නන්දිකඩාල් කළපුවෙන් එල්්. ටී.ටී.ඊ. සන්නද්ධ අරගලය නිමාවට පත්වුව ද උතුරුකරයේ ජනතාවට තවමත් විවිධ අරගලයන්ට මුහුණ දීමට සිදුව තිබේ. දකුණේ කිසිදිනෙක ඇති නොවුණු, උතුර වීම නිසා ම ඇතිවූ ප්‍රධාන ගැටලුව වන්නේ උතුරේ ජනතාවගේ පාරම්පරික ඉඩම් හමුදාව බාරයේ තිබීම ය.
1988 – 1989 දකුණේ ඇතිවූ සන්නද්ධ අරගලයේදී යුද හමුදාව දකුණේ සමහර ගම්වල හමුදා කඳවුරු ඇති කළේ සන්නද්ධ අරගලයට මුහුණදීම සඳහා ය. එහිදී ඔවුන් බොහෝවිට කඳවුරු සඳහා තෝරාගනු ලැබුවේ අරගලයේ නියුතු සාමාජිකයනට අයත් ඔවුන් රැඳී සිටි නිවාස හා ඉඩකඩම් ය. අද උතුරේ ඇතිව ඇති තත්ත්වය ඊට බොහෝ සෙයින් සමානය. වෙනසකට ඇත්තේ යුද්ධය නිමවී වසර හතකටත් වැඩි කාලයක් ගත වී තිබියදීත් උතුරේ දෙමළ ජනතාව ගෙන් කොටසකට තවමත් තම උරුම ගම්බිම් හෝ නිවාස නොලැබීම ය.
දකුණේ ඇති වූ අරගලයේදී හමුදාව තම කඳවුරු ඉවත් කරගත් වේගයෙන් උතුරේ කඳවුරු ඉවත්කර ගැනීමට යෝජනා කිරීම එක් අතකින් ප්‍රශ්නකාරී විය හැකියි. එහෙත් උතුරේ දෙමළ ජනතාවගේ පෞද්ගලික ඉඩම් ලබාදීම රජයේ හමුදා විසින් කඩිනම් කළ යුතු ය.
හමුදාව උතුරේ රැඳී සිටීම ගැන එහි ජනතාවගේ විරෝධයක් නැත. ඔවුන්ගේ විරෝධතාව එල්ල වී ඇත්තේ තම උපන් ගම් බිම් යුද හමුදාව ආක්‍රමණය කිරීම ගැන ය. එක් අතකින් එහි වරදක් ද නැත. උතුරේ දෙමළ ජනතාව කෘෂිකාර්මික ජීවන රටාවකින් සිය දිවිය සරිකරගත් පිරිසකි. ඔවුන්ගේ ඉඩම් අහිමිවීම යනු ප්‍රධාන වශයෙන් සිය ජීවිකාව ගෙනයාම සඳහා වූ ජීවනෝපාය අහිමි වීම ය. එල්.ටී.ටී.ඊ. ය උතුරේ ඉඩම් බොහොමයක් ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙකි. එසේ බලහත්කාරයෙන් ලබාගත් ඉඩම්වල ඔවුන් කඳවුරු සාදා තිබේ. එවැනි කඳවුරු පිහිටි ඉඩම් රැසක මේ වනවිටත් යුද හමුදා කඳවුරු පිහිටා තිබේ. එල්.ටී.ටී.ඊ. ය ගෙන ගිය පාලනය තුළ උතුරේ දෙමළ ජනතාව ඔවුනට තම ගම්බිම් නොදී සිටියේ නම් අත්විය හැකි ඉරණම අමුතුවෙන් කිව යුතු නොවේ.
එවැනි පසුබිමක, උතුරේ ජනතාව එල්.ටී.ටී.ඊ. යට තම කැමැත්තෙන් ඉඩකඩම් ලබාදුන් බව පවසමින්, හමුදාව බාරයේ ඉඩම් තබා ගැනීම වරදක් නොවන බවට නැඟෙන තර්කයේ සාධාරණ බවක් තිබේද යන්න සිතා බැලිය යුතු ය. එල්.ටී.ටී.ඊ. ය දෙමළ ජනතාවගෙන් බලහත්කාරයෙන් උදුරාගත් ඉඩම් සඳහා ඔවුන්ගේ පාලන කාලය තුළ වන්දි ලබාදීමක් ද කර නැත.
