Wednesday, April 24, 2024

වධහිංසා පැමිණවීම අපරාධයකි; වැළැක්වීමට සිවිිල් සමාජ සහය අවශ්‍යයි – මංගල සමරවීර

( වධහිංසා වාර්තාව පිළිගන්වන ලද්දේ විශයට අදාළ අමාත්‍යවරුන්ට නොව අන්තර් ජාතික තලයෙහිදී ශ්‍රී ලංකාව මානව අයිතීන් සුරකින බවට සහතික කරන අමාත්‍ය සමරවීර  වෙතය.)

අප සියලුදෙනාම එකඟවන පරිදි, වධහිංසා පැමිණවීම අපරාධයකි.  වධහිංසා පැමිණවීම භයානක අපරාධයක් බව ප්‍රකාශ කරන විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා එය වැළැක්වීම සඳහා පළමුවෙන්ම නීතිය බලාත්මක කරන නිලධාරීන්,  විශේෂයෙන් විමර්ශන නිලධාරීන් අතර චින්තනයේ වෙනසක් ඇතිවිය යුතුය.  දෙවනුව, ආගන්තුකභාවයකින් තොරව ධාරිතා සංවර්ධනය කිරීම හා ශිල්පක්‍රම පිළිබඳ අවබෝධය තුළින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කළ හැකි ආකාරයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.  තෙවනුව, විමර්ශන සිදුකිරීමේ හා බරපතල වැරදි මැඩලීම පිළිබඳ ඒකාබදධ ක්ෂේත්‍රය තුළ නව ශිල්ප ක්‍රම සඳහා සුදුසු වටපිටාවක් ඇති කිරීම ද වැදගත් වේ.  එනම්, පොලිස් නිලධාරීන් මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ ද දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීමේ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍යයැයි සඳහන් කරයි.

එ මහතා මෙ ්බව පවසන ලද්දේ ශ්‍රි ලංකාවේ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් සිවිල් සමාජ ජාලයක් විසින් සකස් කරන ලද ඒකාබද්ධ විකල්ප වාර්තාව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පසුගිය 13 වැනි දින ලබා දුන් අවස්ථාවෙහිදීය .

සමරවීර මහතා එහිදී කළ දේශනය සම්පූර්ණයෙන් පහත පළවේ:

අශෝක් ස්ටීවන් පූජකතුමනි,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ෆිලිප් දිසානායක මැතිතුමනි,
ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමියනි,බ්‍රිටෝ ප්‍රනාන්දු මැතිතුමනි,
සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි මහත්වරුනි, මිත්‍රවරුනි,

⦁    මේ වැදගත් අවස්ථාවට සහභාගිවන ලෙස මට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත මගේ  ස්තූතිය පුදකරනු කැමැත්තෙමි.

⦁    අවාසනාවකට මෙන් වර්ෂාධික කාලයකට පසුවත් කථාබහට ලක්වී තිබෙන වධහිංසා පැමිණවීම යන කාරණය පිළිබඳව, මා හිතන අන්දමට, සිවිල් සමාජ සංවිධාන විස්සකට වැඩි ජාලයක්, එක් කිරීමේන් ඔබ විසින් කර ඇත්තේ විශිෂ්ට කාර්යයකි.  මෙහොතකට පෙර මා අතට පත්වූ මෙම විකල්ප වාර්තාව සකස් කොට නිම කිරීම සඳහා ඇපකැපවී උනන්දුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මගේ අමාත්‍යාංශය වෙනුවෙනුත් රජය වෙනුවෙනුත් මාගේ ප්‍රශංසාව පුද කරමි.  මෙම වාර්තාවේ ඇතැම් නිර්දේශ අධ්‍යයනය කිරීමටත් ඒවායින් ඇතැම් නිර්දේශ හැකිතරම් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමටත් මම බලාපොරොත්තු වෙමි.  ඇත්ත වශයෙන්ම මා මෑතදී සුදර්ශන ආයතනයට පැමිණි විටත් මෑත අතීතය ගැන කථා කෙළෙමු.

