Sunday, April 28, 2024

ඕන් දෙනවා නම් උත්තර – සුනිල් ජයසේකර

( ජායාරූපය: ඉල්ලිම් ලැබීමෙන් පසු නතර නොවු  උද්ඝෝෂණය)

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය නමින් හදුන්වාගන්නා සංවිධානයක් ආබාධිත තත්වයේ පසුවන ආරක්ෂක අංශයේ හිටපු සාමාජිකයින් පිරිසක් පෙරටු කරගනිමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව ඊයේ වාර්තා විය. මෙම පිරිස මෙයට පැය කිහිපයකට පෙරත් කොළඹ කොටුවේ දුම්රියපොළ අසල වාඩිලාගෙන සිටින බවට වාර්තා විය. උපවාස කරුවන් වී ඇත්තේ වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමට පෙර ස්ව කැමැත්තෙන් හමුදා සේවයෙන් ඉවත්ව ගොස් සිටින පිරිසකි.

ඔවුන්ගේ මූලික ඉල්ලීම වී ඇත්තේ යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වල අවම සේවා කාලයට පෙර විශ‍්‍රාම ගොස් සිටින තම සාමාජිකයන්ට විශ‍්‍රාම වැටුප් ලබාදෙන ලෙසය. ඒ අනුව මේ වනවිට මාරාන්තික උපවාසයක් ප‍්‍රකාශයට පත්කර ඇත්තේ මේ රටේ සන්නද්ධ හමුදාවන්හි කිසියම් කාලයක් සේවය කර ඇති පිරිසකි. හමුදා සේවයට අයත් මූලික සේවා කොන්දේසි ඇතුළු හිමිකම් පිළිබඳව ඔවුනට මනා අවබෝධයක් තිබිය යුතුමය. එමෙන්ම හමුදා ජීවිතයට අදාළ විනය පිළිබඳව ද ඔවුන් තුළ අවබෝධයක් තිබිය යුතු වේ.

අනෙක් අතට ඔවුන් සියලූ දෙනාම මේ රටේ සමස්ත පුරවැසියන්ගේ ආරක්ෂාව ප‍්‍රමුඛ කරගත් දේශයේ රැකවලූන් ලෙස කිසියම් හෝ කාලයක් කටයුතු කර ඇති පිරිසකි. එමෙන්ම ඒ වෙනුවෙන් තම අත් පා පුදකරමින් කැපවී සිටි පිරිසක් වන බව ද සත්‍යයකි. මේ රටේ අන්ත දුගියාගේ සිට සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් රණවිරු නාමයෙන් ඔවුන් වෙත හරසර දක්වන්නේ ද එබැවිනි. ඒ අනුව දැන් අප සලකා බැලිය යුත්තේ මේ පිරිස වෙනුවෙන් රටක් ලෙස හා ඔවුන්ගේ සේවාවන් ලබාදුන් මේ රටේ ආරක්ෂක අංශ තමන්ගේ වගකීම ඉටුකර තිබේ ද යන්නය.

හමුදාවන් හි නීති රීති හා රෙගුලාසි අනුව නියමිත කාලයට පෙර විශ‍්‍රාම ගන්නා සාමාජිකයන්ට ඔවුන්ගේ විශ‍්‍රාම වයස සම්පූර්ණ වීමෙන් අනතුරුව විශ‍්‍රාම වැටුපකට හිමිකමක් නොලබයි. එහෙත් යුදබිමේදී ඇති වූ ආබාධිත තත්වයන් සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ විශ‍්‍රාම වයස සම්පූර්ණ වනතුරු අදාළ වැටුප් හා දීමනාවන් දැනටමත් ඔවුන් වෙත ලබාදෙමින් සිටිති. එයට අමතරව දුබලතා වැටුපක් ද ඔවුන්ට හිමිවේ. අද ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ එම වැටුප් හා දීමනාවන්ට අමතරව විශ‍්‍රාම වයස සම්පූර්ණ වීමෙන් පසුව ද විශ‍්‍රාම වැටුප ඔවුන්ට ලබාදිය යුතුව ඇති බවයි.

ඔවුන්ගේ එම ඉල්ලීමට ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිටත් එකඟත්වය පළකර අවසන්ය. ඒ අනුව 2017 පෙබරවාරි මාසයේ සිට අදාළ විශ‍්‍රාම වැටුප ඔවුන් වෙත හිමිවීමට නියමිතය. ඒ සඳහා මාස තුනක් ගතවනු ඇත්තේ අදාළ කටයුතු විධිමත් ආකාරයට සිදුකිරීමේ අවශ්‍යතාවය නිසා වියයුතුය. කෙසේ නමුත් හමුදා සේවයේ සාමාන්‍ය ක‍්‍රමවේදයෙන් පවා පිට පනිමින් ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට රජය ඉතා පැහැදිළි ලෙසම පොරොන්දුවක් ලබාදී ඇත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ එම පැහැදිළි පොරොන්දුවෙන් පසුව ද ඔවුන් මාරාන්තික උපවාසයක නිරතවන බව ප‍්‍රකාශ කරමින් කොටුව දුම්රිය පොළෙහි රැදී සිටීමය. ඒ ඇයි? මේ රටේ සාමාන්‍ය ජනතාව පැහැදිළි ලෙස තේරුම්ගත යුතුව ඇති කාරණය වන්නේ එයයි.