රජයේ හමුදාවන්ට තම කඳවුරු ඉදිකර ගැනීම සඳහා ඉඩම් ලබාගැනීමේදී රටේ පොදු නීතිය අබිබවා යා නොහැකි ය. රජයේ නීතිය වන්නේ ඕනෑම කටයුත්තකට ජනතාව සතු ඉඩම් පවරා ගන්නේ නම් ඊට සරිලන වන්දියක් ලබාදීම ය.
කෙසේ වුව ද නන්දි කඩාල් කළපුවෙන් යුද්ධය අවසන් වූ පසු රටේ සියලු ජනයාගේ ආරක්ෂකයාත් පහසුකම් සපයන්නාත් විය යුත්තේ ආණ්ඩුව ය. එනිසා උතුරේ ඉඩම් ගැටලුවට වහා විසඳුම් ලබාදිය යුත්තේ ද ආණ්ඩුව ය.
උතුරේ ජනතා මතය වන්නේ ආරක්ෂක හමුදා රජයේ ඉඩම්වල කඳවුරු ඇති කරගත යුතු බව ය. හමුදාව තවදුරටත් ඔවුන්ගේ ඉඩම්වල සිටීම, ඔවුන්ගෙන් පළිගැනීම සඳහා කරන්නක් බව ඔවුහු සිතති. එකී මතය රජය ගෙන යන සංහිඳියා වැඩපිළිවෙළට එතරම් සුදුසු නොවන්නකි.
දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය උතුරේ ක්‍රියාත්මක ජාතිවාදී දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තම වාසියට හරවාගෙන තිබේ.
ඉඩම් ප්‍රශ්නය මුල් කර ගනිමින් උතුරේ අහිංසක ජනතාව වීථි බස් වන්නටත්, උද්ඝෝෂණ, පෙළපාළි යවන්නටත් ඒවා ඡායාරූපකර ජාත්‍යන්තරව ගෙන යන්නටත් විවිධ කණ්ඩායම් කටයුතු කරමින් සිටී. ජනතාව පවසන්නේ ඔවුන්ව පෙන්වා විවිධ කණ්ඩායම් ජාත්‍යන්තරයෙන් මුදල් ගරා ගන්නා වැඩපිළිවෙළක නිරතවන බව ඔවුන් දන්නා බව ය.
උතුරේ ජාතිවාදී කණ්ඩායම් අහිංසක ජනතාව එලෙස ප්‍රයෝජනයට ගනිද්දී, දකුණේ ජාතිවාදීන්ට එය බර අවියකි. ඔවුන් එම බර අවියෙන් දකුණේ ජාතිවාදය පෝෂණය කරනුයේ රට තුළ ඇති විය යුතු සිංහල – දෙමළ මුස්ලිම් සමඟිය බිඳ දමා රට අරාජික බව පෙන්වා තම බලලෝභී දේශපාලන වුවමනාව සපුරා ගැනීම සඳහා ය.
බලලෝභී දේශපාලන වුවමනා
උතුෙර් ඉඩම් අහිමි ජනතාවට තවමත් කඳවුරු තුළ ජීවත්වීමට සිදුව තිබේ. එසේ නොවන පිරිස ඥාතීන්ගේ හෝ කුලී නිවාසවල පිහිට පතා ඇත. යුද්ධයක් නොමැති පසුබිමක තම උරුම ගම් බිම් පෙනි පෙනී තවදුරටත් කඳවුරු ගතව ජීවත්වීමට සිදුවීම කටුක අත්දැකීමක්ව ඇති අයුරු කන්කසන්තුරේ, කන්නකී, පුල්ලෙයාර් මොහම් හා සභාපති පිල්ලෙයි කඳවුරුවල සංචාරය කළ අපට පෙනී ගිය කරුණකි.