⦁    2015 ජනාධිපතිවරණයේදී අපි මෙහෙයුම් කටයුතු කළේ ඔබේ සහාය ඇතිවය.  මිනිසුන් බොහෝ දෙනෙකුට අනපේක්ෂිත පරිදි සිදුවූ මෙම වෙනස අපිනම් බලාපොරොත්තුවෙන් සිටියේ සෑහෙන කලකට පෙර සිටය.  මෙම වෙනසෙහි නිර්මාතෘවරුන්ගෙන් ඇතැම් කොටස් අද මෙහි පැමිණ සිටිති.  ඔබේ ඇප කැපවීම්වලින්  හා අවධානම් දැරීමේ කැමැත්තකින් තොරව මෙම ජයග්‍රහණය ලැබීමට නොහැකිව තිබුණි.  ඔබ මෙම ඇපකැපවීම් කළේ ඔබේ විශ්වාසය නිසාත්, නිවැරදි දේ කිරීම සඳහා ඔබේ අභිලාෂය නිසාත් ය.  ඔබ එසේ කළේ දේශපාලන උවමනා එපාකම් සපුරා ගැනීම සඳහා නොව අනාගත පරම්පරාවන්ගේ අභිවෘද්ධිය උදෙසාය.

අපේ  රට සෑම කෙනෙකුටම යහපත සලසා දෙන දේශයක් බවත් සෑම කෙනෙකුටම සහජයෙන් ලැබෙන උදාරත්වය, එම උදාරත්වය සඳහා ඇති අයිතිය සහතික කිරීම හා එම උදාරත්වයට ගරු කිරීම හා ආරක්ෂා කිරීම පිළිබඳ හැඟීම් පැහැදිලිව අනාවරණය කිරීමක් අද ඉදිරිපත් කරන මෙම වාර්තාවෙන් සිදුවේ.

⦁    විශේෂයෙන්ම අප රාජ්‍ය බලය ලබා සිටින මෙම අවධියේදී ඔබේ කටයුතුවලින් අපි බලසම්පන්න වෙමු.  අවශ්‍ය තාක්ෂණික, ධාරිතා සංවර්ධනය හා පුහුණු අවශ්‍යතා සලසාදීමත් අපරාධ හා වධහිංසා පැමිණවීමේ ක්‍රියා පිටුදැකීම ගැන අවධාරණයෙන් යුතුව අවශ්‍ය පරිපාලන හා නෛතික ප්‍රතිසංස්කරණයන් සඳහා පියවර ගැනීමෙහිලා ඔබේ කටයුතුවලින් අප රජයට සහාය සැලසේ. අපරාධ සිදුවී ඇතිවිට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම, නැවත යථා තත්ත්වයට පැමිණීම සඳහා සහායවීම හා පීඩාවට පත්වූවන් සඳහා සහනය සලසාදීමෙහිලා ඔබේ වැඩකටයුතුවලින් රජයට සහාය සැලැසේ.

වාර්තාව සකස් කිරීමට මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් වේදිකාවෙහි අසුන් ගෙන සිටියහ)
වාර්තාව සකස් කිරීමට මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් වේදිකාවෙහි අසුන් ගෙන සිටියහ)

⦁    අප සියලුදෙනාම එකඟවන පරිදි, වධහිංසා පැමිණවීම අපරාධයකි.  වධහිංසා පැමිණවීම භයානක අපරාධයකි.  බැහැර කිරීමකින් තොරව, සියලුම තත්ත්ව යටතේ එය තහනම් කරනු ලැබ තිබේ.   පිළිගත් සාම්ප්‍රදායික නීතියට අනුව, වධහිංසා පැමිණවීම හා වෙනත් කෲර, අමානුෂීය හෝ ආත්ම ගරුත්වය කෙලෙසන ආකාරයෙන් සැලකීම් හෝ දඬුවම් ලබාදීම්වලට එරෙහි ඒක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ, හා වෙනත් ඊට අදාළ සම්මුතීන්ට අනුව එය සත්‍යවේ.  වධහිංසා පැමිණවීම, අද පවා රටේ විවිධ ප්‍රදේශවල විවිධ ස්වරූපවලින් අප්‍රසන්න අන්දමින් හිස ඔසවමින් තිබේ.  ශිෂ්ඨ සමාජයේ වධහිංසා පැමිණවීමට ඉඩත් නොතිබිය යුතුය. මොනම තත්ත්වයක් යටතේ හෝ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය මර්දනය කිරීම, සන්නද්ධ ගැටුම් හෝ පොදු හදිසි අවස්ථාවක් පැනනැඟීම වැනි කුමන හෝ තත්ත්වයක් යටතේ වුවද වදහිංසා පැමිණවීම සාධාරණීකරණය කළ නොහැකිය.

