Monday, May 20, 2024

ශ්‍රී ලංකාවට සංස්කෘතික පොලිසියක් ?

ශ්‍රී ලංකාවේ ITN රාජ්‍ය රූපවාහිනිය වැඩිහිටියන්ට වඩාත් සුදුසු සම්මානිත විදේශීය වැඩසටහන් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයකට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විරෝධය පලවෙමින් පවතී.

“අපේ සංස්කෘතියට සහ දරුවන්ට හානිකර මෙවැනි වැඩසටහන්වලට මම තරයේ විරුද්ධ වෙමි,” යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් යැවුණු එම පණිවුඩයේ සඳහන් වී තිබිණ.

විශේෂයෙන්ම මේ මතභේදය හටගෙන තිබෙන්නේ, ITN නාලිකාව විකාශනය කරන Homeland ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහන් මාලාව පිළිබඳවය.

කිසියම් වැඩසටහනක අන්තර්ගතය පිළිබඳව ප්‍රශ්න කිරීමට ඕනෑම පුද්ගලයකුට අයිතියක් තිබිය හැකි වුවත් ‘සංස්කෘතික පොලිසියක්’ ලෙසින් ක්‍රියාකිරීමට රාජ්‍යයට අයිතියක් තිබෙන්නේ දැයි යන්න සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා මතුකරන ප්‍රශ්නයකි.

අයහපත් පූර්වාදර්ශයක් :

අන්තර්ගතය කවරක් වුවත්, වැඩසටහනක් වාරණය කිරීම පිණිස සංස්කෘතිය යොදාගැනීම ඉතා අයහපත් පූර්වාදර්ශයක් සපයන්නක් බව ‘ග්‍රවුන්ඩ්වීව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ සංජන හත්තොටුව ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.

ඉරිදා රාත්‍රියේ විකාශනය වීමට නියමිතව තිබුණු Homeland වැඩසටහන හදිසියේම නවතා දැමීම පිළිබඳව සිය මිතුරන් දැඩි කෝපයෙන් අදහස් දැක්වූ බව ස්වර්ණවාහිනී පුවත් සේවයේ නිෂ්පාදකවරයකු වන වජිර සුමේධ පවසයි.

ITN නාලිකාව ‘දරුවන් නින්දට ගිය පසු නරඹන්නට’ බව පවසමින් හදිසියේම සිය ලාංඡණය පවා වෙනස් කිරීම මේ ගැටලුවට තුඩු දුන් ප්‍රධානම හේතුව බව, ඒ පිළිබඳව කළ විමසීමකදී මාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ බීබීසී සංදේශයට කියා සිටියේය.

නාලිකාවේ එම ප්‍රචාරක දැන්වීම අදාළ වැඩසටහන් රහසිගතව නැරඹීම සඳහා ‘වක්‍රාකාර ලෙසින් දරුවන් පෙළඹවීමක්’ බවත් ලේකම්වරයා සඳහන් කළේය.

“දරුවන්ගේ අනාගතය ගැන අපිට වගකීමක් තියෙනවනේ? අපි කිවුවේ ඒක ගැන සාකච්ඡා කරමු කියල,” ලේකම්වරයා සඳහන් කළේය.

“අමාත්‍යාංශය ඇතුලේ කතිකාවතකින් පස්සේ මේ වෙනස කළා නම් මේක මෙහෙම වෙන්නේ නෑ.”

වැරදි මතවාදයක් :

ලේකම්වරයාගේ මතය ප්‍රකාර එම වැඩසටහන විකාශනය කිරීම නවතා දමන්නේ දැයි විමසීම පිණිස ITN නාලිකාවේ සභාපති සමන් අතාවුදහෙට්ටි ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

කෙසේ නමුත් ‘වැඩිහිටියන්ට පමණක්’ යනුවෙන් සඳහන් කළ පමණින් එහි ලිංගික දර්ශන ඇතුලත් වන බවට සම්පූර්ණයෙන්ම වැරදි මතවාදයක් ශ්‍රී ලංකා සමාජය තුල පැතිර පවතින බව, ‘මිරර් ආර්ට්ස්’ වෙබ් අඩවිය වෙත කරුණු දක්වමින් සමන් අතාවුදහෙට්ට්ටි පවසා තිබිණ.

මේ ආකාරයෙන් රටක පුරවැසියන්ගේ ‘ආයම්මා’ ලෙසින් කටයුතු කිරීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට බලය පැවරෙන නීතිය හෝ විධිවිධාන කවරක්දැයි තවමත් සොයමින් සිටින බව, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිණි විජේදාස සිය ටිවිටර් පණිවුඩයක සඳහන් කරයි.

වේදිකාවට තනපටයක් :

කෙසේ නමුත් සංස්කෘතික පොලිසියක් ලෙසින් හැසිරීමට උත්සාහ දරන බවට ආණ්ඩුවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යංශ ලේකම්වරයා ‘සංදේශය’ට කියා සිටියේය.

විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍යවල අන්තර්ගතය සම්බන්ධයෙන් සිය අවධානය යොමු නොකළහොත්, විදේශීය රූපවාහිනී දර්ශන ප්‍රදර්ශනය කර රටේ සංස්කෘතිය විනාශ කිරීමට උත්සාහ දරන බවට එල්ල වන චෝදනාවලට මුහුණදීමට සිදුවන්නේත් ආණ්ඩුවටම බවත් නිමල් බෝපගේ වැඩිදුරටත් පැවසීය.

ලේකම්වරයාගේ මතය කවරක් වුවත් Homeland වැඩසටහන් මාලාව දිගටම ප්‍රදර්ශනය කිරීමට අයිටීඑන් නාලිකාව තීන්දුවක් ගෙන තිබෙන බවත් සංදේශයට වාර්තා වේ.

පසුගියදා කොළඹ පැවති එන්රික් ඉග්ලේසියස් ගායකයාගේ Sex and Love සංගීත සංදර්ශනය අතරවාරයේ වේදිකාවට තනපටයක් විසිකිරීම ‘අශිෂ්ඨ, අශීලාචාර’ හැසිරීමක් ලෙසින් විග්‍රහ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට මාස කිහිපයකට ඉහතදී පල කළ මීට සමාන අදහසක්ද සමාජ ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට ලක්විය.

කාන්තාවන්ගේ තනපට පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා ලංකාවේ කාන්තාවන්ට ‘ප්‍රශ්න නැවක් තිබෙන’ බව මානව හිමිකම් ක්‍රියාධාරිනී කුමාරි කුමාරගමගේ ඒ අවස්ථාවේ ‘සංදේශය’ට කියා සිටියේය.

(බිබිසි සංදේශය)

Archive

Latest news

Related news