උතුරේ ඉඩම් ගැටලුව කිහිප ආකාරයකට වෙන්කර දැක්විය හැකි ය. හමුදාව නීත්‍යානුකූලව අත්පත්කරගත් ඉඩම්වල ද ගැටලු පවතී. මුලතිව්, කේපාපලෙයි හා ඉයියෙකච්චි, කිලිනොච්චි, ඕමන්ත හමුදා කඳවුර, ඉඩම් හමුදාව නීත්‍යානුකූලව පවරාගත් ඉඩම් ය. මෙකී ඉඩම් නිසි ක්‍රමවේදයකට පවරාගත්තේ නම් ඉඩම් හිමියන්ට වන්දි ලබාදිය යුතුව තිබේ. එවැන්නක් තවමත් සිදුව නැත යන්න උතුරේ වැසියන් අපට කී කථාව ය.
කිලිනොච්චි ඉයියෙකච්චි ඉඩමේ මේ වනවිටත් හමුදාව රැඳී සිටිනුයේ එවැනි වට පිටාවක ය. මෙම ඉඩම පවරා ගන්නා බවට දැන්වීම් අලවා තිබුණේ මීට වසර හතරකට පමණ පෙර ය. සිංහල භාෂාවෙන් අලවා තිබුණු දැන්වීමේ ඉඩමට අයිතිකරුවන් නොමැති බවසඳහන්ව කිබිණි, දෙමළ බසින් වූ දැන්වීමේ වෙනත් අයිතිකරුවන් පිරිසකගේ නම් ද යොදා තිබුණි. ඉංග්‍රීසි බසින් අලවා තිබූ දැන්වීමේ ඉඩමේ නියම අයිති කරුවන්ගේ නම් සඳහන්ව තිබී ඇත.
මෙකී ඉඩමේ සින්නක්කර ඔප්පු හිමියන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ පසු හමුදා මූලස්ථානයෙන් ඉඩම පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව පවසා පසුගිය මස ලිපියක් නිකුත් කර තිබේ.
මේ ඉඩමේ මේ වනවිට ද විවිධ ඉදිකිරීම් මෙන් ම පෞද්ගලික සමාගමක් විසින් සන්නිවේදන කුලුනක් ද ඉදිකර තිබේ. එකී කුලුනේ ආදායම සැබෑ ඉඩම් හිමියාට ලැබෙන්නේ ද නැත. කඩිනමින් විසඳිය යුතු මෙවැනි ගැටලු මානව හිමිකම් දක්වා යාම යහපාලන ආණ්ඩුවට හිතකර නොවේ.
සින්නක්කරව ඉඩම් අක්කර 10 – 15 ක් හිමිකම් ඇති කෝපාපලෙයි වැසියනට ඉන්දියානු ආධාර යටතේ ඉදිවූ කුඩා නිවසක් සහිත පර්චස් 20 ක ඉඩම් කැබැල්ලක් ලැබී ඇත. පාරම්පරික ගොවිතැනින් යැපුණු මෙම ඉඩම් හිමියනට ඉඩම පමණක් නොව සිය ජීවිකාව ද අහිමිව ගොසිනි.
කෝපාපලෙයි වැසියනට හිසට සෙවණක් ලැබුණ ද අනාගතය පිළිබඳ ඔවුනට ඇත්තේ හිස් බලාපොරොත්තුවකි. තම නම් ගම් හෙළි කිරීමට අකැමැති එහි වැසියන් අපට කීවේ අවුරුදු 30 ක යුද්ධයෙන් පසු ලද නිදහස කුමට දැයි නොතේරෙන බව ය.
නිරවුල් ඔප්පු නැහැ
කිලිනොච්චි පරෙවි පඤ්ඤාන් ඉඩම් අක්කර 53 ක පමණ භූමියක යුද හමුදාව රැඳී සිටි අතර ඉන් අක්කර 10 ක පමණ භූමියක් අයිතිකරුවන්ට ලබාදී ඇත්තේ ජනතා උද්ඝෝෂණ හමුවේ ය. තවමත් අක්කර 43 ක හමුදාව රැඳී සිටී.