⦁    මානව හිමිකම් සුරැකිමින්, ප්‍රවර්ධනය කරමින් හා සුරක්ෂා කරමින් යහපාලනය, නීතියේ ආධිපත්‍ය අනුව පිහිටා සිටින රජයක් වශයෙන්, වධහිංසා පැමිණවීම තුරන් කිරීම සඳහා කැපවී කටයුතු කරන අතර අවශ්‍ය අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගනිමින් සිටියි.  සමාජයේ විවිධ මට්ටම්වලදී ඒ පිළිබඳව වර්තමානයේ පවත්නා දැනුවත්භාවය පාසැල් විෂයමාලාවල සිට ආරම්භවන පරිදි වැඩිදියුණු කිරීම මීට ඇතුළත් වෙයි.  වධහිංසා පැමිණවීමේ සියලු ආකාර හා වෙනත් කෲර, අමානුෂීය හෝ ආත්ම ගරුත්වය කෙලෙසන ආකාරයෙන් සැළකීම් හෝ දඩුවම් ලබාදීම් කෙරෙහි රජය කිසිදු ආකාරයකින් සමාවක් ලබා නොදෙනු ඇත.  කලින් සඳහන් කළ මෙන්, මෙය රජයට තනිවම මැඩපැවැත්විය හැක්කක් නොවේ. ඔබගේ සහාය ඊට අවශ්‍යවෙයි.  මෙම තත්ත්වය හමුවේ, විකල්ප වාර්තාව අපි අගය කරමු.  කෙසේ වෙතත්, කිසිදු තත්ත්වයක් හෝ අවස්ථාවක් යටතේ වධහිංසා සහ වෙනත් කෲර, අමානුෂීය හෝ ආත්මගෞරවය කෙලෙසන සැලකීම් හෝ දඬුවම් නොඉවසන හෝ සමාව නොදෙන මානුෂීය සමාජයක් අපි බිහිකරන බව තහවුරු කිරීම සඳහා පැහැදිලි උපායමාර්ග සම්පාදනයෙහි ලා සියලුම සමාජ මට්ටම්වලදී කටයුතු කිරීමට ඔබගේ සහාය අපට අවශ්‍ය වෙයි.

