Monday, May 20, 2024

ජනප්‍රිය පාසල් පොරය: ඇමැති රාජිත – වෛද්‍ය සංගමය අතර එකඟතාවය හෙළි කරනු – ලංකා ගුරු සංගමය

( ජෝසප් ස්ටාලින්. ප‍්‍රධාන ලේකම් – ලංකා ගුරු සංගමය (c)සුනන්ද දේශප්‍රිය)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට බල කරමින් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින් සොයිසා මහතා මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත. ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වූ එකඟතාවය වහාම හෙළි කරන ලෙස ලංකා ගුරු සංගමය බලකර සිටී.

පාසල් පද්ධතියේ ජාතික පාසල් 350 අතරින් අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල් 36 ක් පවතින අතර එම පාසල්වලට පමණක් වෛද්‍යවරු තම දරුවන් ඇතුළත් කිරීමට බල කිරීම තුළ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම අවස්ථාව අහිමිකර වරප‍්‍රසාදිත පන්තියක දරුවන් පමණක් එම පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ දරණ බවකි. පසුගිය කාලයේ වෛද්‍යවරු මෙන්ම රජයේ සේවයේ වරප‍්‍රසාදිත සේවාවන්වල යෙදී සිටින නිලධාරීන් තම දරුවන් මේ ආකාරයට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවකි. ස්ථාන මාරු ලබන රජයේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ප‍්‍රායෝගිකව අහිමි මෙම හිමිකම මොවුන් බලහත්කාරයෙන් හිමිකරගෙන තිබීම සමානව සැලකුම් ලැබීමට ඇති හිමිකමට ද බලපෑමකි.

1 ශ්‍රේණියෙන් පසු අතරමැදි පන්තිවලට මෙලෙස දරුවන් ඇතුළත් කිරීම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණක් ලබා මෙම අති ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හිමිකම් ලැබීමට ඇති අවස්ථාව බරපතල ලෙස උදුරා ගැනීමකි. අධ්‍යාපනය පද්ධතියේ ළමුන් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙලක් නොතිබීම මෙන්ම පවතින චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට ඉඩ හැරීම තුළ මන්ත්‍රීවරයෙකු පාසල තුළ ගෙලවැල ලා ගැනීමේ සිද්ධියේ සිට වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ බලහත්කාරයෙන් රැඳීම මෙන්ම දෙමාපියන් පාසල් ඉදිරිපිට උපවාස කරන තත්වයක් රටපුරා උද්ගත වී ඇත.

වෛද්‍යවරුන්ගේ දරුවන්ට මෙලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ විශේෂ අවස්ථාවක් සැලසුවහොත් වරප‍්‍රසාදිත පන්තියකට පමණක් මෙම පාසල්වල අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවන අතර, රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම පාසල්වල ඉගෙනීමේ අවස්ථාව අහිමි වේ. එයින් සම අධ්‍යාපන අවස්ථාවන් තවදුරටත් අහිමි කිරීමක් සිදු වේ. සැමට සාධාරණ ලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අයිතිය උල්ලංඝණය වන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම බලහත්කාරී ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය එම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් රජයේ බලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත මෙන්ම රාජිත සේනාරත්න ඇමතිවරයා සමග සිදු වූ එකඟතාවය වහා හෙළිදරව් කරන ලෙස බලකර සිටී.

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම් – ලංකා ගුරු සංගමය

Archive

Latest news

Related news