කන්කසන්තුරේ ඉඩම් අක්කර 700 කින් අක්කර 201 නිදහස් කළ ද ඒවා මිනිසුන්ට ලැබී නැත. පොලීසිය පවසන්නේ ඒ සඳහා නිරවුල් ඔප්පු අවශ්‍ය බව ය. යුද්ධයෙන් පීඩාවට පත්ව, තම ඇදිවත පමණක් ඉතිරි වූ ජනතාවගෙන් ඉඩම් ඔප්පු ඉල්ලීම කෙතරම් ප්‍රායෝගික ද යන්න කල්පනා කළ යුතු ය. ඉඩමේ අයිතිය සොයා රජයේ ආයතනවලට, ලේඛන පරීක්ෂාවට ගිය පසු නිලධාරී හමුවේ විවිධ ගැටලුවලට මුහුණපාන්නට සිදුවන බව උතුරේ ජනතාව අපට පැවසූහ.
උතුරේ තවමත් අවතැන්වූ සුළුතරයක් සිටිති. එමෙන් ම වසර 30 කට වැඩි කාලයක් සිවිල් පරිපාලනයෙන් මිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවිධිමත් පාලනයක් යටතේ සිටි ජනකොටසකි. ඔවුන් සිවිල් පාලනයට නතුකර ගැනීමට ටික කලක් ගතවනු ඇත. ඒ සඳහා උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන සහාය ද ප්‍රමාණවත් නොවේ. උතුරේ ජනතා ගැටලු පිළිබඳ රජය නිරන්තර අධ්‍යයනයක යෙදීම අවශ්‍යව ඇත.
වවුනියාව කුඩිඉරිප්පු හා ඕමන්ත හමුදා කඳවුරුවල ඉඩම්වලින් හමුදාව ඉවත්වී ඇත්තේ කඳවුරු ඉදිරිපිට කළ ජනතා උද්ඝෝෂණ හේතුවෙනි. උතුරේ ජනතාවගේ අත්දැකීම වන්නේ තම ඉඩම් ලබාගැනීමට නම් උද්ඝෝෂණ කළ යුතු බව ය. එවැනි අත්දැකීම් රැසක් ඔවුන් සතුව පවතී. හමුදාව ඉඩම්වලින් ඉවත් වුව ද තවමත් බොහෝ ඉඩම් නිසි අයිතිකරුවන්ට හිමිවී නැත.
උතුරේ කෙතරම් ඉඩම් ප්‍රමාණයක් හමුදාව බාරයේ තිබෙනවාද යන්න පිළිබඳ නිවැරැදි දත්ත තවමත් නැත. නීත්‍යානුකූලව පවරාගත් මෙන් ම එසේ පවරා නොගත් ඉඩම් වල ද හමුදාව රැඳී සිටී. උතුරේ ජනතාව තවමත් කඳවුරුවල, ඥාතීන්ගේ නිවෙස්වල මෙන් ම කුලී ගෙවමින් ජීවත්වන්නේ මෙවැනි පසුබිමකය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ද ඔවුන් යටතේ පැවති ප්‍රදේශවල ඉඩම් තම හිතවතුන්ට ලබාදී තිබේ. ඒ සඳහා එල්.ටී.ටී.ඊ. ය ලබාදුන් ලිය කියවිලි ද ජනතාව සතුව තිබේ. එහෙත් එම ඉඩම්වලට ද නීත්‍යානුකූල ඔප්පු හා ලියකියවිලි තිබෙන අයිතිකරුවන් සිටී. මෙවැනි තත්ත්ව නිරාකරණය කිරීම සඳහා රජය වහා මැදිහත්විය යුතු ය.
උතුරේ අවිගත්, පැවැති රජයට හිතවත් විවිධ දේශපාලන කණ්ඩායම් තම හිතවතුන්ට අනුන්ගේ ඉඩම් පසුගිය කාලය පුරා ලබාදී ඇත්තේ රටේ පවතින නීතිය උල්ලංඝණය කරමිනි. එවැනි පවුල් හය දහසක් පමණ තවමත් උතුරේ ජීවත්වෙති.
