Tuesday, April 30, 2024

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝගයෙන් ජාතික මාධ්‍ය වාරණය කර ගනු ලැබූ මුල්‍ය අපචාර චෝදනාව මෙන්න

( නිමල් බෝපගේ)
(ජනපති, අගමැති, විපක්ෂ නායක, මහින්ද, ඇමතිවරු පට්ට ගහන ජනමාධ්‍ය, අමාත්‍යාංශ ලේකම් ට විතරක් බය ඇයි?)

    සිවිල් නඩුවක චූදිතයෙක්, කෝප් කමිටුව හමුවේ විභාගයට වත් පෙනී නොසිටි චෝදනා එල්ල වූ අයෙක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් බෝපගේ නිමලවීර හෙවත් නිමල් බෝපගේ මහතාට එල්ල වී ඇති චෝදනා රැසක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපති ලේකම්වරයාට සහ උසස් තනතුරු සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී ඇත. මුල්‍ය වංචා, අපචාර පිළිබද සිවිල් නඩුවක චූදිතයෙකු, කෝප් කමිටුව මගින් විමර්ශන සදහා යොදු කළ පුද්ගලයෙකු සහ මේ වන විට දේශපාලන බලය යොදා ගනිමින් තමන්ට එරෙහි චෝදනා විමර්ශනය වලක්වාගෙන සිටින පුද්ගලයෙකු ජනමාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම පිළිබද දුෂණ විරෝධී පෙරමුණ සිය දැඩි විරෝධය පළ කරයි.

මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලාවක් බවට පත් කොට ඇති අමාත්‍යාංශය ලේකම්වරයා ඔහුට එරෙහිව ඇති චෝදනා විමර්ශනය අවසන් වන තෙක් හෝ ඔහුගේ වගකීම්වලින් ඉවත් කරන ලෙස දුෂණ විරෝධි පෙරමුණ අදළ වගකිවයුතු අංශ වෙතින් ඉල්ලයි.

නිමල් බෝපගේ මහතා ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වීම පිළිබඳව කැෆේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන රැසක් විරෝධය පළ කර තිබේ.

මේ ආකාරයට මාධ්‍ය නිදහසට බලපෑම් කිරීම ක්‍රම විරෝධී ක්‍රියාවක් බව එම සංවිධාන විසින් අවධාරණය කර තිබේ. මීට පෙරද නිමල් බෝපගේ මහතා “ඒකාබද්ධ විපක්ෂය“ යනුවෙන් භාවිත නොකරන ලෙස දන්වා අමාත්‍යංශ ලිපි ශිර්ෂයක් යොදාගිනිමින් ජනමාධ්‍ය වෙත තර්ජනය කර තිබුණි. තවද එක්තරා රූපවාහිනි නාලිකාවක් මඩකලපුව ප්‍රදේශයේ හිමි නමක් විසින් සමරු ඵලකයක් කඩා බිඳ දමන අයුරු විකාශය කිරීම සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වරයා බලපෑම් එල්ල කර තිබේ. අමාත්‍යංශ ලේකම් වරයෙකු ගේ කාර්ය භාරය වන්නේ සංස්කෘතික පොලිසියක් හෝ දේශපාලන මාෆියාවක් ලෙස කටයුතු කිරීම නොවේ. අදාල අමාත්‍යංශයට අදාල කටයුතු වල පරිපාලනමය රාජකාරි ඉටු කිරීම හැර ජනමාධ්‍ය නියාමනය කිරීම අමාත්‍යංශ ලේකම් වරයාගේ රාජකාරියක් නොවේ. මේ බව අවධාරණය කරමින් කැෆේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වරයාට, ජනමාධ්‍ය අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට පිටපත් සහිතය නිමල් බෝපගේ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බෝපගේ නිමල්වීර හෙවත් නිමල් බෝපගේ විසින් රුපියල් කෝටි 10ට වඩා මුදල් වංචා කිරීමේ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවල තනතුරු සඳහා පත් කෙරෙන ලද පුද්ලයන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා පත්කර ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, ගරු කථානායක වරයාට මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ද දන්වා තිබේ. තවද එම චෝදනා සම්බන්ධයෙන් බරපතල දූෂණ චෝදනා විමර්ශන ඒකකය හා කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව මඟින්ද නිමල් බෝපගේ මහතා වෙත චෝදනා එල්ල කර ඇත.
2010 / 09 / 19 වන දින සිට 2012/06/19 වන දින දක්වා නිමල් බෝපගේ මහතා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කර තිබේ. එම කාල සීමාව තුළ ඔහු විසින් විවිධ වැඩසටහන් සහ අවස්ථා රැසකදී මෙම මූල්‍ය වංචාවන් සිදු කර ඇත. බෝපගේ මහතා මෙම ධුරය දැරූ සමයේ ඔහුගෙන් ආයතනය වෙත අයවිය යුතු රුපියල් 30,000 ක මුදලක් අය කර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණයේ DMR 2624/2014 දරණ නඩු අංකය යටතේ සිවිල් නඩුකරයක් ද පවරා ඇත.