ඒ බව තේරුම්ගැනීමට නම් අන් සියලූ කරුණු පසෙකලා ඔවුන් පසුපස සිටින්නේ කවුරුන් ද යන්න තේරුම් ගැනීම ප‍්‍රමාණවත්ය. උදය ගම්මන්පිල හා විමල් වීරවංශ වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රමුඛ දේශපාලකයින් ඊනියා උපවාස ලැගුම්පොළ අසල නිතර නිතර ගැවසීම හා ඒ සඳහා ලබාදෙන අනුබලය එය තේරුම්ගැනීමට  ඕනෑ තරම් හේතු සපයයි. ඔවුන් හැමදාමත් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කරනු ලැබුවේ රණවිරු නාමය පෙරට දමමින් සැබෑ රණවිරුවාගේ කැපවීම හා පරිත්‍යාග උකසට තබමිනි. ඒ අනුව මේ රටේ දැනුවත් සමාජයට මේ ගැන ඔවුන්ගෙන් විමසා සිටීමට දෙයක් ඉතුරු වී නැත.

එහෙත් අද මේ ඊනියා මාරාන්තික උපවාසයක නිරත වී සිටින පිරිසගෙන් අසන්නට ඇති පැහැදිළි ප‍්‍රශ්න තුනක් තිබේ.

ඉන් පළමු වැන්න වන්නේ ඔබ හමුදා සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ අවම වශයෙන් මෙයට වසර අටකට හෝ පෙර කාලයක වියයුතු නිසා පසුගිය රජය සමයේදී මේ ආකාරයේ මරාගෙන මැරෙන ඉල්ලීමක් සිදුනොකළේ ඇයිද යන්නයි. එයට නම් ලැබෙන පිළිතුර තේරුම්ගත හැකිය. පසුගිය පාලන සමයේදී මේ අය එවැනි ඉල්ලීමක් සිදුකළේ නම් ඔවුන්ට අහිමිවීමට නියමිතව තිබුණේ අත් පා පමණක් නොවේ. ජීවිතය ද අහිමි වන බව අන් සියල්ලන්ටම වඩා ඔවුන් දැන සිටින්නට ඇත.

දෙවන ප‍්‍රශ්නය වන්නේ රාජපක්ෂ සහෝදරයන්ගේ බිරින්දෑවරුන්ගේ සාරියට හැට්ට කටු ගැසීමේ සිට ඔවුන්ගේ නිවෙස් වල සුනඛයින් බලාකියා ගැනීම දක්වා පර වැඩ සඳහා රණවිරුවන් යොදාගෙන ඇති බවට පැහැදිළි සාක්ෂි තිබියදී ඔබට ඇතිවූ හැඟීම කුමක්ද යන්නයි.

තුන්වන ප‍්‍රශ්නය වන්නේ හමුදාවේ සාමාන්‍ය සම්ප‍්‍රදායෙන් එපිටට යමින් විශේෂ වරප‍්‍රසාදයක් ලෙස ඔබට විශ‍්‍රාම වැටුප ලබාදීමට රජය ඉතා පැහැදිළි ලෙස පොරොන්දු වී සිටියදී මේ රටේ බංකොලොත් දේශපාලකයින් සමග කල්ලි ගැසෙමින් උපවාස කිරීමට තරම් හේතු වූ කාරණාව කුමක්ද යන්නයි. එකක් නම් ඉතා පැහැදිළිව කිවයුතුව තිබේ. රණවිරුවා උකස් කර බලය ස`දහා පෙනී සිටින බංකොලොත් දේශපාලකයින් සමග කල්ලි ගැසෙමින් මේ රටේ සාමාන්‍ය ජනතාව මුළා කිරීමට දරන මේ උත්සාහය තරම් තවත් අපහාසයක් මේ රටේ සැබෑ රණවිරුවාට සිදුකළ නොහැකිය. ඒ අනුව අද රණවිරු නාමය යොදාගනිමින් මේ පිරිස උත්සාහ කරමින් සිටින්නේ මේ රටේ සැබෑ රණවිරුවාට නිගා කරමින් බංකොලොත් දේශපාලකයින්ගේ මනදොළ සැපරීම බව ඉතා පැහැදිළිය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news