වවුනියාව කට්පාපුරම් පදිංචියට ගිය මිනිසුන්ට ද තවමත් ඔප්පු ලබාදී නැත. කට්පාපුරම් ගම්මානයට යාබද නව කට්පාපුරම් ගම්මානය සාදා ඇත්තේ දේශපාලන හිතවත්කම් ඇති පිරිසකට ඉඩම් ලබාදීම සඳහා ය. රජයේ නිලධාරීන් පැරණි කට්පාපුරම් වැසියනට කියා ඇත්තේ නව කට්පාපුරම් ගැටලු විසඳුණාට පසු ඔවුනට ඉඩම් බලපත්‍ර ලබාදිය හැකි බව ය. පැරැණි කට්පාපුරම් හී පදිංචිව සිටිනුයේ පාරම්පරික ඉඩම් හිමියන් බව එකී නිලධාරීන් තේරුම් නොගැනීම පුදුමයට කරුණකි.
දේශපාලන මැදිහත්වීම් මත රක්ෂිතය කපා ඉඩම් ලබාදුන් සාලබ්බේකුලම් වැසියනට ඉඩම් සඳහා නව ඔප්පු ලැබෙන පසුබිමක උතුරේ පාරම්පරික ඉඩම් සඳහා ඔප්පු නොලැබීම බරපතළ තත්ත්වයකි.
වවුනියාව, මුලතිව්, යාපනය, මන්නාරම, කිලිනොච්චි යන දිස්ත්‍රික්ක සියල්ලේ ම ඉඩම් ගැටලුවල ස්වභාවය එක ය. එහෙත් එහි සිටිනුයේ තම ඉඩම් ගැටලුවට කවදා උත්තර ලැබේ දෝයි යන දෙගිඩියාවෙන් පෙළෙන මිනිසුන් බව නම් පැහැදිලිය. ඔවුන්ට දැන් කිසිවෙකුත් විශ්වාස නැත. හැමදාම පත්තරවලින් ටීවීවලින් අපේ ප්‍රශ්න කතා කළා. අපට විවිධ බලපෑම් පවා තිබුණා. අපේ නම් ගම් දාන්න එපා යැයි බොහෝ දෙනෙකු කීවේ එනිසා ය. එලෙස බලපෑම් කළ කණ්ඩායම් ගැන කියන්නට ද ඔවුන් මැලිවිය .
ආයේ අපට රණ්ඩු එපා
උතුරේ හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකුම අපට කීවේ මිනිසුන්ගේ ඉඩම් මිනිසුන්ට දිය යුතු බව ය. මිනිසුන් ඉල්ලන්නේ තම උරුම ගම්බිම් ය. ගැටලුවට පිළිතුරු සැපයීමට උතුරේ දැන් හොඳ පරිසරයක් නිර්මාණය වෙමින් තිබේ. අවශ්‍ය වන්නේ කඩිනම් යාන්ත්‍රණයක් ඒ සඳහා සැකසීම ය. එල්.ටී.ටී.ඊ ය උතුරේ නැවත ඇති වෙතැයි යන සැකයෙන් උතුර දෙස බලන තාක් උතුරට සාධාරණ විසඳුමක් ලබාදිය නොහැකි ය. එවැනි පරිසරයක් නැවත ගොඩ නැඟෙනවාට උතුරේ දෙමළ වැසියන් අකැමැති ය. ඔවුන්ගේ වචනයෙන් ම කියනවා නම්, “අපිට ආයෙත් රණ්ඩු එපා, රණ්ඩු නිසා අපිට හැමදේම නැති වුණා.”
දකුණේ ජනතාව මේ බව තේරුම් ගත යුතු ය. කොතැනක හෝ වරදකින් උතුෙර් අරගලයක් දියත් විය. එකී අරගලය පටන් ගන්නා විට හය හතර නොතේරෙන දරුවන් අද අවුරුදු 30 – 35 වයසේ පසුවන්නන් ය. ඔවුන්ගේ තරුණ කාලය මුළුමනින් ම ගෙවී ගොස් ඇත්තේ සාමාන්‍ය ජනජීවිතයක් සහිත පරිසරයක නොවේ. ඔවුන් ද මේ සමාජ ක්‍රමය තුළ ඉදිරියේ දී ජීවත් විය යුතු ය. ඔවුන් මුහුණදී ඇති ප්‍රධාන ගැටලුව විරැකියාව ය. එහෙත් ඔවුන් සතුව ආත්ම ශක්තිය ගොඩනැඟී ඇත. ඔවුන් තම උරුම ගම් බිම් ඉල්ලන්නේ එනිසා ය.
