Thursday, May 2, 2024

දිල්රුක්ෂි වික්‍රමසිංහගෙන් ජනපති සිරිසේනට කදිම ප්‍රතිචාරයක්! – අශාන් විරසිංහ

දිල්රුක්ෂි වික්‍රමසිංහ….

මම ඇය සකලාර්ථයෙන්ම අවංක, ඍජු හා වගකීම්සහගත රාජ්‍ය සේවිකාවකැයි නොකියමි.

එහෙත්, ඇතැම් නීලකාස හොරුන්, මැරයන්, රාජ්‍ය සේවයේ සිටියදීම එහි සීමා උල්ලංඝනය කරමින් පාදඩ දේශපාලනයක නියැළුණ වුන් ආදී දූෂිත රෙජීමයක මැජික්කරුවන්ට චෝදනා ගොනු කිරීමේ වරදට දූෂණය, භීෂණය සහ මර්දනය පිටු දැකීමේ අස්සයා පිටින් පැමිණි රටේ ඉහළම කෙනාගෙන් එල්ල වූ අභූත චෝදනාවලට අතුල් පහරක් දෙමින් ගත් මේ අභීත තීරණය නම් දේශපාලන ගොහොරුවේ ගිලී ඇති රාජ්‍ය සේවය ස්වාධීන එකක් බවට පරිවර්තනය කිරීමේ වගකීම පැවරෙන්නේද රාජ්‍ය සේවකයාටම පමණි යන පණිවුඩය සමාජගත කිරීමට ප්‍රමාණවත් ය.

ඇය මේ ගත් තීරණය පිරිමි ආණ්ඩුවකට ගැහැණියක දුන් අතුල් පහරකි. දේශපාලන බලය සර්ව බලධාරී නොවන බවටත්, එහි පැවැත්ම පවා තීරණය වන්නේ අප තොතෙක් දුරට එය ඉවසන්නේද යන සීමාව නොඉක්මවන තුරු බවටත්, ඒ සීමාව තීරණය කිරීමේ සාමූහික බලය පැවරෙන අවසාන ඒජන්තවරයා අන් කවරෙකුවත් නොව පුරවැසියාම බවටත් කදිම හැඟවුමකි.

දුෂ්ට රෙජීමයක් පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ නොහැකියාවට යට වී ජනවාරි 08 හැරවුම්කාරකය “අඩි හයක් වළලා දැමීමේ” කූඨ කුමන්ත්‍රණවලට එරෙහිව නැගී සිටීමේ ආශාව තවමත් අත්හැර නොමැති අය හට ඇගේ මේ තීරණය සහන් එළියකි. අස් වුණත් නැතත්, කදිම ප්‍රතිචාරයකි.

[ප.ලි.:- එදා මහින්ද දේශප්‍රිය දූෂිත දේශපාලඥයන්ගේ අනේකවිධ බලපෑම් හමුවේ දෙකට නොනැමී නොසිටියේ නම් අද යහපාලනය ලොවෙත් නැත. එහෙව් අතීතයක් අමතක කිරීමේ ගුණමකු දේශපාලනයද අපි හෙළා දැකිය යුත්තෙමු!]

දේව පාදයෙන් පැමිණ පෙරේත පාදයෙන් පිට වෙන දුෂ්ට දේශපාලනය පිටු දකිමු…

( මුහුණු පොතෙනි)

Archive

Latest news

Related news