Thursday, May 2, 2024

‘මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි – පොඩි මිනිසාට ලක්ෂ විස්සයි’

2013 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ගෙන්වන ලද මෝටර් රථ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිසිදු බදු මුදලක් නොගෙවා මෝටර් රථයක් මිල දී ගැනීමේ හැකියාව ලබා දී ඇතත් එන්ජින් ධාරිතාවෙන් ඉතා අඩු මෝටර් රථයක් මිල දී ගන්නා ‘පුංචි මිනිසකුගෙන්’ ඒ සඳහා රුපියල් මිලියන දෙකක පමණ බදු මුදලක් අය කර ගැනීම කොතරම් සාධාරණ දැයි නීතිවේදියෙක් ප්‍රශ්න කරයි.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් යටතේ ආනයනය කරනු ලබන මෝටර් රථයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් රේගුවට ගෙවනු ලබන්නේ දත්ත ඇතුළත් කිරීමේ ගාස්තුව වන රු1750 ක මුදලක් පමණක් බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දෙයි.

‘මන්ත්‍රී බලපත්‍රයකට ලබා ගන්නා බද්ද බිංදුවයි. නමුත් පුංචි මනුස්සයෙක් ගෙනා සීසී 600, 800 කාර් එකකට මිලියන දෙකකට වඩා වැඩි බද්දක් අය කරනවා මේ ශ්‍රී ලංකාවේ,’

‘එතකොට මොකක්ද මේ රටේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය?’ නීතිවේදියා ප්‍රශ්න කරයි.

මහජන සුබ සිද්ධිය උදෙසා යම් කිසි භාණ්ඩයක බදු අත්හැරීම යෝග්‍ය යැයි මුදල් අමාත්‍යවරයාට හැඟෙන්නේ නම් එවැනි භාණ්ඩයක් බද්දෙන් නිදහස් කෙරෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
‘කොන්දේසි නැහැ’

එසේ නමුත් තීරු බදු රහිත වාහන බලපත්‍ර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෝටර් රථ ගෙන්වීමේදී වත්මන් මුදල් අමාත්‍යවරයා විසින් ”චේතනාන්විතව” අදාළ කොන්දේසි ඊට ඇතුළත් කොට නොමැති බවට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි.

රාජ්‍ය සේවයේ උසස් තනතුරු දරන පුද්ගලයන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන්නේ මෝටර් රථයේ සම්පූර්ණ වටිනාකමින් 50% ක මුදලක් ගෙවීම සහ මෝටර් රථය අවුරුදු පහක් යන තෙක් වෙනත් අයකු වෙත බැහැර නොකිරීම ඇතුළු කොන්දේසි ගණනාවකට යටත්ව බවත් නීතිඥවරයා සඳහන් කළේය.

තීරු බදු රහිත වාහන බලපත්‍ර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ගෙන්වන ලද මෝටර් රථයක් වසර පහකට පෙර බැහැර කරනු ලබන්නේ නම් ඊට ප්‍රථම අදාළ සම්පූර්ණ බදු මුදල ඔහු විසින් රජයට ගෙවිය යුතුව ඇති බව අයබදු විශේෂ විධිවිධාන පනතේ පෙන්වා දී ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

‘බරපතළ වැරද්දක්’

“දැන් මේ කියන කොන්දේසි කිසිවක් මේ ගෙනාපු වාහනවලට ඇතුළත් කොට නැහැ. මේ ගෙනත් තිබෙන වාහනවලින් බොහොමයක් ටොයෝටා ලෑන්ඩ්කෘසර්, එක් වාහනයක බද්ද මිලියන තිස් තුන හමාරක්,”

“පර්මිට් එක විකිණුවොත් මන්ත්‍රීවරයට මිලියන විසි පහක් ලැබෙනවා. පර්මිට් එක ගන්න පුද්ගලයට මිලියන අට හමාරක ලාභයක් ලැබෙනවා. බලන්න කොච්චර බරපතළ වැරද්දක්ද කියලා,” ඔහු සඳහන් කළේය.

තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී දැයි බීබීසී සිංහල සේවය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ සඳහා පැහැදිලි උත්තරයක් ලබා දීමට මේ අවස්ථාවේ නොහැකි නමුත් සිය බලපත්‍රය භාවිතා නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් තමා සමග මෑතකදී පැවැසූ බවය

– බීබීසී සිංහල

Archive

Latest news

Related news