කෝප් කමිටුව විසින් වරදකරු කරලා

නිමල් බෝපගේ ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ )NHRDC) සභාපති වරයා වශයෙන් කටයුතු කළේය. ඔහු සභාපතිත්වය දැරූ කාලයේ සිදුවූ බව කියන දූෂණ හා මුදල් අක්‍රමිකතා හේතුවෙන් කෝප් කමිටුව විසින් ඔහු වරදකරු කර ඇති බවත් වගකීමකින් යුතුව දන්වා සිටිමු. මේ පරීක්ෂණය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ද පදනම් කරගෙන ඇති බව පැහැදිලි වෙයි.

ඔහුට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණවලින් අනතුරුව 2014 නොවැම්බර් මස 18 වැනි දිනැතිව මේ සම්බන්ධයෙන් ගත යුතු නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ කෝප් කමිටුව නීතිපතිවරයාගෙන් සවිස්තරාත්මක විශ්ලේෂණයක් ද ඉල්ලා යවා තිබේ. එම ඉල්ලීමට පිළිතුරු ලෙස ලැබී ඇත්තේ මෙම චෝදනා හා අක්‍රමිකතා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි කළ යුතු බවයි. එය 2015 අගෝස්තු මස 04 දිනැති නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපියකින් තහවුරු වෙයි. එමෙන් ම නඩු පැවරීමේ කටයුතු සඳහා විමර්ශනයෙන් අනාවරණය වන තොරතුරු ද නීතිපති දෙපාර්තමේන්තුවට එවන ලෙස උපදෙස් දී ඇත.

2016 මාර්තු මස 10 වැනි දින මේ සම්බන්ධ නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබේ. අනතුරුව එය වැල්ලවත්ත පොලිසියේ වංචා විමර්ශන අංශයට යොමු කර තිබිණි. එසේ වුව ද මේ දක්වාම ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් බව වාර්තා වී නැත.

නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා කෝප් කමිටුව විසින් යොමුකරන ලද වාර්තාවේ අඩංගු කරුණු කිහිපයක් පහත අනු අංක යටතේ සඳහන් කර ඇත.
1. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික අංශයේ රැකියා අපේක්ෂකයන් ලියාපදිංචිකර ඔවුන් 2012 මාර්තු 31 වැනි දිනට පෙර රැකියාගත කිරීමේ ‘විරැකියාවෙන් සුරැකියාවට“ ව්‍යාපෘතිය 2012 මාර්තු මස 31 වන දිනෙන් අවසන් වී තිබුණු අතර මේ සඳහා වැය කළ මුදල රුපියල් 2,218,153 කි. බාහිර උපදේශකයකු විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර අපේක්ෂිත අරමුණු කිසිවක් ඉටු නොවී ඇති බවත් විගණකාධිපති විසින් පෙන්වා දී ඇති පරිදි එය මුලුමනින් ම අසාර්ථක ව්‍යාපෘතියක් වී ඇත. එසේ තිබිය දීත් 2012 අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලයකට සෙසු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යැයි දක්වමින් සභාපතිවරයා විසින් එම උපදේශකවරයා ම පත්කර ඒ සඳහා රුපියල් 280,000ක් වැය කර තිබිණි.

