Tuesday, April 30, 2024

සිවිල් සමාජ කණ්ඩායම් ජනාධිපතිවෙත සිය සහාය යළි සහතික කරයි!

( අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ©s.deshapriya)

අති ගරු ජනාධිපති ,
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ,

ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණය වෙනුවෙන් සෝභිත හිමියන්ගේ උපදෙස් සහ ඉල්ලීම මත දායක වූ සිවිල් සමාජය ඉදිරිපත් කරනු ලබන සංදේශයයි.

අති ගරු ජනාධිපතිතුමනි ,

ජනවාරි 08 වෙනිදා සිදු වූ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ සිවිල් සමාජයේ නියෝජිතයන් වන අපි, ඔබතුමන් විසින් අතිසංකීර්ණ ගැටලු හා බාධා මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස රටේ සියලු පුරවැසියන්ට උරුම කරදීමට ගන්නා වූ උත්සාහයට හා ඒ වෙනුවෙන් ගෙන තිබෙන පියවර ගැන අපේ ප්‍රණාමය පළ කරන්නෙමු.
ජාත්‍යන්තරයේ පීඩනයෙන් රට මුදා ගෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවය දින ගැනීමට ඔබතුමා සමත්වීම ගැන ද අපේ ගෞරවය පළ කරන්නෙමු. ඒ ගෞරවය රටේ අභිවෘධිය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබතුමන්ට ලැබේවායි ද අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු .

සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පවතින ජාතික ගැටළු නිරාකරණය කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන, අප්‍රතිහත ධෛර්යයෙන් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ගෙන තිබෙන පියවර ගැන ද අපේ ප්‍රණාමය පළ කරන්නෙමු.

janaranjanasarath-saman
ජනරජන, සමන් රතුනප්‍රිය සහ සරත් විජේසූරිය: ශ්‍රිලනිපය උතුම් පක්ෂයකි; අපේ අදහසුත් අහන්න

රට පාලනය කළ උතුම් පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ගවාදී හා වැඩවසම් ගති ලක්ෂණවලින් දූෂණය කර තිබුණ සංදර්භයක වුව, ඔබතුමා කෘතහස්ත දේශපාලනඥයෙකු ලෙස වර්ගවාදයට එරෙහි ආස්ථානයක් ගනිමින්, මානවවාදී ස්ථාවරයක පිහිටා කටයුතු කිරීම හා, අවංකව ඒ වෙනුවෙන් ජනාධිපති පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව කැපවීමෙන් පෙනී සිටීම ගැනත් අපගේ ගෞරවාදරය පිරිනමන්නෙමු.

ජනාධිපතිතුමනි,

දීර්ඝ කාලයක් තිස්සේ විපරීත වුණ දේශපාලන සංස්කෘතියක් ප්‍රකෘති තත්වයට ඉක්මනින් පරිවර්තනය කළ නොහැකි බව අපි දනිමු. එනමුත් යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් ගොඩ නැගිය යුතු සම්ප්‍රදායන්ට පටහැනිව ඇතැම් අමාත්‍යවරුන් හා ඇතැම් නිලධාරීන් කටයුතු කරන අන්දම කණගාටුදායකය. රාජ්‍ය මුදල් අවභාවිතය හා දූෂණය සම්බන්ධව දිගින් දිගටම චෝදනා ලබන අමාත්‍යවරුන් ද, රාජපක්ෂවරුන්ට අනුග්‍රහශීලි වෙමින් දුෂණ වංචා විමර්ශනවලට අත පොවන අමාත්‍යවරුන්ද, රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන ඇතැම් නිලධාරීන් ද, සම්බන්ධව ඔබතුමාගේ දැඩි අවධානය යොමු විය යුතුය.

මේ කාරණාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමන් සමග සාකච්ඡා කොට ඉක්මනින් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

විගණන පනත සම්මත කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම ද බරපතල තත්වයකි. ඊට මුල් වී තිබෙන්නේ රාජපක්ෂ හිතවාදී ලේකම්වරුන්ගේ බලපෑම බව පැහැදිලි කරුණකි. දූෂිත රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුවට තර්ජනකාරී ස්වරූපයකින් කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුය.

