Sunday, May 12, 2024

ඥාණසාරගේ වර්ගවාදය ජනපති මාධ්‍ය එකකයෙන් – පා.ම. මුජිබර් රහ්මාන්

ජායාරූපය: පා.ම. මුජිබර් රහ්මාන්.

ගලගොඩ අත්තේ ඥානසාර නමැති වර්ගවාදී චීවරධාරියා මුස්ලිම් ජනතාවට එරෙහිව කරන ලද ප්‍රකාශ රැගත් වීඩියෝවක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රචාරය කිරීමට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ පිටපතක් පහත දැක්වේ.

2016 දෙසැම්බර් 26,
ජනාධිපති,
අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ-01.

අතිගරු ජනාධිපතිතුමණි,

ජාතිවාදි පුද්ගලයින්ගේ පදනම් විරහිත අදහස් ජනතාව අතරට ගෙන යන ජනපති මාධ්‍ය එකකයේ කටයුතු සම්බන්ධවයි.

පසුගිය 2016/12/22 වන දින ජනාධිපති නිල මන්දිරයේ පැවති ඓතිහාසික පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම පිළිබඳ සාකච්ඡාවේදී බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මුස්ලිම් ජනතාව පිළිබඳවත්, ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳවත්, පදනම් විරහිත සාවද්‍ය තොරතුරු කීපයක් ද්වේෂ සහගතව ඔබතුමා ඉදිරිපිටදීම ප‍්‍රකාශ කර තිබුණි.

මෙරටේ සුළු ජාතික ජන කොටස් වලට විශේෂයෙන්ම මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ද්වේශ සහගතව ජාතීන් අතර විරසක ඇති කිරීමේ පරමාර්ථයෙන් විෂමාචාර ප‍්‍රචාරයන් ගෙන යන ඥාණසාර හිමියන් එම සාකච්ඡාවේදී මෙරටේ පුරාවිද්‍යා වටිනාකමින් යුතු ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන විනාශ කිරීම සඳහා ඉස්ලාම් දහම මුස්ලිම්වරුන්ට උගන්වන බවට ඉතාමත් බරපතල චෝදනාවක් මුස්ලිම් සමාජයට එරෙහිව එල්ල කර තිබුණි. එම අභූත චෝදනාව ඉදිරිපත් කළේද ඔබතුමා ඉදිරිපිටදී ය. ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සුළු ජාතික ජන කොටසකට එරෙහිව ඥාණසාර හිමියන් ඔබතුමා ඉදිරිපිටදීම කල ඒ විෂම චෝදනාව අඩංගු වීඩියෝ තැටිය මේ වන විටත් ජනපති මාධ්‍ය අංශය විසින් සියළු මාධ්‍යවලට මුදාහැර තිබේ.

මෙරටේ ජාතීන් අතර සමගිය සහජීවනය ඇති කර යහපාලන රජයක් තුළින් ජාතිවාදය මුලිනුපුටා දැමීමට දිවා රෑ නොබලා ඔබතුමා කටයුතු කරන අතරතුර ඥාණසාර හිමියන් සුපුරුදු ආකාරයටම ඉදිරිපත් කල උන්වහන්සේගේ පෞද්ගලික මතය ඔබතුමාගේ මාධ්‍ය අංශය විසින්ම ජනතාව අතර ප‍්‍රචාරය කිරීමේ කටයුත්තේ යෙදී සිටීම පිළිගත හැකි ක‍්‍රියාවක් නොවන අතර ජාතීන් අතර හිඩැස තව තවත් පුළුල් කරන ක‍්‍රියාවකි. ජනපති මාධ්‍ය ඒකකය විසින් කරනු ලබන මෙම වගකීමෙන් තොරවූ ක‍්‍රියාව ඔබතුමාගේ බලාපොරොත්තු අභිලාශයන් සුනුවිසුනු කරන්නට තරම් බරපතල ක‍්‍රියාවක් බවද කිව යුතුය.

එම නිසා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මෙම වීඩියෝ පටය මගින් නැවත ජාතිවාදීන් පෝෂණය කරන බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. එබැවින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මෙම ක‍්‍රියාව පිළිබඳව පරීක්‍ෂණයක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි

ස්තුතියි…!

මුජිබර් රහ්මාන්
පාර්ලිමේන්තු මන්ත්‍රී

– LeN

Archive

Latest news

Related news