ඒ සම්බන්ධව පහත නිරීක්ෂණයන් සිදුකර ඇත.
අ) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්ක කිරීම සඳහා පාලක මණ්ඩල ආවරණ අනුමැතියක් හෝ ලබාගෙන නැත.
ආ) සෙසු ව්‍යාපෘති යනුවෙන් දක්වා තිබුණ ද එමගින් ඉටුවන කාර්යයන් මෙන් ම යටත් පිරිසෙයින් ඒවා කුමන ස්වරූපයේ ව්‍යාපාතීන් ද යන්න පවා පැහැදිලි කර නොතිබිණි

ඇ) ඇස්තමේන්තු වටිනාකම රු.700,000ක් වු මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉටුකිරීම සඳහා ගිවිසුමකට එලඔ නොතිබුනිග ප්‍රගතිය පිළිබඳ විස්තර කිසිවක් නොතිබුඅතර උපදේශකවරයා වෙත යම් කාර්යභාරයක් පැවරුවේද යන්න පවා අවිනිශ්චිත විය.

ඈ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන අනුගමනය කර මෙය තරඟකාරී ලංසු කැඳවීමකට යොමුකර නොතිබිණි. අදාල සැපයුම්කරුගේ පූර්ව සුදුසුකම් පරීක්ෂාවකට ලක්කර නොමැති අතර ගිවිසුමේ සඳහන් විධිවිධානවලට අනුකූලව සේවා ඉටුකර ඇති බවට සහතිකයකින් තොරව ගෙවීම් සිදුකර ඇත.
ඉ) මෙම ව්‍යාපෘතිය මගින් මුදුන් පමුණුවාගත් අරමුණු කිසිවක් නොමැති බැවින් ඒ වෙනුවෙන් වයැකළ රුපියල් 280,000ක මුදල නිශ්ඵල වී ඇත.

2. 2012 පෙබරවාරි 03 සිට 12 වන දින දක්වා අනුරාධපුර ඔයාමඩුවේ දී පැවැති දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනය වෙවෙන් රු. 2,592,431 ක් වැය කර ඇත. ඒ සම්බන්ධව පහත සඳහන් කරුණු විගණකාධිපති විසින් නිරීක්ෂණය කර ඇත.
අ) සභාවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය 06ක් හා උපදේශකවරයා ඇතුළු කාර්ය මණ්ඩලය 07ක් ලෙස 13 දෙනකු පමණක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වී තිබුණු අතර ඔවුන් සඳහා 2012 පෙබරවාරි 02 සිට 12 දින දක්වා ආහාර වෙනුවෙන් රු.61,180ක් පර්යේෂණ සහකාර නිලධාරීන් විසින් වැයකර තිබිණි. නමුත් හිටපු සභාපතිවරයා විසින් නැවතත් දින 08 ක් සඳහා නිලධාරින් 25 දෙනකුට ආහාර සැපයීම කළ බවට දක්වමින් රු.88,390ක මුදලක් ලබාගෙන තිබීම මතභේදයට ලක් වූ ගනුදෙනුවකි.

ආ) හිටපු සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ බිල්පත් අනුව පුද්ගලික ආයතනයක් වෙත රුපියල් 60,050ක් ගෙවා තිබූ නමුත් ඉන් සභාවට ලද ප්‍රතිලාභයක් නැත.
ඇ) නවාතැන් සඳහා නිවාස 02ක් හා හෝටලයක් වෙන්කරගෙන ඒ සඳහා රුපියල් 367,178ක් වැය කර තිබුණ ද ව්‍යාපෘති උපදේශක ඇතුළු කාර්ය මණ්ඩලය පූර්ණකාලීනව දින 15ක් එහි රැඳී සිටි බවට සාක්ෂි නොමැත. එමෙන් ම එම නිවාසවල පැවති පහසුකම්ල නවාතැන්ගත හැකි සංඛ්‍යාව යනාදී තොරතුරු විගණනයට ඉදිරිපත් වී නැත.

