Wednesday, July 17, 2024

නව විගණන පනත රටට ආශීර්වාදයක් -විගණකාධිපති

ජායාරූපය:  “ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදුකරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල”

අලුතින් ක්‍රියාවට නැංවීමට නියමිත නව විගණන පනත ශ්‍රී ලංකාවට සහ රටේ රාජ්‍ය සේවයට ආශීර්වාදයක් වනු ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

විගණකාධිපතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නව විගණන පනත සම්මත කර ගැනීම අතින් අනවශ්‍ය කාල ප්‍රමාදයක් සිදු වූ බව පෙන්වා දුන් විගණකාධිපති ගාමිණී විජේසිංහ, පසුගියදා ජනාධිපතිවරයාත් මෙම පනත ගැන පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වූ බව සඳහන් කරමින් එය ප්‍රමාදයකින් තොරව නීතිගත කෙරෙනු ඇතැයි තමා විශ්වාසකරන බවත් බීබීසියට කියාසිටියේය.

විගණන පනත මෙතරම් ප්‍රමාදවීමට හේතුව ඊට එරෙහිව එල්ල කෙරෙන ඇතැම් බලපෑම් බව තමාට දැනගන්නට ලැබී ඇති බවත් විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.
වෙනසක උවමනාව

“ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදුකරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල. විගණන පනතත් ඒ වගෙයි. අවුරුද්දක දී එහි අගය තේරේවි,” විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව පනත නීතිගත කරනු ලැබීම තවත් ප්‍රමාදයකින් තොරව ලබන අවුරුද්ද මුලදී සිදු කෙරෙනු ඇති බවට විගණකාධිපති ගාමිණී විජේසිංහ බලාපොරොත්තු පළකරයි.

“ආණ්ඩුවටත් වඩා රාජ්‍ය සේවයේ ඉහළ මට්ටම් වලිනුයි විගණන පනතට බිය පළවෙලා තියෙන්නේ,” ඔහු පැවසීය.

“විගණකාධිපති කියන්නේ රටේ ඉහළම මට්ටමේ සුපරීක්ෂාකාරී ආයතනය. කලින් එම කාර්යය පැවරුණ ආණ්ඩුවේ ගණකාධිකාරී අංශයත් නව පනත අනුව විගණකාධිපතිට යටත් කෙරෙනව. නව පනතට විරෝධය එල්ල වෙන්නේ ඒ නිසාය කියල දැනගන්න තියෙනව,” විගණකාධිපති ගාමිණී විජේසිංහ සඳහන් කළේය.
අලුත් සංස්කෘතියක්

තවදුරටත් අදහස් දක්වන විගණකාධිපතිවරයා ‘නව විගණන පනත යටතේ සමස්ත රාජ්‍ය සේවය විගණකාධිපති අධීක්ෂණයට ලක්වීම මගින් අලුත් සංස්කෘතියක් ගොඩනැගෙනු ඇතැයි’ තමා විශ්වාස කරන බවත් කියාසිටියේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින විගණන ක්‍රමවේදය පිළිබඳව යොමු වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ, දැනට පවතින ක්‍රමවේදය පසුගාමී වැඩපිළිවෙලක් වනබව සිය දැක්ම යයි සඳහන් කළේය.

“අපේ අණපනත් අලුත්වෙලා නැහැ. දැන් පවතින ඇතැම් නීති ඉංග්‍රීසි පාලන කාලයේ සකස් කළ ඒවා. ඒවා යල්පැන ගිහින්. යාවත්කාලීන වෙලා නැහැ. ඒවා වර්තමාන ලෝකයේ පරිගණක තාක්ෂනයට ගැලපෙන ආකාරයට සකස් වෙලා නැහැ,” විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බීබීසී සිංහල

Archive

Latest news

Related news