Monday, May 20, 2024

ආරක්ෂක ලේකම් දුර්වලයි; උසාවියේදී මුණ ගැහෙන්න අපි සූදානම්! – සමන් රත්නප්‍රිය, පුරවැසි බලය

ආරක්ෂක ලේකම්වරයා විසින් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා පුරවැසි බලය සිවිල් එකතුවෙහි ප්‍රධානියකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට ආරක්ෂක ලේකම් කරුනාසේන හෙට්ටිආරච්චි විසින් එවන ලද එන්තරවාසියට මුහුණ දිමට තමන් සූදානම් බව පුරවැසි බලය පවසයි. එහි සම කැඳවුම්කරුවකු වන සමන් රත්නප්‍රිය මේ බව ප්‍රකාශ කලේ පසුගිය 22 දින පැවැති පුරවැසි බලය පුවත්පත් සාකච්ජාවේදීය.

මෙවැනි එන්තරවාසි මෙයට පෙරත් තමන්ට ලැබි ඇති බවත් වරක් ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානී නිස්සංක සේනාධිපති විසින් ද මිටත් වැඩි මුදලක් ඉල්ලා එවන ලද එන්තරවාසියට මුහුණ දීමට තමන් සූදනම් වූ නමුත් ඉන් පසුව සිදුවූ දෙයක් නැති බවත් ඔහු කීවේය. ආරක්ෂ ලේකම් හෙට්ටිආරච්චි දුර්වල නිලධාරියකු බව තමා අද පවා කියා සිටින බවත් රත්නප්‍රිය කීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට සිවිල් සමාජ සංචිධාන කළ කාර්ය භාරය කිසිසේතම අවතක්සේරු කිරීමට තමන් ඉඩ නොදෙන බව කී ඔහු තැපැල් සේවක වර්ජනය දේශපාලන වර්ජනයක් බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරය හෙළා දැක්කේ ය. එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට ගෙන ඇති තීරණයට විරුද්ධත්වය පළ කළ රත්නප්‍රිය එසේ වුව හොත් වරාය අධිකාරිය පවත්වා ගෙන යෑම පවා ප්‍රශ්ණයක් වනු ඇති බව පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ විශාල නැව් ගෙන ආ හැකි මීටර් 16 තරම් ගැඹුරක් ඇති නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිනීමට දැරෙන ප්‍රයත්නයන්ද ප්‍රශ්ණ කළ යුතු බවයි.

මෙරට ප්‍රජාතන්තවාදය තහවුරු කරමින් දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් සැපයෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පමා නොකළ යුතු බව කී රත්නප්‍රිය එවැනි ව්‍යවස්ථාවක් ජය ගැන්වීම සඳහා සිය උපරිම බලය යෙදවීමට පුරවැසි බලය සූදානම් බව කියා අවධාරණය කළේය. රාජපක්ෂවාදී අන්තවාදී ජාතිවාදින්ට යළි මෙරට බලය ගැනීමට ඉඩක් නොමැති බවත් අඩුපාඩු සාදා ගනිමින් ජනවාරි විප්ලවය ඉදිරියට ගෙන යෑමට තමන් කැපවන බවත් ඔහු අවධාරණය කළේය.

තමන් ආණ්ඩුවේ ඇමැති ධූරයක් ගන්නා බවට සත්හඩ පුවත් පත ප්‍රසිද්ධ කළ පුවත සිවිල් සමාජ ක්‍රියාධරයින් අපකීර්තියට පත් කිරීමේ කූඨ සැලැස්මක් බව කී රත්නප්‍රිය ඔවුන්ගේ අපේක්ෂාව ස්වාධීන සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති විනාශ කිරීම බවත් ප්‍රකාශ කළේ ය.

Archive

Latest news

Related news