Tuesday, July 16, 2024

ඊ නිව්ස් කතුවරයාට පැනවූ රතු වරෙන්තුව අවභාවිතයක් දැයි පරීක්ෂා කරනු! – වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරකවරයා සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති තීරණය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය එම නිසා අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමෙන් අප ඉල්ලා සිටියි. එම සංගමමය ප්‍රශ්ණ කරන්නේ  උපාලි තෙන්නකෝන් මහතාගේ නඩුවේ සැකකරුවෙකු පිලිබඳව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පළකිරීමක් සිදුකර නැති තතවයක් යටතේ , එම නඩුව පිලිබඳව විමර්ශණය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකින් තොරව අදාල ඉන්ටර්පොල් වරෙන්තුව නිකුත් කිරීම සාධාරණදැයි කියා ය.

එම පුවත්පත් නිවේදනය පහත පළවේ.

මාධ්‍ය නිවේදනයකි.

රිවිර පුවත් පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දී ඔහුව පැහැර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියට අදාල ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට බලපෑමක් වන අයුරින් වාර්තා කිරීමක් හෙවත් එහි එක් සැකකරුවෙකුගේ ඡායාරූපයක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙර පළ කලා යැයි චෝදනා කරමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක සඳරුවන් සේනාධීරට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් කවීන්ද්‍රා නානායක්කාර ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කිරීම පිළිබඳව අපගේ දැඩි අවධානය යොමුවී ඇත.

ඊට අදාලව ලංකා ඊ නිව්ස් සංස්කාරකවරයා වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයා අමතමින් නොවැම්බර් 28 වෙනි දින සහිතව ලිපියක් යවා ඇති අතර එමගින් කරුණු කිහිපයක් අවධාරණය කරමින් සඳහන් කරන්නේ ඒ පිලිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසය. ඒ උපාලි තෙන්නකෝන් මහතාගේ නඩුවේ සැකකරුවෙකු පිලිබඳව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පළකිරීමක් සිදුකර නැති බව, එම නඩුව පිලිබඳව විමර්ශණය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකින් තොරව අදාල ඉන්ටර්පොල් වරෙන්තුව නිකුත් කිරීම, කවීන්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය සමාජ ජාල මාධ්‍ය්‍යක් වන ෆේස්බුක්හි අලි ජාවාරමට අදාල කරුණක් සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීම ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් වාර්තා කිරීම හා අධිකරණයට කැඳවීමේ සිතාසියක් නිකුත් නොකර මුල් අවස්ථාවේදීම ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කිරීම පිලිබඳව ය.

එසේම කවීන්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරියගේ ෆේස් බුක් මත දැක්වීම හෙළිදරව්වීමෙන් පසු විනිශ්චයකාරවරුන්ට සමාජ ජාලා වෙබ් අඩවි වල මත දැක්වීම තහනම් කරණු  ලැබූ චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කරනු ලැබීය. එනිසාම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් කවීන්ද්‍රා නානායක්කාර මහත්මියට විශේෂිතයක් තිබූ බව පැහැදිලිය.

එම නිසා අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමෙන් අප ඉල්ලා සිටින්නේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරකවරයා සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති තීරණය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
අත්සන් කෙළේ

ලසන්ත රුහුණගේ 
සභාපති
වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය

Archive

Latest news

Related news