⦁    ඇත්ත වශයෙන්ම, මෙම වසරේ මුල් භාගයේදී, වධහිංසාවලින් පිඩාවට පත්වූවන් සඳහා සහාය ලබාදීමේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කිරීම සඳහා පාගමනක් සංවිධානය කිරීම වෙනුවෙන් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට කෘතඥතාව පළ කිරීමට  කැමැත්තෙමි.   මෙම පාගමනට අතිගරු ජනාධිපතිතුමා ද සහභාගි විය.  රජයේ ඉහළ මට්ටමින් මේ සඳහා ඇති ඇපකැපවීම, ජනාධිපතිතුමා මෙම පා ගමනට සහභාගිවීම මගින් පෙන්නුම් කරයි.  කෙසේවෙතත්, මේ පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔබගේ තිරසාර හා අඛණ්ඩ සහාය අපට අවශ්‍යවෙයි.  සමාජයේ  සියලුම මට්ටම්වලට අයත් පුද්ගලයන් විසින් වදහිංසා පමුණුවනු ලැබීමෙන් වළකාලනු ලැබීමට හැකිවන පරිදි සියලු අකාර වූ වදහිංසා පැමිණවීම්වලට කිසිදු ආකාරයේ සමාවක් ලබා නොදීම සංස්ථාගත කිරීම මෙම වැඩසටහනට ඇතුළත් වෙයි.  අපි, මෙම වසර මුලදී මානව හිමිකම් කොමිෂන් සභාව සමග පමණක් නොව පොලිස් කොමිෂන් සභාව සමගද යලිත් වතාවක් රැස්වීමක් පැවැත්වුවා.  ඕනෑම ස්වරූපයක වධහිංසා පැමිණීම්වලට භාජනය වෙමින් සිටින යම් පුද්ගලයෙකුට පිහිට පතා යාමට ස්ථානයක්, සංසදයක් ලබාදීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම කාර්යාලයක් පිහිටුවීමට හැකිවන සැලැස්මක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළෙමු.  මෙම අදහස්වලින් සමහරක් නුදුරු අනාගතයේදීම ක්‍රියාවට මල් ඵල ගැන්වෙනු ඇතැයි මම අපේක්ෂා කරමි.  අශිෂ්ඨ පරිචයන් හෙලාදැකීමක් වශයෙන් වධහිංසා පැමිණවීම හා සමාජයෙන් තුරන්කිරීමේ අපගේ දැක්මට අනුව අනාගතයට ඔබිනා ලෙස කටයුතු කිරීමට සිදුවෙයි.  වධහිංසා පැමිණවීමෙන් තොරව පාපොච්චාරණයක් ලබාගත නොහැකිය යන සුළු පිරිසක් පමණක් අවබෝධකරගෙන සිටින සහ ප්‍රාථමික සිතුවිල්ලෙන් අපිට බැහැරවීමට සිදුවෙයි.  පාපොච්චාරණයක් ලබාගැනීමේ ආකාරයක් ලෙස වධහිංසා පැමිණවීම නැවැත්විය යුතුයි යන්න මා රැස්වීමකදී  පොලිස් නිලධාරීන් අමතා ප්‍රකාශ කළ විට එක් පොලිස් නිලධාරියෙකු ව්‍යාකූලත්වයට පත්වූ බවක් පෙන්නුම් කළේය. එම නිලධාරියා මා දෙස හැරි පැවසුවේ ” සර්, හැබැයි මුන්ට දෙකක් අනින්නේ නැතුව කට උත්තරයක් දෙන්නේ නෑනේ” කියලා. ඇත්තවශයෙන්ම, ශිෂ්ඨ, නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අපි සෑහිමකට පත්වන්නේ නම් එය අප විසින්  බැහැර කළ යුතු  ප්‍රාථමික සිතුවිල්ලක් බව මගේ අදහසයි.

⦁    අතීතයේදී අප රට තුළ වධ හිංසා පැමිණවීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ නිශ්චිත සන්ධර්භ දෙකක් තුළදීය.  පළමුව, ශ්‍රී ලංකා අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇති සාමාන්‍ය අපරාධ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව; හා දෙවනුව, ත්‍රස්තවාදය පිටුදැකීම හා අනෙකුත් ආකාරයේ සැළසුම් කරන ලද අපරාධ මර්දනය කිරීමට අදාළව වේ.

⦁    විශේෂයෙන් ත්‍රස්තවාදය සහ සැළසුම්කරන ලද අපරාධ සිදුකිරීම හා සාර්ථක ලෙස නඩු පැවරීමට අදාළව අභියෝග පවතින බව අපි පිළිගනිමු.

⦁    මේ සම්බන්ධයෙන්, පාපොච්චාරණ ලබා ගැනීමේ මාර්ගයක් ලෙස වධ හිංසා පැමිණවීම වැනි  ක්‍රියාවන්ගෙන් මිදී  විමර්ශන සිදුකිරීමේ නවීන මෙවලම් භාවිතා කිරීම දක්වා විමර්ෂන සිදුකිරීමේ ශිල්ප ක්‍රම වෙනසකට බඳුන් විය යුතුය.

