Tuesday, July 16, 2024

කෝප් කමිටුවේ බෙදීම – බැඳුම්කර වංචාව සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතුයි – දුෂණ විරෝධී පෙරමුණ

9 කොප් වාර්තාව යටපත් කිරිමේ එජාප කුමන්ත්‍රණය රනිල් වික්‍රමසිංහගේ සැලැස්මකි)

කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබද සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලෙස බෙදීමක් මතුව ඇති බැවින්, කරුණු විමර්ශනය සදහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස දුෂණ විරෝධී පෙරමුණ අද ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.

එම පෙරමුණ මෙසේද කියයි;

කෝප් කමිටුව විසින් එකිනෙකට පරස්පර නිර්දේශ සහිත වාර්තා දෙකක් හෝ එකම වාර්තාවක් දෙ ආකාර නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීමට සුදානම් කරමින් සිටී.  කෝප් කමිටුව රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් විමර්ශන කිරීමේ විධිමත් ආයතනගත යාන්ත්‍රණය යි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන විමර්ශන සම්බන්ධයෙන් මේ වන විට කෝප් කමිටුව දේශපාලන පක්ෂ ලෙස බෙදී සිටී.  බැඳුම්කර වංචාව වත්මන් යහපාලන රජය යටතේ සිදුව ඇති දැවැන්තම වංචාව වනවා පමණක් නොව එය මෙරට මිලියන 6 කට වැඩි පිරිසක ගේ සමාජ ආරක්ෂණ ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල් හා සෘජුව බැදී තිබේ.

දුෂිත ආයතනය වෙනුවට විගණකාධිපති ප්‍රශ්න කිරීම
යම් රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ලබා දෙන නිරීක්ෂණ හා නිර්දේශවලට අදාළ රාජ්‍ය ආයතන විසින් ප්‍රතිචාර දැක්වීම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ව්‍යහාරික ක්‍රමවේදය යි.  කෝප් කමිටුව විසින් ඊයේ දිනය පුරා සිදු කොට ඇත්තේ අදාළ වාර්තාව සකස් කළ විගණකාධිපතිවරයා පක්ෂ දේශපාලන ප්‍රවේශයක සිට ප්‍රශ්න කිරීමය.  වත්මන් රජයේ යටතේ සිදු වූ දැවැන්තම මුල්‍ය වංචාව වසා ගැනීමට දැවැන්ත උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක ය.

‘‘මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ දෙය මෙය නොවේ.  එජාප හිතවතුන් කිහිප දෙනෙකු හැර අන් සියලුදෙනා 2015 හා 2016 බැදුම්කර නිකුතුවේ දැවැන්ත වංචාවක් සිදුව ඇති බව පිළිගනී.  සිදුවූ අක්‍රමිකතාවට හිටපු මහබැංකු අධිපතිවරයා සහ ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලය වගකිව යුතුය.  අද වන වට කෝප් කමිටුව පක්ෂ වශයෙන් බෙදී තම වගකීම ඉටු කළ නොහැති තත්වයකට පත්ව සිටී.  දැන් අපට ඇති එකම බලාපොරෝතුව ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාවක් මගින් විමර්ශන කටයුතු සිදු කිරීම‘‘ බව දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

2015 කෝප් කමිටුවේ අතුරු වාර්තාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට සිදු විය.  සෘජු මිලදී ගැනීම් වෙනුවට සේවක අර්ථසාධක අරමුදල් යොදාගනිමින් තැරැව්කරුවන් හරහා සිදු කළ මිලදී ගැනීම් මගින් මෙරට මිලියන 6 ක් වන කම්කරු ප්‍රජාවගේ මුදල් අයථා පරිහරණයක් සිදුව තිබේ.  මේ වන විට හෙළිදරව් වී ඇති මහ බැංකුව විසින්ම සකස් කරන ලද වාර්තාවක ද, සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව පිළිබද සදහන් ය.  කෙටි කාලීනව පමණක් නොව දිගු කාලීනව ද මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙමගින් ඇති විය හැකි බලපෑම විශාලය.

ශ්‍රී ලාංකිකයින්ගේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටන දුෂණ විරෝධී පෙරමුණ, මෙරට මිලියන 6 ක කම්කරු ප්‍රජාවගේ සමාජ ආරක්ෂන අරමුදල් ආරක්ෂා කිරීම සදහා සදහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන මෙන් දුෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කරයි.

කීර්ති තෙන්නකෝන්
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

Archive

Latest news

Related news