Tuesday, April 30, 2024

‘හිමිකරු නැති’ රුපියල් පහළොස් කෝටියක් ජනතාවට

CSN නාලිකාවට අයත් බවට සැක කෙරෙන හිමිකාරිත්වයක් නොමැතිව පෑන් ඒෂියා බැංකුවේ තැන්පත් කොට ඇති රුපියල් පහළොස් කෝටියකට අධික මුදල් සම්භාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දෙන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදු කළ ඉල්ලීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇති බව රජය පවසයි.

බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ඒ ආකාරයටම හිමිකාරිත්වයක් නොමැතිව මල්වානේ සහ මාතර පිහිටි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට අයත් බවට සැක කෙරෙන ඉඩම්ද ඉදිරියේදී රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.

පෑන් ඒෂියා බැංකුවේ තැන්පත් කර ඇති ඉහත කී මුදලට හිමිකාරිත්වයක් නොමැති බව CSN නාලිකාව සම්බන්ධ පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

CSN නාලිකාව අරම්භ කිරිමේදී වංචා සහ රජයේ දේපළ භාවිතා කොට ඇති බවට එල්ල වූ චෝදනා මත විමර්ශන පැවැත්විණ.

ඉහත කී මුදල් මහා භාණ්ඩාගාරයට පවරා ගනු ලැබීම අමාත්‍යවරයා විසින් හඳුන්වනු ලැබුවේ ජනතාවගෙන් සොරකම් කළ මුදල් ජනතාවටම යළි ලබා දීමක් ලෙසටයි.

මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට සැක කෙරෙන එහෙත් හිමිකරුවෙක් ඉදිරිපත් නොවන මල්වානේ පිහිටි අක්කර 18 ක නිවස සහ ඉඩමද පොලිස් පුහුණු පාසලක් ඉදි කිරීම සඳහා ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මල්වානේ සහ මාතර ඉඩම්

මේ අතර හිමිකරුවෙක් ඉදිරිපත් නොවන මාතර ප්‍රදේශයේ ඉඩම සංචාරක පුහුණු පාසලක් සඳහා වෙන් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි ඔහු පවසන්නේ.

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන මුදල් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත් බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එල්ල කරන චෝදනා නිවැරදි නොවන බව එස්.බී දිසානායක අමාත්‍යවරයා අඟහරුවාදා පැවසීය.

එස්.බී දිසානායක අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා සිරි අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ එස්.බී දිසානායක අමාත්‍යවරයා කෙසේ පැවසුවත් එහි මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව ඕනෑම අයකුට පෙනෙන බවයි.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news