3. 2011 සැප්තැම්බර් 22 වන දින සිට 2012 සැප්තැම්බර් 22 දින දක්වා මානව සම්පත් සංවර්ධන වසර ලෙස සභාව විසින් හඳුනාගෙන තිබූ අතර ඒ වෙනුවෙන් “නිපුනතා සඳ “ යනුවෙන් ආධුනික රූපවාහිනී ගායනා තරඟයක් දිස්ත්‍රික්ල පළාත් හා ජාතික මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර තිබිණි. මේ සඳහා ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් 3,107,497 ක් හා අනෙකුත් වියදම් සඳහා රුපියල් 26,889ක් ද ලෙස එකතුව රු 3,124,386ක් වැය කළ බව හඳුනාගෙන තිබිණි. එසේ වුව ද 2012 ජුනි මාසයෙන් පසු මෙම ව්‍යාපෘතිය අතහැර දමා ඇත.

4. ශ්‍රී ලංකාවේ රැකියා විරහිත වෘත්තිකයන් සම්බන්ධව දත්ත පද්ධතියක් සකස් කර පවත්වාගෙන යාම සඳහා 2011 සැප්තැම්බර් මස සභාව හා පුද්ගලික ආයතනයක් වන පියෝටෙල් ලංකා පුද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට එළඹී ඇති අතර,
අ) ඉදිරිපත් කළ පිරිවැය ඇස්තමේන්තුව අනුව වෙබ් අඩවිය නිර්මාණයට අවශ්‍ය ඩෙඩිකේට් සර්වරය සඳහා රු.40,000 ක් වැය කර තිබුණ ද එම කාරණය සඳහාම නැවතත් රු.132,500 ක් ගෙවා තිබිණි.
ආ) ගිවිසුම අත්සන් කිරීමට පෙර ව්‍යාපෘතිය සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදුකර නොතිබූ අතර කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමට ප්‍රසම්පාදන මාර්ගෝපදේශන අනුගමනය කර නැත.

ඇ) දත්ත පද්ධතිය හා වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණ ද ඒවා භාවිතයට ගෙන නැති බැවින් වය කළ මුදල වන රු.942,975 ක මුදල නිෂ්ඵල වී ඇත.
5. දිස්ත්‍රික් සමාලෝචන රැස්වීම පැවැත්වීම සඳහා අවස්ථා දෙකක දී හිටපු සභාපති විසින් එකතුව රුපියල් 68,100ක් වන මුදලක් ලබාගෙන තිබුන ද එවැනි රැස්වීම් පැවැත්වූ බවට සාක්ෂි නැත.

6. ග්‍රන්ථයක් ප්‍රකාශ කරන බවට පුවත්පත් දැන්විමක් සඳහා රුපියල් 43,097 ක් හා වෙනත් වියදම් රුපියල් 26,314ක් වැය කර තිබුන ද එවැනි පොතක් ප්‍රකාශයට පත්කර නොමැත.

7. විද්‍යුත් හා පුවත්පත් මාධ්‍ය දැන්වීම් සඳහා සෘජුව මාධ්‍ය ආයතන වෙත අදාල කාර්යයන් බාර දීම වෙනුවට ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් අනුගමනය නොකර තෝරාගත් පෞද්ගලික ආයතනයක් වෙත 2012 වසර තුළ පමණක් රුපියල් 4,937,720ක් ගෙවා ඇත. එනේ ම මෙම ආයතනය නිමල් බෝපගේ සභාපතිවරයාගේ ස්ථිර පදිංචි ලිපිනයේ ම පවත්වාගෙන යන ව්‍යාපාරයක් බව යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යවරයා විසින් හිටපු සභාපති වෙත නිකුත් කළ පත්වීම් ලිපියේ සඳහන් ලිපිනය සහ එම සමාගමේ ලිපි ශීර්ෂවල සඳහන් ලිපිනය අනුව තහවුරු වී ඇත.

8. සභාවේ මූළික අරමුණ වන මානව සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් අදාල වර්ෂය සඳහා වෙන් කළ මුලු පුනරාවර්තන වියදම වන රු.30,247,869 න් රු.19,182,148ක් වැය කර තිබුන ද මෙම මුදලින් රු.9,939,546ක මුදලක් හෙවත් සියයට 52ක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කර තිබීම.