එක් තරුණයකු අපට කීවේ “අපේ ඉඩම් ටික අපට දෙන්න” කියන්න මහත්තයො. මට පුළුවන් තවත් හතළිහකට විතර රස්සාවල් දෙන්න” ඔහුගේ බලාපොරොත්තුව ඉඩමේ ගොවිපළක් අරඹන්නට ය.
පෙරුමාල් නාරායන්
1973 තමයි අපි පරණ කට්පාපුරම්වලට එන්නෙ. 1990 අපි ගොවිතැන් පටන් ගත්ත. යුද්දෙ නිසා අපිට ඉඩම්වලින් යන්න වුණා. කොටසක් තමිල්නාඩුවට ගියා. 1994 අපි පූන්තෝට්ටම් අවතැන් කඳවුරට ආව. 1994 අපි ගමට එන්න හදන කොට ගමේ හමුදාව හිටියා. අපිට එන්න දුන්නෙ නැහැ. ගම අවට කූඩාරම් ගහගෙන 2009 වෙනකම් අපි හිටිය. ආණ්ඩුවෙන් එතරම් 10 ක් දීල කිව්ව මාස 06 ක් ඉන්න කියල. අපි තාම ඉන්නෙ ඒ ටකරන් 10 ආපු ගෙවල්වල.
ජී. රාජේශ්වරී
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාෙල අතිරේක සැලසුම් අධ්‍යක්ෂ 2014 දී ඇහුව පරණ කට්පාපුරම් කියල ගමක් මෙහෙ තියෙනවද කියල. 2015 ඔක්තෝබර්වල අපි ප්‍රාදේශීය ලේකම්තුමා හම්බ වුණා. ගෙයක් හදාගන්න අපිට ලක්ෂයක ණයක් දුන්න. තාවකාලික ගෙයක් හදාගන්න කිව්ව. දැන් කියනව සිමෙන්ති හරි ගඩොල් වලින් හරි ගෙවල් හදල නම් අලුත් ගෙවල් දෙන්න බැහැ කියල. මේ ගමේ පවුල් 87 ක් ඉන්නව. ණය දුන්නෙත් පවුල් 37 කට විතරයි. වැසිකිළිය හදන්න රුපියල් පනස් දාහක් දුන්නා. අවුරුදු 43 ක් පදිංචිය තවම බලපත්‍රයක්වත් දුන්නෙ නැහැ.
මානික්කම් සෝම සුන්දරම්
කේපාපලව් ගමේ අපි ඉන්නෙ. හමුදා කඳවුරේ මට අයිති ගෙවල් 2 ක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තය කිව්වෙ ඒ වතු එල්.ටී.ටී.ඊ. එකේ ඒව කියල අපිට ඒව දෙන්න බැහැ කිව්වා. අලුත් ආණ්ඩුවෙන් කිව්ව ඒව අපිට දෙනව කියල. ඒත් තවමත් නැහැ.
එම්. කුරුපන්
මම ධීවර කටයුතු කරන්නෙ. මට අවුරුදු 22 යි. අ.පො.ස. (සා.පෙළ) වෙනකන් ඉගෙන ගත්ත. මට මගේ ඉඩම දෙන්න. කේපාපලෙව් කඳවුෙර් මට අයිති ඉඩම් අක්කර 5 ක් තියෙනව. මට පුළුවන් වගා කරන්න. අපිට දුන්නෙ අක්කර කාලයි. ආමි එකෙන් ගෙයක් දුන්න. ධීවර රැකියාව කරන්න නන්දිකඩාල් යන්න දෙන්නෙ නැහැ. අපිට දැන් එහෙ යන්න බැහැ. ආමි එකෙන් අපට යන්න එපා කියල තියෙන්නෙ.
උතුරේ සංචාරයකින් පසු දුමින්ද සම්පත් / සිළුමිණ