‍ර‍ධාන ශ්‍ර‍ම දායකත්වය සපයන්නේ කාන්තාවන් ය. එසේම, විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 60%ක් පමණ ද කාන්තාවන් වේ.  රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 40% ඉක්මවයි. පළාත් සභා සේවය තුළ සිටින රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 59.7%කි.

2014 වන විට අමාත්‍යාංශ ලේකම්වරුන් අතරින් 20%ක් කාන්තාවන් වූ හ. සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු අතරින් 59.6%ක් ම හෙබවූයේ කාන්තාවන් විසිනි. එහෙත්, අති බහුතරයක් (73.2 %) කාන්තාවන් සේවයේ නියුතුව සිටින ගුරු වෘත්තිය තුළ විදුහල්පතිනියන් සිටියේ 20%ක් පමණි. එහෙත්, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් තුළ කාන්තා ප්‍ර‍තිශතය පිරිමි ප්‍ර‍තිශතයට ආසන්න මට්ටමක තිබේ. එවැනි පසුබිමක කාන්තාවන්ට තීරණ ගැනීමේ ව්‍යූහයන් තුළ නිසි තැන ලබා දීම අතිශය වැදගත් වේ.

පළාත් පාලන ආයතන නියෝජනයෙන් 25%ක් කාන්තාවන්ට වෙන් කිරීම සඳහා ආණ්ඩුව දැනටමත් නීති සම්පාදනය කර තිබේ. එහෙත්, ශ්‍රී ලංකාවෙහි දේශපාලනයෙහි දැනට පවතින තත්වයන් වඩා කාර්යක්ෂම කාන්තාවන් දේශපාලනය වෙත ආකර්ශනය කර ගැනීමට ඉවහල් නො වීමට ඉඩ ඇත. එබැවින් දේශපාලනයෙහි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම හුදෙක් ම නීති ප්‍ර‍තිසංස්කරණ මගින් පමණක් කළ නො හැකි ය.

Archive

Latest news

Related news