කැපවීමෙන් හා නීති ගරුකව රාජකාරි කිරීමට සමත් නිලධාරීන් සිටින බව අපගේ පිළිගැනීමයි. එබැවින් ඇතැම් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මහජනතාවගේ දැඩි අප්‍රසාදයට පත් කිරීමට මුල් වී සිටින නිලධරීන් සම්බන්ධව නිර්භීතව අවශ්‍ය පියවර ගන්නා මෙන් ද අපි ඉල්ලා සිටින්නෙමු .

ජනාධිපතිතුමනි,

පසුගිය දිනක අධිකරණයෙන් ලැබුන දුමින්ද සිල්වා සම්බන්ධ නඩු තීන්දුව සමගින් ආණ්ඩුව කෙරේ විශාල ගෞරවයක් ආණ්ඩුවට සමාජයෙන් මතු වුන බව පැහැදිලි සත්‍යකි . ඉන් ගම්‍ය වන්නේ රටේ නීතිය සාධාරණ අන්දමෙන් ක්‍රියාත්මක වීම හා යුක්තිය පසිදලීම සම්බන්ධව ජනතාව තුළ දැල්වෙමින් පවතින පරම අභිලාෂයයි.

ආණ්ඩුවේ කීර්තියට පමණක් නොව , ආණ්ඩුවේ පැවැත්මටද දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීමට වැදගත් බව අපි අවධාරණය කරන්නෙමු . දුමින්ද සිල්වාගේ නඩුව එක දිගට ඇසීම සිදු කළ ආකාරයට විශේෂ අධිකරණයක් ඔස්සේ දැනට පවරා තිබෙන ප්‍රධාන නඩු විභාග කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ක්‍රමවේදයක් ගොඩ නගන මෙන් ද අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු .

ජනාධිපතිතුමනි,

සිවිල් සමාජයේ නියෝජිතයන් ලෙස අප ආණ්ඩුවේ ඇතැම් කටයුතු විවේචනය කරන්නේ ආණ්ඩුව නිසි අන්දමින් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අප වෙත තිබේය යන අවංක හැඟීමෙනි . මොනම අන්දමකින්වත්, මහින්ද රාජපක්ෂට යළි රාජ්‍ය පාලනයට මාවතක් විවර කිරීමට හෝ, ගෝඨාභය රාජපක්ෂට මිලිටරි රාජ්‍යයක් ඇති කිරීමට හැකි මාවතක් විවර වන තැනකට අවිචාරවත් ලෙස වැඩ කිරීමට අප කිසිදු පියවරක් නොගන්නෙමු.

පොදු අපේක්ෂකයා ලෙස ඔබතුමාගේ නම සෝභිත හිමියන් නායකත්වය දුන් සිවිල් සමාජයට නිර්දේශ කරමින් හිටපු ජනාධිපතිනිය ඇගේ පපුවේ අත තබා සෝභිත හිමියන්ට ප්‍රතිඥා දෙමින් පවසා සිටියේ ඇගේ වචනය පිළිගනිමින් ඔබතුමා ගැන පූර්ණ විශ්වාසය තබන ලෙසයි. ඒ විශ්වාසය මත තවමත් අපි ඔබතුමා සමග රැඳී සිටින්නෙමු.

ඔබතුමා යහපත් රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දීම අපි ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු. ඒ සඳහා අපගේ සහය ඔබතුමා වෙත අවශ්‍ය සෑම අවස්ථාවකදීම උපරිමයෙන් ලබා දෙන බව ද පවසන්නෙමු .

අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැත. එබැවින් ආණ්ඩුවේ යහ පැවැත්ම වෙනුවෙන් අප සිදු කරන සාධාරණ හා සාධනීය විවේචන ගැන සැලකිලිමත් වන ලෙසත්, අපගේ යෝජනා ගැන නිසි අවධානය යොමු කරන ලෙසත් අපි ඉතා ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නෙමු.

මෙයට,
විශ්වාසී ,

සරත් විජේසුරිය
කැඳවුම්කරු
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

සමන් රත්නප්‍රිය
කැඳවුම්කරු
ජාතික වෘත්තීය සමිති එකමුතුව

කේ. ඩබ්ලිව්. ජනරංජන
සම කැඳවුම්කරු
පුරවැසි බලය

Archive

Latest news

Related news