Sunday, May 19, 2024

ඔස්ට්‍රියානු ජනාධිපතිවරණයෙන් අන්ත ජාතිවාදී දක්ෂිනාංශික ජනතාවාදය පරදී! – සුනන්ද දේශප්‍රිය.

ජායාරූපය: ජයගත් අපේක්ෂක ෆන්  ඩෙර් බෙලන්; ඔහුගේ ජයග්‍රහණය යුරෝපයෙහි අනෙක් අන්ත ජාතාවාදී දක්ෂිනාංශික නායකයින්ට පාඩමකි.

බ්‍රික්සිට් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු යුරෝපයෙහි දක්ෂිනාශික ජනතාවාදී පක්ෂ ජයග්‍රහණය කරනු ඇතැයි යනුවෙන් වූ අනාවැකි පරදවමින් අද, එනම් දෙසැමිබර් 04වන ඉරිදා පැවැති ඔස්ට්‍රියාවෙහි ජනාධිපතිවරණයෙන් ම්‍යස්ථ මතධාරී ෆන් ඩෙර් බෙලන් ජයග්‍රහණය කළේ ය.

නට්සි සම්භවයකින් යුතු අන්ත දක්ෂිනාංශික  ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයේ අපේක්ෂක නෝර්බට් හොපර් සමඟ ඔස්ට්‍රියානු හරිත පක්ෂයේ සහාය ඇතිව තරඟ වැදී ජයගත්  72 හැවිරිදි ෆන් ඩෙර් බෙලන් හිටපු මහාචාර්යවරයෙකි. ඔහු හොපර්ට වැඩියෙන් ජන්ද සියයට 07ක් ලබා ඇතැයි ඉරිදා සැන්දෑවේදී වාර්තා විය. ඔහු ඔස්ට්‍රියානු හරිත පක්ෂයේ හිටපු නායකයා වන මුත් තරඟ වැදුණේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.

අන්තවාදී නිදහස් පකෂයේ හොපර් සටන් වැදුණේ සරණගත විරෝධී සහ යුරෝපා සංගම් විරෝධී සටන් පාඨ ඇතිවය. ඔහුගේ නියෝජිත පිරිසක් නොවැම්බර් අග භාගයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිමට පවා ගොස් තිබුණි. තමන් ජයගත හොත් යුරෝපා සංගමයෙන් ඉවත්වීම විමසා බැලෙන ජනමත විචාරණයක් පවත්වන බවට ඔහු කියා තිබුණි.

වියනාහි ෆන් ඩෙර් බෙලන් අනුගාමිකයෝ සතුටු කදුළු සමඟ ජය සමරති
වියනාහි ෆන් ඩෙර් බෙලන් අනුගාමිකයෝ සතුටු කදුළු සමඟ ජය සමරති ( ගෙටි ඉමේජ්)

සිය පරාජය පිළිගනිමින් සිය විරුද්ධවාදී ජයග්‍රාහකයාට සුභ පැතුමක් සිය මුහුණූ පොතහි පළ කළ හොපර් ‘ සියලු ඔස්ට්‍රියානුවන් දැන් එක්ව කටයුතු කරනු ඇතැයි’ තමන්ගේ අදහස බව කියා සිටියේ ය.

අනෙක් අතට ෆන් ඩෙර් බෙලන් සටන් වැදුණේ සියලු දෙනාටම නිදහස සහ සමානාත්මතාවය ද , සහයෝගිතාවය සහ සමාජ සාධාරණත්වය ද යන සටන් පාඨ පෙරදැරි කරගෙනය‍. ඔහු ශක්තිමත් යුරෝපා සංගමයක් වෙනුවෙන් මුල සිටම පෙනී සිටියේ ය.

ඔස්ට්‍රියාව සමාජ සුභසාධන පිළිවෙත් මුලික කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රමයක් ඇති රටකි. එහි ජනාධිපති ධුරය එතරම් බලගතු එකක් නොවන නමුත්  මෙම ජනාධිපතිවරණය එරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සම්බන්ධයෙන් පමණක් නොව  පමණක් නොව යුරොපා සංගමයේ අනාගතය පිළබඳ ජනමත විචාරණයක් බවට පත්ව තිබුණි.

