Tuesday, April 16, 2024

පොලිස් කුණුහරුප වීඩියෝ කළ තරුණයකුගේ ජංගම දුරකථනය අත් අඩංගුවට

පින්තූරය: මහජන උද්ඝෝෂනය.

අසභ්‍ය වචන කියමින් පොලීසිය විසින් මහ ජනයා එළවා දමනු වීඩියෝ ගත කළ තරුණයකු ‍‍‍‍අත් අඩංඟුවට ගත් පොලීසිය ඔහුගේ ජංගම දුරකථනයේ වූ එකී වීඩියෝ මකා දමන ලද බව ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි.

එම වාර්තාව පහත පළවේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (03) පැවති රැස්වීමකට සහභාගි වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ, හූ සංග්‍රහයක් මධ්‍යයේ පළායාමට සිදුවිය.
නුවර කොළඹ අධිවේගී මාර්ගයේ පළමු අදියරෙන් අගතියට පත් වන ජනතාව සමඟ ලක්ෂ්මන් කිරිඇල්ල සහ රුවන් විජයවර්ධන ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවති අතර එයින් අනතුරුව මෙම සිදු වීම සිදුවිණි.

අදාළ සිදුවීම  සිදුවන අවස්ථාව වන විට රුවන් විජයවර්ධන ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියෙන් පිටව ගොස් තිබිණි.

සාකච්ඡාව අවසන් වූ පසුව තමන්ගේ ඉඩම් අසාධාරණ ලෙස තක්සේරු කර ඇති බව පවසමින් කඩවත සිට මීරිගම දක්වා පදිංචි වී සිටින ජනතාව විසින් උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදී. එම උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබූ අතරතුර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කච්චේරියෙන් පිටව යන අවස්ථාවේදී මහජනතාව ඇමතිතුමාගේ වාහනය වටකරමින් ‘අගමැතිතුමා එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරන හොරා’ යනුවෙන් කෑ ගසමින් ඇමතිවරයාගේ වාහනය නවත්වාගෙන තිබේ.

විනාඩි පහක පමණ කාලයක් වාහනය නවතා තැබීමට සිදු වූ අතර පොලිස් නිළධාරීන්ගේ මැදිහත්වීම මත කිරිඇල්ල ඇමතිවරයා පිටව ගියේය.

එමෙන්ම ඇමතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටි අවස්ථාවේදී සාකච්ඡාව පැවැත්වූ ශාලාවෙන් පිටත ද විශාල ජනකායක් රැස් වී සිටි අතර එම ජනතාවට පොලිස් නිළධාරීන් විසින් අසභ්‍ය වචන කියමින් එළවා දමන ලදී. මෙම සිදුවීම තම ජංගම දුරකථනයේ රෙකෝඩ් කරගනු ලැබූ ගණේමුල්ලේ පදිංචි තරිඳු නම් තරුණයාව පොලිස් භාරයට ගෙන ඔහුගේ ජංගම දුරකථනයේ වූ සියළු වීඩියෝ දර්ශන මකා දමා ඇති බව ද වාර්තා වේ.

එම අවස්ථාව ආවරණය කිරීමට ගොස් සිටි ලංකා නිව්ස් වෙබ් මාධ්‍යවේයාද පොලිස් භාරයට ගෙන ඇති අතර පසුව නිදහස් කර තිබේ.

ලංකා නිව්ස් වෙබ් සමඟ අදහස් දැක් වූ තරිඳු මෙසේ ප්‍රකාශ කළේය.

‘මුලින්ම මං මෙතනට ආවේ දෙකට කාලක් විතර තියලා. ඒ් වෙලාවේ කට්ටිය ඇතුළට යන්න හදනකොට ඇතුළට යන්න දුන්නෙ නෑ. ඊට පස්සෙ ඒ මිනිස්සුන්ට පොලීසියෙන් හොඳටම බනින්න ගත්තා. ඒ සේරම මං වීඩියෝ කළා. ඊට පස්සෙ පොලිස්කාරයෙක් ඇවිත් මගේ අයිඩින්ටිය ඉල්ලුවා. මං මගේ ලයිසන් එක එයාට දුන්නා. ලයිසන් එකේ පිංතූරයක් අරන් ෆෝන් එකේ තිබ්බ වීඩියෝ ටිකයි ෆොටෝස් ටිකයි සේරම ඩිලීට් කරලා දැම්මා. – උඹ ෆේස් බුක් දාන්න නේද වීඩියෝ කළේ – කියලා තරහෙන් ඇහුවා. මං කිව්වා ඔව් කියලා.’

සිදුවීමෙන් අනතුරුව අදහස් දැක් වූ මහජනතාව ප්‍රකාශ කළේ සංවර්ධන කටයුතු සිදුකිරීමේදී සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් සිදු නොවිය යුතු බවයි. ආණ්ඩුව තමන්ගේ ඉඩම් අඩු වටිනාකමකට අත්පත් කරගැනීමට උත්සාහ කරන බවත් එහෙත් ඒ සඳහා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් ඉඩම් හිමියෝ පවසති. සංවර්ධන කටයුතු සඳහා කිසිදු විරෝධයක් නොමැති වුවද ඉඩම් අත්පත් කරගැනීමේ අසාධාරණ ක්‍රමවේදයට විරෝධය පළ කරන බවයි ඔවුන් පවසන්නේ.

ඇමතිවරයා හමුවී තමන්ට සිදුවී ඇති අසාධාරණය පැහැදිලි කිරීමට මෙම ස්ථානයට පැමිණි බවත් එහෙත් පොලීසිය මැදිහත් වී තමන්ට එම අවස්ථාව අහිමි කළ බවත් ඔවුන් පෙන්වා දෙයි. තමන්ට සාධාරණයක් ඉටු කරන තෙක් තම ඉඩම්වලින් ඉවත් නොවන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

බාසුරු ජයවර්ධන /LNW

Archive

Latest news

Related news