9. ඉදිකිරීම් කටයුතු, වාහන, පරිගණක කුලියට ගැනීම් හා ටී ෂර්ට් සහ කැමරා මිලදී ගැනීම් සඳහා එකතුව රු 577,350 ක් වැය කර තිබුනත් ඒ සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශන අනුගමනය කර නොතිබිණි.

10. විකල්ප වෘත්තීය මාර්ගවලට යොමු වීම තුළින් ජීවිතය ජයගත හැකි බව හා ඒ සඳහා ඔවුන් අදාල පුහුණු ආයතනවලට යොමු කිරීම සඳහා මූලික අරමුණු කරගෙන අ.පො.ස (සාපෙළ) හා (උපෙළ) අසමත් සිසුන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද Fly Net ව්‍යාපෘතිය දියත් කර තිබිණි. මේ පිළිබඳ පරීක්ෂාවේ දී පහත සඳහන් නිරීක්ෂණයන් කර ඇත

අ) F 03 හා W 09 හා Fly Net වශයෙන් වූ විවිධ නම්වලින් ක්‍රියාත්මක කළ ඉහත විභාග අසමත් සිසුන් සඳහා වූ වැඩසටහන වෙනුවෙන් 2010 සිට 2012 දක්වා කාලයේ දී රු.21,055,033ක් වැය කළ ද මේ සඳහා සහභාගී කරගැනීමට හැකිවී තිබුණේ සිසුන් 465,057ක් හෙවත් අපේක්ෂිත සිසුන් සංඛ්‍යාවෙන් 2.49ක් පමණි. එම සිසුන් 11,578 දෙනාගේ ප්‍රගතිය පිලිබඳව ද කිසිදු දත්තයක් සභාව සතු නොවූ අතර මෙම වියදමින් සියයට 61ක් ප්‍රචාරණය සඳහා විය
11. සංයුක්ත සැලැස්මේ වූ ක්‍රියාමත්ක කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් සඳහා යැයි දක්වමින් අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා රු.22,400ක් ගෙවා තිබූ නමුත් එමගින් ඉටු වූ අරමුණු කිසිවක් නොවීය.

බෝපගේ විමර්ශණ මඟහරියි

කෝප් කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ අනුව මේ පිළිබඳ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත ද පැමිණිල්ල යොමු කර ඇති අතර විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි. එසේ විමර්ශන කටයුතු සිදු කළ ද බෝපගේ පරීක්ෂණ සඳහා සහභාගී වී නැත. ඒ විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්නොවුණි.

මෙවැනි චෝදනා එල්ල වූ හා කෝප් කමිටුවේ දී වරදකරු බවට සනාථ වූ පුද්ගලයකු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැනි රටේ ඉතාමත් වැදගත් හා වගකීමක් සහිත අමාත්‍යාංශයක ලේකම්වරයකු ලෙස පත්කිරීම බරපතල තත්වයක් බව දූෂණ විරෝධී පෙරමුණේ හැඟීමයි. ඔහු එවැනි වගකීමක් සහිත තනතුරක් හෙබවීමට නුසුදුස්සකු බවත් ඔහුගේ සේවා ඉතිහාසය පුරාම වගකීම් විරහිතව අත්තනෝමතික ලෙස කටයුතු කරමින් රජය අපහසුතාවයට ලක්කළ පුද්ගලයකු බවත් සනාථ කළ හැකි කරුණු ඕනෑ තරම් ඇත.

එබැවින් මේ පිළිබඳ කරුණු සොයාබලා බෝපගේ නිමලවීර මහතා හෙවත් භාවිත නාමය අනුව නිමල් බෝපගේ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවල තනතුරු සඳහා පත් කෙරෙන ලද පුද්ලයන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා පත්කර ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවෙන් ද ඉල්ලා තිබේ.

මාධ්‍ය ඒකකය
දූෂණ විරෝධී පෙරමුණ

2016 සැප්තැම්බර් මස 23 වැනිදා

Archive

Latest news

Related news