⦁    මේ සඳහා පළමුවෙන්ම නීතිය බලාත්මක කරන නිලධාරීන්,  විශේෂයෙන් විමර්ශන නිලධාරීන් අතර චින්තනයේ වෙනසක් ඇතිවිය යුතුය.  දෙවනුව, ආගන්තුකභාවයකින් තොරව ධාරිතා සංවර්ධනය කිරීම හා ශිල්පක්‍රම පිළිබඳ අවබෝධය තුළින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කළ හැකි ආකාරයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.  තෙවනුව, විමර්ශන සිදුකිරීමේ හා බරපතල වැරදි මැඩලීම පිළිබඳ ඒකාබදධ ක්ෂේත්‍රය තුළ නව ශිල්ප ක්‍රම සඳහා සුදුසු වටපිටාවක් ඇති කිරීම ද වැදගත් වේ.  එනම්, පොලිස් නිලධාරීන් මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ ද දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීමේ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය වේ.

⦁    යුධ ගැටුම් අතරතුර, හමුදාව හා පොලීසිය සැකකරුවන්ට සිදුකරන ලද පීඩා මෙන්ම අධිකරණ තීන්දුවලින් පිටස්තරව සිදුකරන ලද ඝාතන පිළිබඳ චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අරගලයේ නිමාවත් සමග ඇතිවූ සාමයත් ඊට සමගාමීව, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ගේ ක්‍රියාකාරකම් හමුවේ සිවිල් ජනතාවට ඇතිවූ බලපෑම් පිළිබඳව කතාබහක් ඇතිවිය.  එහෙයින් සාමකාමී සමාජය තුළ සිදුවූ, මිනිස් වර්ගයා‍ගේ අභිමානය කෙළෙසන කටයුතු මෙන්ම ඔවුන්ගේ ජීවත්වීමේ  අයිතිය උල්ලංඝනය කිරීමේ කටයුතු එම කාරණා අතර වේ.  මේ සම්බන්ධයෙන් අප බැඳී සිටින අතර කිසිවිටෙකත් එය අමතක කොට ක්‍රියාකිරීමට සූදානමක් නොමැත.  මේ ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම අපගේ අධිෂ්ඨානයයි.

⦁    ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලන කල, විශේෂයෙන්ම 2009 ට පසු කාලීනව, පොලීසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ල වුණු අතර, හැකිතරම් කඩිනමින් මෙම ගැටළුවලට පිළිතුරු සැපයීම අත්‍යාවශ්‍ය වේ.  මේ සඳහා, අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුට නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට අයිතිය ලබාදීම ඇතුළු නෛතික ආරක්ෂණයන් හඳුන්වාදීම, තවත් බොහෝ කාරණා අතර වැදගත් අංගයකි.

⦁    වධහිංසා පැමිණවීම හා අනෙකුත් කෲර, අමානුෂීය හෝ පහත් අන්දමින් සැළකීම ආදිය මුලිනුපුටා දැමීමටත් අදාළ ජාත්‍යන්තර නෛතික ප්‍රමිතීන් අනුව කටයුතු කිරීමටත් රජය දක්වන කැපවීමෙහි අඩුවක් නොමැත. පෞද්ගලිකව සිදුකරන පැමිණිලි භාරගැනීමට, හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට ඇති හැකියාව පිළිගනිමින් හිංසනයට එරෙහි සම්මේලනයේ 22 වැනි වගන්තිය යටතේ මේ වසරේ අගෝස්තු මස රජය ප්‍රකාශයක් කරනු ලැබුවේ එම කැපවීම විදහා පෑමක් වශයෙනි.

⦁    නැවතත්, හිංසනය තුරන් කිරීමට ආණ්ඩුව දක්වන ඇපකැප වීම මා යළි යළිත් තහවුරු කරන අතර, මේ සම්බන්ධයෙන් වූ ගැටළුවලට හා ඛේදනීය තත්ත්වයන්ට පැහැදිලි අරමුණු හා ඉලක්ක සහිතව නියමිත කාලය තුළදී අවබෝධාත්මකව ආමන්ත්‍රණය කිරීම සඳහා ඔබගේ නොමඳ සහාය නිරතුරුව අ‍පේක්ෂා කරමින් මගේ කථාව අවසන් කරමි.

Archive

Latest news

Related news