Thursday, April 25, 2024

“පුණ්‍යායතන භූමිය පොලිසියෙන් මුදාදෙන්න”

ජායාරූපය: 1990 වසරේ සිට වරින්වර හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය වැනි ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් සහිත අදාළ ඉඩම මේ වන විට පොලිසියේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනෙයි.

මඩකලපුව ‘මයිලම්බාවේලි’ ප්‍රදේශයේ පුණ්‍යායතනයකට අයත් පොලිසිය විසින් දැනට පාවිච්චි කරනු ලබන ඉඩමක් නිදහස් කරන ලෙස ඉල්ලමින් එම පුණ්‍යායතනයෙන් සහනය ලද කාන්තාවන් ද ඇතුළු කණ්ඩායමක් බලධාරීන් දැනුවත් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

මඩකලපුව වාලච්චේනේ මාර්ගයේ පිහිටි මයිලම්බාවේලි පොලිස් මුරපොල ඉදිරිපිට අද (දෙසැ.31) එම විරෝධතාව පැවැත්විණි.

අදාළ ඉඩම නිදහස් නොකිරීම හේතුවෙන් යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් සියයකට වැඩි පිරිසකගේ ජීවනෝපාය නගා සිටවීම සඳහා සැලසුම් කෙරුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇතිබව ”ස්වාමි රාමදාස්” පුණ්‍යායතනය පවසයි.

යුද්ධය අවසාන වීමත් සමග අදාළ ඉඩම ද ඇතුළු ඒ ආසන්නයේ පිහිටි ඉඩම් කීපයක් තම ආයතනය විසින් මිල දී ගනු ලැබූ බව එම පුණ්‍යායතනයේ කළමනාකරු රාජදුරයි මුරුගදාස් සඳහන් කළේය.

ළමා නිවාසයක් සහ ගොවිපළක් පවත්වා ගෙන යන ”ස්වාමි රාමදාස්” පුණ්‍යායතනය යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් නිවාස සාදා දීම ද සිදු කරයි.

_93192656_999

යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවෝ පුණ්‍යායතනය විසින් පවත්වා ගෙන යනු ලබන ගොවිපළේ සේවය කරති.

පුණ්‍යායතනය විසින් දියත් කරනු ලැබ ඇති ව්‍යාපෘති තම ජීවිකාව කරගත් කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් ඇතුළු පිරිසක් විරෝධතාවට එක් වී සිටියහ.

“මේ පුණ්‍යායතනයේ කාර්යාලයේ මම වැඩ කරන්නේ. අපි හරි දුප්පත්. ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නේ මෙතන වැඩ කරලා. මට එක ළමයයි ඉන්නේ. අනිත් දරුවො යුද්ධයේ දී මිය ගියා. මගේ සැමියාටත් රැකියාවක් කරන්නට බැහැ. මෙතනින් හම්බ කරලා තමයි – ඔහුටත් මම කන්න දෙන්නේ,” විරෝධතාවට එක්ව සිටි මවක්, එස් රාසම්මා කියා සිටියාය.

“මේ ආයතනයට තවත් ඉඩම් තිබුණා නම් අපට ඒවායේ වැඩ කරන්න පුළුවන්. මේ ආයතනය අපට ගොඩක් උදව් කරනවා. හොඳින් බලා ගන්නවා. දවසට දෙවේලක් කෑම ලබා දෙනවා. ගෙවීමකුත් කරනවා.” ඇය පවසන්නීය.

1990 වසරේ සිට වරින්වර හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය වැනි ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් සහිත අදාළ ඉඩම මේ වන විට පොලිසියේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනෙයි.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news