හොපර් ජයගනු ඇතැයි දේශපාලන අනාවැකි කී පිරිස් අපේක්ෂා කළේ යුරෝපයෙහි  ට්‍රම්ප්වාදී ජාතිකවාදී ජනප්‍රිය දේශපාලන ප්‍රවණතාවකට ඉන් මුල පිරෙනු ඇතැයි කියා ය. හිට්ලර්ගෙන් පසු රාජ්‍ය නායකත්වයක් කරා මෙතරම් ළඟා වූ ප්‍රථම යුරොපා දේශපාලනඥයා ඔහු ය‍.

ජර්මන් බස කතා කරන ඕස්ට්‍රියාව දෙවැනි ලෝක යුද්ධයේ දී හිට්ලර් සහ මුසෝලනී සමඟ මුල සිටම සිටියේ එක පෙරමුණකය. හොපර් නියෝජනය කළ නිදහස් පක්ෂය ආරම්භ කරන ලද්දේ එම යුද්ධයෙහි හිට්ලර්වාදි එස්. එස්. ජෙනරල්වරයකු වූ ඇන්ටන් රෙයින්තෙලර් විසිනි. පසුව එය කළක් ආචාර්ය රජීව් විජේසිංහ නායකත්වය දුන්  මෙරට ලිබරල් පක්ෂය සම්බන්ධ ලිබරල් අන්තර් ජාතිකයේ සාමාජික පක්ෂයක් ලෙස පිළිගන්නා ලදී.

නොර්බට් හොපර්ගේ දේශපාලනය ප්‍රංශයේ මරි ලා පෙන් සහ නෙදර්ලන්තයේ ග්‍රීට් විලඩර්ස් වැනි  අන්ත දක්ෂානාංශික නායක නායිකාවන් සමඟ සම්පාත වේ. ඔවුන් සියලු දෙනාගේම ඇති පොදු ලක්ෂනය නම් එම රටවල ජීවත්වන සුලතර ප්‍රජාවනට සහ සරණාගතයනට සීමා පැණවීම සහ සුදු ජාතිකවාදය ඉහළ නැංවිමය.

2017 වසරෙහි ජර්මනිය, නෙදර්ලන්තය සහ ප්‍රංශය යන රටවල්හි මහා මැතිවරණ පැවැත්වීමට නියමිත අතර එම රටවල ද අන්ත දක්ෂිනාංශය තර්ජනයක් ලෙස මතුවෙමින් තිබේ. එනමුත් ජර්මනියෙ හි දී අන්ජලා මර්කල් පරාජය කිරීමට තරම් එරට අන්ත දක්ෂිනාංශය තවම ශක්තිමක් නැත.

නෙදර්ලන්තයේ අන්ත දක්ශිනාංශික නිදහස් පක්ෂ නායකයා වන ග්‍රීට් විල්ඩර්ස්  එරට වසන මොරොක්කෝ ජාතිකයිනට එරෙහිව වෛර භාෂාව පාවිච්චිකරන ලදැයි චෝදනා මත මේ දිනවල නඩු විභාගයකට මුහුණ දෙමින් සිටී. එය එරට දෙවසරක් සිර දඩුවම් ලැබිය හැකි වරදකි.

ඔස්ට්‍රියානු ජනාධිපතිවරණයෙහිදී අන්ත දක්ෂිනාංශය ලද පරාජය පැහැදිළිවම අනෙත් එවැනි අන්ත ජාතිවාදී දක්ෂිනාංශික පක්ෂවලට පසුබෑමක් වනු ඇති බව නිසැකය. ට්‍රම්ප්වාදී රුල්ලක් යුරෝපයෙහි ඇතිවීම එය විසින් දැනට වළක්වා තිබේ. ඊලඟ තීරණත්මක යුරෝපා මැතිවරණ එළඹෙන්නේ ජර්මනියේ සහ ප්‍රංශයේ ය.

Archive

Latest news

Related news