Saturday, April 27, 2024

රාජපක්ෂ ඥාතී ඇමෙරිකාවේ හිටප තානාාපති ජාලිය වික්‍රමසූරියගේ ගැහිල්ල ඩොලර් 332000ක්!

ජායාරූපය: රාජපක්ෂ හොර දෙටු ජාලිය වික්‍රමසුරිය සමඟ.

තාරක වික්‍රමසේකර.

ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අවභාවිත කළ මුදල ඩොලර් 332000ක් බව විමර්ශනවලදී හෙළි වී ඇත. රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.

මේ වන විට විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි අමෙරිකාවේ තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිල දී ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6.6ක් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා වැය කර ඇති අතර, එම මිල දී ගැනීම සිදු කර ඇත්තේ තැරැවුකාර සමාගමක් හරහාය.

අදාළ මිල දී ගැනීමෙන් පසුව තැරැවුකාර සමාගම පවසා ඇත්තේ ඩොලර් 332000ක මුදලක් ඉතිරිව ඇති බවයි. එම මුදල් මේ සඳහා උපකාර කළ ඇමරිකාවේ සමාගමකට කොමිස් මුදල් ලෙස ලබා දෙන්නැයි ඊ-මේල් පණිවිඩයක් මඟින් ජාලිය වික්‍රමසූරිය තැරැවුකාර සමාගමට දන්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. එසේම තවත් ඊ-මේල් පණිවිඩයක් මඟින් කොමිස් මුදල් ලබා දුන් සමාගමට දන්වා ඇත්තේ එම මුදල් ලංකාවේ ‘සිලෝන් රෝයල් ටී ප්‍රයිවට් ලිමිටඩ්’ හා ‘පී.පී. ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිිමිටඩ්’ යන සමාගම් වෙත ලබා දෙන ලෙසයි.

ජාලිය වික්‍රමසූරියගේ ඊ-මේල් පණිවිඩ අනුව අමෙරිකාවේ එම තැරැව්කාර සමාගම විසින් කොමිස් මුදල් නම් කළ සමාගමට ලබා දී ඇති අතර, එම සමාගමද ජාලිය වික්‍රමසූරියගේ දැන්වීම පරිදි සියලු මුදල් ‘සිලෝන් රෝයල් ටී ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයට හා ‘පී.පී ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිිමිටඩ්’ සමාගම් දෙකට ලබා දී ඇත.

මේ සම්බන්ධව පවත්වන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සිලෝන් රෝයල් ටී ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ජාලිය වික්‍රමසූරියට අයත් සමාගමක් බවයි. එසේම පී.පී. ඉන්ටර්නැෂනල් සමාගම විසින් පවසා ඇත්තේද තම සමාගමට ලැබුණු මුදල් ජාලිය වික්‍රමසූරිය මහතා විසින් ආපසු ලබා ගත් බවයි. මේ නිසා රාජ්‍ය මුදල් අවභාවිතය යටතේ ඉදිරියේදී ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට නියමිතය

– සිළුමින

Archive

Latest news

Related news