Friday, May 3, 2024

‘එළුග තමිල් – දෙමළ අයිතිවාසිකම් සටනක්’

(එළුග තමිල්’ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි. ජායාරූපය: ටැමිල් ගාර්ඩියන්)

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් ‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ යන මැයෙන් සංවිධානය කෙරුණ ව්‍යාපාරය දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව වරදවා වටහා නොගත යුතු යැයි උතුරු පළාතේ මහ ඇමති සී.වී විග්නේස්වරන් පවසයි.

සිය අයිතිවාසිකම් දිනා ගනු වස් හඬ නැගීම පිටුපස සිංහල විරෝධයක් නොමැති බව උතුරු පළාත් මහ ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටියි.

රට තුළ භීෂණයක් මවා පෙන්වා දෙමළ ජනතාවගේ අරමුණු මුදුන් පත් කර ගැනීමේ උත්සාහයක් සිය ක්‍රියාමාර්ගය තුළින් අපේක්ෂා නොකරන බවයි ”එළුග තමිල්” උද්ඝෝෂණයට එක් වූ මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

‘එළුග තමිල්’ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි.

ජාතික ගැට‍ළුවට දේශපාලන විසඳුමක් ලබා ගැනීම, උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම සහ දෙමළ සංස්කෘතියට බලපෑම් එල්ල වන අන්දමින් උතුරු පළාත තුළ බලහත්කාරයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නවතා ලීම යන ඉල්ලීම් තුනක් මූලික කර ගනිමිනුයි ”එළුග තමිල්” ව්‍යාපාරය දියත් කෙරුණේ.

 'එළුග තමිල් - දෙමළ අයිතිවාසිකම් සටනක්' ජායාරූපය: ටැමිල් ගාර්ඩියන්
‘එළුග තමිල් – දෙමළ අයිතිවාසිකම් සටනක්’ ජායාරූපය: ටැමිල් ගාර්ඩියන්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයා දීම, උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම් නිදහස් කිරීම යන ඉල්ලීම්ද එහි දී ඉස්මතු කෙරුණි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන් මොනවා දැයි යන්න දෙමළ නායකයින් විසින් ඉතා පැහැදිලිව සාධාරණ ලෙස කලින් පැවති රජයන්ට සහ වත්මන් රජයට පෙන්වා දී ඇති නමුත් ඒ සඳහා සාධාරණයක් ඉටු නොවන තැන මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි උතුරු පළාත් මහ ඇමතිවරයා පවසන්නේ.

”එළුග තමිල්” වැඩ පිළිවෙල සමඟ අද (24) යාපනය නගරයේ සියළුම වෙළඳසැල් වසා දමා තිබූ අතර ගමනාගමන කටයුතු බෙහෙවින් අඩාල වී තිබූ බව දිනසේන රතුගමගේ බීබීසී සිංහල සේවයට වාර්තා කරයි.

සෙනසුරාදා දිනවල විවෘත කිරීමට නියමිත රජයේ කාර්යාල විවෘතව පැවති නමුත් නිලධාරීන් ස්වල්ප දෙනකු පමණක් රාජකාරියට වාර්තා කොට තිබිණි.

යාපනය නගරයට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා තිබෙනු දක්නට ලැබිණි.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news